රජයෙන් ෆෙඩරල් ගන්න ක්‍රමය විපක්ෂ නායක උතුරට කියයි

උතුරු නැගෙනහිර පළාත් එක්කොට ඒකීය රටක් තුළ බලය බෙදා හැරෙන ෆෙඩරල් ක‍්‍රමයක් ලබාදීමට මේ රජය තුළින් වැඩි අවස්ථාවක් ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පවසනවා.

එම අවස්ථාව කඩා කප්පල්වන අයුරින් කටයුතු නොකරන්නැයි ඔහු උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බව සඳහන්.

ආර්. සම්බන්ධන් මහතා මෙම අදහස් පළ කර ඇත්තේ උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් සහ මන්ත‍්‍රීවරුන් පිරිසක් මුණ ගැසුණු අවස්ථාවේදීයි. එහිදී සාකච්ඡාවට ලක්වූ කරුණු කවරේදැයි ඊට සහභාගී වූ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතාගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේදී උතුරු නැගෙනහිර සෑම දිස්ත්‍රික්කයකම ජනතාව සමග, දේශපාලනඥයින් සමග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සමග සහ පළාත් සභා නියෝජිතයන් සමග සාකච්ඡා කර තීරණය කරන බව පැවසූ බවයි. රජය කරන්නේ කුමක් දැයි යන්න මුලින් විමසා බලා පසුව ගතයුතු තීරණය සලකා බැලිය යුතු බව ආර්. සම්බන්ධන් මහතා ප‍්‍රකාශ කළේ යැයි ද එම්. කේ. සිවාජිලිංගම් මහතා කියා සිටියා.
උතුරු පළාත් සභාවේ පැවැති සාකච්ඡාවෙන් පසු එළැඹුනු තීරණ සහ ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන්ද නෙත් නිවුස් මන්ත‍්‍රීවරයාගෙන් විමසීමක් කළා.
එහිදී උතුරු පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් පවසා ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනය හරහා ගැටලුවට රජයේ සහය නොලැබුනහොත් එය ඉටු කර ගැනීම සඳහා විදෙස් සහය ලබාගත යුතු  බවයි.  මේ අතර මෙම සාකච්ඡාව සඳහා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ.

s