තැඹිලි කුමාර මැරූ ඔළු මරා සොයයි

“තැඹිලි කුමාර”නම් අයෙකු කපා කොටා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කළ “ඔළු මරා” ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ සිදු කරන බව වෙන්නප්පුව පොලීසිය කියයි.

පසුගිය 17 වැනිදා රාත්‍රී 8.30 ත් 11.15 ත් අතර කාලය තුළදී වෙන්නප්පුව – ලුණුවිල,කෝන්ගහ පාර ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව – ලුණුවිල,කෝන්ගහයාය පාර පදිංචිව සිටි රේන්දගේ රසික ක්‍රිෂාන් පෙරේරා(අවු:42) හෙවත් තැඹිලි කුමාර නම් අයෙකි.

තුවාල ලබා ඇති වෙන්නප්පුව – දකුණු කඩවත පදිංචිකරුවෙකු වන කට්ටකඩුගේ සුමින්ද මධුසංඛ ප්‍රනාන්දු (අවු:28) යන අය බරපතළ කැපුම් තුවාල සහිතව මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.

මෙම සිද්ධියට වෙන්නප්පුව – ලුණුවිල පදිංචි ඕළු මරා, ඔහුගේ  සහෝදරයෙකු සහ තවත් දෙදෙනෙකු සම්බන්ධ බවට පොලීසිය විසින් කරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබේ.

මීට දින හතරකට පෙර ඕළු මරා ඇතුළු පිරිසක් ලුණුවිලදී තැඹිලි කුමාරට පහර දී ඇති අතර එම පහර දීමෙන් අනතුරුව  තැඹිලි කුමාර ගොස් ඕළු මරාගේ පියාට පහර දී ඇති බව පොලීසිය කියයි.

ඒ මෙම ඝාතනය සිදුවීමට දින දෙකකට පෙර දී වන අතර එම සිද්ධියෙන් කුපිතව වී ඇති ඕළු මරා ඇතුළු පිරිස 17 වැනිදා රාත්‍රීයේ තැඹිලි කුමාරගේ නිවසට කඩා වැදී ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය කියා සිටියි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ තැඹිලි කුමාර යන අයවද එම අවස්ථාවේදීම ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාරවිල මූලික රෝහලට මාරු කර යවා ඇත.ඔහු මිය ගොස් ඇත්තේ මාරවිල මූලික රෝහලේදීය.

පෙර අමනාපයක් මෙම ගැටුමට මුල්වී ඇති බව පොලීසිය කියයි.

වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

 

1