ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් 4ක්

ලබන අගෝස්තු මාසයේ බ්‍රසීලයේ රියෝ ද ජැනරෝ නගරයේ පැවැත්වෙන 19 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට මේවන විට ක්‍රීඩකයන් තිදෙනෙක් සහ එක් ක්‍රීඩිකාවක් පමණක් සුදුසුකම් ලබා සිටින බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කර සිටී.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේ සහභාගිත්වය පිළිබඳව කරන ලද විමසීමකදී ජාතික ඔලිම්පික් කමිටු ‍ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා සඳහන් කර සිටියේ මලල ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ එක් ක්‍රීඩිකාවක් සමගින් ජූඩෝ ක්‍රීඩකයකු සුදුසුකම් ලබා සිටින බවයි.
ජාතික මැරතන් ශූර අනුරාධ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, මැරතන් ශූරි ගීතානි රාජසේකර සහ හෙල්ල විසිකිරීමේ ජාතික ශූර සුමේධ රණසිංහ ‘ඒ’ ශ්‍රේණිය යටතේ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා සිටියි.
මීට අමතරව ජාත්‍යන්තර දස්කම් සලකා බලමින් “වයිල්ඩ් කාඩ්” ක්‍රමය යටතේ 2016 සාග් රිදී පදක්කම්ලාභී ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධනද ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ඇති බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.
මේ අතර පසුගිය සාග් ක්‍රීඩා උළෙ‍ලේදී පිහිනුම් ක්‍රීඩාවෙන් සුවිශේෂ දස්කම් දැක්වූ මැතිව් අබේසිංහ සහ කිමිකෝ රහීම්වද ‘වයිල්ඩ් කාඩ්’ ක්‍රමය යටතේ රියෝ ඔලිම්පික් උළෙලට ඇතුළත් කර ගන්නා ලෙස ජාත්‍යන්තර ජල ක්‍රීඩා සංගමය හරහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත ඉල්ලීමක් කළ බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කර සිටියේය. ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් සැපිරීමේ අවසන් දිනය ලබන ජූලි 15 වැනි දිනෙන් අවසන් වේ.

 

as

සුනිල් අභයවර්ධන