OIC අමාරුවේ දාන්න ගිය ලග්ගල පොලිසියේ 80 ක ගෙන් CID ප්‍රශ්න කරයි

ලග්ගල පොලිසියේ ආයුධ පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී. අයි. ඩී.) එම පොලිසියේ සියලුම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම ඊයේ (19 වැනිදා) සිට ආරම්භ කර ඇත.

ඒ අනුව ලග්ගල පොලිසියට අනුයුක්‌තව සිටින පොලිස්‌ නිලධාරීන් අසූදෙනකුගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඊයේ සිට ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර තිබේ.

ලග්ගල පොලිසියේ වර්තමාන ස්‌ථානාධිපතිවරයා අපහසුතාවට ලක්‌කර ඔහු මාරුකර යෑවීම සඳහා එම පොලිසියේම රාජකාරි කළ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් මෙම අවි පැහැර ගැනීම සැලසුම් සහගතව කර ඇති බව මෙතෙක්‌ කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

ලග්ගල පොලිසියේ නිලධාරීන් දෙදෙනකු මේ වන විට රහස්‌ පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවසීය.

ඉකුත් 14 වැනිදා ලග්ගල පොලිසියට ඇතුළු වූ සංවිධානාත්මක පිරිසක්‌ එහි ආයුධ පෙට්‌ටියේ තිබූ පිස්‌තෝල පහක්‌ සහ ටී 56 ගිනි අවියක්‌ පැහැරගෙන ගොස්‌ තිබිණි.

මෙම අවි ආයුධ සොයා පොලිසිය මෙහෙයුම් ක්‍රියාත්මක කරද්දී එම අවි පොලිසිය ආසන්නයේ පිහිටි විහාරස්‌ථානයක අතහැර දමා ගොස්‌ තිබියදී පොලිසියෙන් සොයාගන්නා ලදී.

h

හේමන්ත රන්දුණු (දිවයින)