කවුද මේ පූජිත් ජයසුන්දර

උපත
1960 මාර්තු 15 වෙනිදා කුරුණෑගලදී බිසෝ මැණිකේ සහ ව්‍යාපාරික ආර්.ඩී ජයසුන්දරට දාව උපත ලබන පූජිත් ජයසුන්දර මූලික අධ්‍යාපනය ලබන්නේ ඉබ්බාගමුව බෝගමුවේ මහා මූකලන්යායේ තක්ෂිලා මහා විද්‍යාලයෙනි. 1964 වසරේ සිට 1968 වසර දක්වා එම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහු 1969 වසරේ ජනවාරි මාසයේදී ඉබ්බාගමුව ප්‍රාථමිකයට ඇතුළත් වන අතර එම වසරේම ජූලි මාසයේදී ප්‍රාථමිකයෙන් ඉවත්ව මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළත් වන්නේ උසස් අධ්‍යාපනය ලබන්නටය.

අධ්‍යාපන
මහනුවර ධර්මරාර විද්‍යාලයේදී ක්‍රීඩා සහ විෂයභාහිර කටයුතුවලින්ද කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වූ ඔහු පාසල් අධ්‍යාපනයට සමුදී  ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ 1979 වසරේදීය. විශ්වවිද්‍යාලයේද කැපී පෙනෙන ශිෂ්‍යයෙක් වූ පූජිත් ජයසුන්දර විශ්වවිද්‍යාලයෙන් පිටවන්නේ කළමනාකරණ විශේෂ උපාධියක් හිමිකරගනිමිනි.

වෘත්තීය
ආධුනික සහකාර ‍පොලිස් අධිකාරීවරයෙක් ලෙස පූජිත් ජයසුන්දර ‍පොලිස් සේවයට එක්වන්නේ 1985 වසරේ මැයි 20 වෙනිදාය. ‍පොලිස් සේවයේද කැපී පෙනෙන නිලධාරියෙක් වූ පූජිත අනුරාධපුරය, මහනුවර, මඩකලපුව, යන ප්‍රදේශවලත් ‍පොලිස් මූලස්ථානයේත් අපරාධ හා මෙහෙයුම් ඒකකයේත්  සහකාර ‍පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව 1991 වසරේ මැයි 20 ‍පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම ලැබිය. රත්නපුර සහ මහනුවර යන ප්‍රදේශවල ‍පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරත වන ඔහු ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරයෙක් ලෙස උසස්වීම් ලබන්නේ 1996 වසරේ මැයි 20 වෙනිදාය.
යුද්ධය දරුණුවට පැවැති එම වකවානුවේදී වැලිකන්ද මෙහෙයුම් කලාපයේ ප්‍රධානියා ලෙසද නිකවැරටිය, කෑගල්ල, නුවරඑළිය යන කොට්ඨාසභාර ‍පොලිස් ප්‍රධානියා ලෙසද පූජිත් ජයසූන්දර ‍‍‍ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් ලෙස සේවයේ නිරතව සිටියේය. 1999 වසරේ මැයි 31 වෙනිදා පූජිත්ට නුවරඑළිය කොට්ඨාසභාර ‍පොලිස් ප්‍රධානී තනතුර අහිමි වන්නේ එවකට නුවරඑළියේ දේශපාලන බලවතාට අවශ්‍ය ආකාරයට වැඩ නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. කොන්දක් ඇති ‍පොලිස් නිලධාරියෙක් ශ්‍රී ලංකා ‍පොලීසියේ සිටින බව මෙන්ම පූජිත් ජයසුන්දර නාමය ජනතාව අතර කතා බහට ලක්වන්නට ගන්නේ එතැන් සිටය.
නුවරඑළියෙන් දේශපාලන කැපිල්ලකට හසුවී ‍පොලිස් මූලස්ථානයට ස්ථාන මාරුවීම් ලැබෙන පූජිත් ජයසුන්දර 1999 වසරේ සිට 2002 වසර දක්වාම සිටින්නේ ‍පොලිස් විභාග කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසිනි. 2002 වසරේදී ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ලෙස පත්වන ඔහු එතෙක් නිද්‍රාශීලීව තිබුණු ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට නව පණක් ලබාදුන්නේය. මහා පරිමාණයේ මත්කුඩු ජාවාරම්කරුවන් කොටුකර ගැනීමේ ඔහුගේ මග පෙන්වීම් මත කෙරෙන මෙහෙයුම් සාර්ථක විය. ප්‍රබල දේශපාලනඥයන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කරමින් සිටි මහා පරිමාණයේ හෙරොයින් ජාවාරම්කරුවෙක් වූ මොහොමඩ් සියාම් සහ ඔහුගේ බිරිද හෙරොයින් කිලෝ 23ක් සමග කොළඹ 07 වෝර්ඩ් පෙදෙසේදී සුවිසල් නිවසකින් අත්අඩංගුවට පත්වන්නේ ඒ අනුවය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ දියණියකගේ උපන්දිනයකට ‍පොලිස්පතිවරයෙක් සහභාගිවීමක් අනාවරණය කරනු ලැබුවේද පූජිත් ජයසුන්දර මහතා ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂව සිටියදීය.
2005 වසරේ මැයි 10 වෙනිදා නියෝජ්‍ය ‍පොලිස්පතිධුරයට උසස්වීම් ලබන පූජිත් ජයසුන්දර මහතා ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය භාරවද, කොළඹ දිසාව භාරවද, කුරුණෑගල දිසාව භාරවද, යාපනය දිසාව භාරවද මහනුවර දිසාවභාරවද සේවයේ නිරත විය.
කොළඹ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයාව සිටි කාලවකවානුවේදී සිවිල් ආරක්ෂක කමිටු බලගැන්වීමේ සහ කොළඹ නගරයේ ජනතාව ඒකරාශී කරගනිමින් කොළඹ ආරක්ෂාවට දැවැන්ත කාර්යභාරයක් කළ ඔහු කුරුණෑගල දිසාව භාරව ස්ථාන මාරුවක් ලැබිමෙන් පසු ‍පොලීසියට ගමින් ලෙස ප්‍රජා සත්කාර වැඩ සටහනක්ද දියත් කළේය. ඒ අනුව ‍පොලීසිය සහ ගම ඒකරාශී කරගනිමින් අලි වැටවල් ඉදි කිරීම, වැව් අමුණු ඉදිකිරීම, නිවාස ඉදිකිරීම, කැඩීගිය පාලම් බෝක්කු සහ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම වැනි දැවැන්ත සංවර්ධන වැඩසටහනක් දියත්කරනු ලැබිය. දියතලාව හමුදා කදවුරට පහරදී සෙබළුන් දහස් ගණනක් ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ.ය සුදානම්කරනු ලැබූ කිලෝදහසකට වැඩි පුපුරණ ද්‍රව්‍ය ඇට වූ ලොරියක් කොටවෙහෙරදී අත්අඩංගුවට ගන්නේද පූජිත් ජයසුන්දර විසින් තම බල ප්‍රදේශයේ දියත්කළ ආරක්ෂක සැලසුමකට අනුවය.
යාපනයේ සහ මහනුවර දිසාව භාර නියෝජ්‍ය ‍පොලිස්පතිවරයා ලෙසද සේවයේ නිරතව සිටින කාලය තුළ සිවිල් ජනතාව සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කළ ඔහු ‍පොලීසිය කෙරෙහි ජනතා විශ්වාසය වර්ධනය කිරීමට ඇවැසි පියවර ගනු ලැබිය. ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පතිවරයෙක් ලෙස උසස් වීම් ලැබිමෙන් පසු ඌව සහ වයඹ පළාත් භාර ‍පොලිස් ප්‍රධානියා ලෙසත්, නැගෙනහිර පළාත් භාර ප්‍රධානියා ලෙසත් සේවයේ නිරතව සිටි  පූජිත් ජයසුන්දර ‍පොලිස්පති ධුරයට පත්වන්නේ බස්නාහිර පළාත්භාර ‍පොලිස් ප්‍රධානියාව සිටියදීය. මේ කාලය තුළ ඔහු එක් අවස්ථාවක වැඩ බලන ‍පොලිස්පතිධුරය දරා ඇති අතර කොරියාව, ඉන්දියාව, බ්‍රසීලය, ජපානය, සිංගප්පූරුව, තායිලන්තය වැනි රටවල් රාශියක ත්‍රස්තවාදය මර්දනය, මත්ද්‍රව්‍ය මර්දනය, ප්‍රජා ‍පොලිස් ආදී පුහුණු වැඩ මුළු වලටද සම්බන්ධවී තිබිම විශේෂිතය.
පූජිත් ජයසුන්දර මහතාගේ දයාබර බිරිද පුණ්‍යා ශාන්තිය. දෙදෙනාට දරුවන් දෙදෙනෙකි. වැඩිමලා දිලිනි ශමින්දිකා ජයසුන්දරය. බාලයා පුතෙකි. ඔහු ප්‍රසංග අනුරාධය.

78

ගයන් කුමාර වීරසිංහ