බදු ක්‍රමය ගැන මැති ඇමැතිවරු දැනුවත් කෙරේ

එකතු කළ අගය මත බද්ද (VAT) 15% ක් කිරීම හා ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) නව ක්‍ෂේත්‍ර කිහිපයකට එකතු කිරීම සම්බන්ධයෙන් වූ සත්‍ය තත්ත්වය පිළිබඳව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් දැනුම්වත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේද අනුදැනුම මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ. රාජපක්ෂ පාලනය යටතේ ගනු ලැබූ ණය බර වැඩිවීම හේතුවෙන් මෙම බදු බර වැඩි වූ බවද අගමැතිවරයා මැති ඇමැතිවරුන්ට පෙන්වා දීමට සැලසුම් කර ඇත.
වැට් බද්ද 11% සිට 15% දක්වා වැඩි කිරීමට හේතු වූ කාරණා සේම ජාතිය ගොඩනැගීමේ බද්ද තවත් ක්‍ෂේත්‍ර කිහිපයකට එකතු කිරීම සම්බන්ධයෙන් වන ඇත්ත තත්ත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ සියළුම මැති ඇමැතිවරුන් ඒ අනුව දැනුම්වත් කෙරෙනු ඇත. ඊට අමතරව ලෝක ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳවත් අගමැතිවරයා විසින් මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමට නියමිතය.
ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ලබන සතියේදී දැනුම්වත් කිරීමෙන් පසුව මේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය සාකච්ඡා හා රැස්වීම් පවත්වා මහජනතාව දැනුම්වත් කරනා ලෙසද අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු හා මන්ත්‍රීවරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (20) හමුවූ අවස්ථාවේදීද මේ බව ප්‍රකාශ කර තිබේ. මන්ත්‍රීවරු මේ ගැන අගමැතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී මේ බව කියා තිබේ.
යහපාලනය පිළිබඳ ජාතික රජයේ ප්‍රතිපත්තිය අඩු ආදායම්ලාභීන්ට බදු අඩු කර ධනපතියන්ට වැඩි බදු පැනවීම බව එහිදී අගමැතිවරයා පෙන්වා දී ඇත.

s