රාජිත ඖෂධ නියාමනයට අනී !

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වෛද්‍ය කමල් ජයසිංහ මහතාව පත් කර තිබේ. මෙම තනතුර මීට පෙර දරන ලද්දේ මහාචාර්ය වෛද්‍ය ක්‍රිශාන්ත වීරසූරිය මහතා විසිනි. කලක පටන් අමාත්‍ය වරයා විසින් ඖෂධ නියාමන අධිකාරියට එල්ල කළ බලපෑම් වල කූඨප්‍රාප්තියක් ලෙස මෙම නව පත්කිරීම හැඳින්විය හැක.

වෛද්‍ය කමල් ජයසිංහ මහතාගේ පත්වීම් ලිපිය ඊයේ (19) නිකුත් කර තිබූ අතර මෙය ජාතික ඖෂධ නියාමන අධිකාරිය රාජිත සේනාරත්න අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි හැසිරවීමේ ප්‍රධාන පියවරක්වේ.

මෙම ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වරයා වන්නේ මහාචාර්ය වෛද්‍ය ලාල් ජයකොඩි මහතාය. ඔහු සහ මහාචාර්ය වෛද්‍ය ක්‍රිශාන්ත වීරසූරිය මහතා ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් ද පිළිගත් වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් දෙපළකි. ඔවුන් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවීම වෙනුවෙන් පෙනී සිටි අතර පසුගිය කාලය පුරාවට රාජිත සේනාරත්න මහතා කටයුතු කළේ මෙම විද්වතුන් දෙපළට එරෙහිවය. පසුගිය පෙබරවාරි මාසයේදී අමාත්‍යවරයා විසින් මෙම නිලධාරීන් දෙදෙනාට ඉල්ලා අස්වීමේ ලිපි භාර දෙන ලෙස නියෝග කර තිබුණු අතර ඔවුන් නැවත සේවයෙහි පිහිටුවන ලද්දේ ජනාධිපති වරයාගේ මැදිහත්වීමෙනි.

ලොව ඖෂධ ජාවාරම දෙවැනි වන්නේ අවිආයුධ ජාවාරමට පමණි. මෙම ඖෂධ ජාවාරමේ ඉත්තෙකු ලෙස ක්‍රියාකරනා රාජිත අමාත්‍යවරයා ඊට බාධාවක් වූ මෙම නිලධාරීන් දෙදෙනාගෙන් ඉතා නින්දිත ලෙස පළිගනිමින් සිටිනා බව ක්ෂේත්‍රයේ තතුදත් උදවිය පවසති. මීට පෙර අමාත්‍යවරයා විසින් ඖෂධ මිල ඉහළ යාම පිළිබඳව මෙම නිලධාරීන් දෙපළට ප්‍රසිද්ධියේ චෝදනා කොට තිබිණි. ලංකාවේ ඖෂධ අලෙවි කෙරෙන්නේ ආනයනික මිල මෙන් 180%ක වටිනාකමිනි. එය 155%ක් දක්වා අඩු කිරීමට යෝජනා කළ එම නිලධාරීන් දෙදෙනා පිළිබඳව රාජිත සේනාරත්න මහතා සම්පූර්ණයෙන් කරුණු විකෘති කරමින් චෝදනා එල්ල කර ඇත.

කෙසේවෙතත් යහපාලන රජය බලයට පැමිණියේ සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවන බව පවසමිනි. නමුත් එහි සෞඛ්‍ය අමාත්‍යවරයා දැන් කටයුතු කරමින් සිටින්නේ එම ප්‍රතිපත්තියට පයින් ගසනා ආකාරයෙනි.

 

j

 

lankanewsweb