ඉගෙනගත් දේ ගැන සිතා බලන්නට දරුවාට කාලය ඉතිරි කරන්න

– දරුවාගේ මනසට බරක් නොවී විභාගවලින් සමත් කරවන්නට නම්…
– ස්නායු රෝග විශේෂඥ‍ වෛද්‍ය නිලුපුල් පෙරේරා

මෙරට තිබෙන හොඳම පාසලට ඇතුළත්වුණත්, කොතරම් මුදල් වැයකරමින් ටියුෂන් පන්ති ගියත් විභාගයක් සමත්වීම සඳහා මේ කරුණු දෙකට වඩා වැදගත් වන දෙයක් තිබේ. එනම් ඉගෙන ගන්නා දේවල් මතකයේ රැඳී තිබිමයි. එලෙස මතකයේ රැඳී නොතිබුණොත් විභාගයට සාර්ථකව මුහුණදීමට නොහැකි වෙයි.  එනිසා අපි අද මොළයේ මතකය රැඳෙන ආකාරය පිළිබඳව කතා කරමු.
මතකය මොළයේ ගබඩා වන අතර එය නැවත අවශ්‍යතාවන්ට අනුව උපයෝගී කරගැනීම සිදුවේ. අපි සරල උදාහරණයක් ගනිමු.
පළගැටියා ගිනිදැල්ලකට පනී. ඌ යාන්තමට පිච්චී පැත්තකට විසි වුණත් නැවතත් නැගිට ගැනීමේ හැකියාවක් ලැබුණොත් එම ගිනි දැල්ලටම පැන පිලිස්සෙනු ඇත. කුඩා දරුවකුගේ අතක් ගිනිදැල්ලක යාන්තමට හෝ ගැටුණේ යැයි සිතන්න. එවිට දරුවාගේ අතට ගිනි රස්නය දැනෙනු ඇත. ඉන්පසු දරුවා ගින්දර ස්පර්ශවීම වළක්වා ගැනීම සඳහා හැමවිටම වගබලා ගනී. ඒ, ගින්දරට පිලිස්සෙන බවට මතකය මොළයේ හොඳින් ගබඩා වීමත්, ඉන්පසු තමා හිඳින පරිසරයට අනුව එය නැවත ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් මිනිසා තුළ පවතින නිසාය.
මොළයෙහි යමක් ගබඩා වීම සහ නැවත එය ප්‍රයෝජනයට ගැනීම මොළයේ තිබෙන සුවිශේෂ හැකියාවක් මත තීරණය වෙයි.
මතකය ගබඩා වන්නේ මොළයෙහි ස්නායු ෙසෙලවලය. එසේ ස්නායු ෙසෙලවල ගබඩා වීම ප්‍රධාන ක්‍රම තුනකට සිදුවෙයි.
1. ක්‍රියාකාරී මතකය (Working memory)
මෙය තත්පර හෝ මිනිත්තු කිහිපයකට පමණක් මොළයෙහි ගබඩා වන මතකයයි.
2. කෙටිකාලීන මතකය  (Short term memory)
මෙය පැය හෝ දින කිහිපයක් පවතියි.
3. දිගුකාලීන මතකය (Long term memory)
එය සති ගණන්වල සිට ජීවිත කාලයම වුවද පැවතිය හැකිය.
මේ මතක වර්ග තුන ස්නායු ෙසෙල ආශ්‍රිතව ගබඩා වන්නේද ක්‍රම තුනකටය.
ක්‍රියාකාරී මතකය
මෙය ගබඩා වන්නේ මොළයේ ෙසෙල අතර ගමන් කරන විද්‍යුත් තරංගයක් ලෙසිනි. එනිසා එය ඉක්මණින් නැතිවී යනු ඇත. අපි සරල නිදසුනක් ගනිමු.
ඔබ වතුරට ගලක් දැමූ විට එහි ජල තරංගයක් ඇතිවේ. එම ජල තරංගය ඉතා කෙටි වෙලාවකදී ඉබේම අතුරුදන් වෙයි. මොළයෙහි ෙසෙල අතර ගමන් කරන විද්‍යුත් තරංගයක් ලෙස ක්‍රියාකාරී මතකය ඇති වී ඉතා සුළු වේලාවකින් එය නැතිවී යන්නේ එලෙසිනි. එසේම ක්‍රියාකාරී මතකය නැතිවී යාම තවත් ක්‍රමයකට සිදුවේ. ඉහත කී උදාහරණයම ගනිමු. වතුරට ගලක් දැමූ විට ජල තරංගයක්  ඇතිවී පසු යළිත් ඒ සමගම තව ගලක් දැමුවොත් කලින් ඇතිවූ ජල තරංගය යටපත් වී අලුත් ජල තරංගයක් ඇති වෙයි. තවත් පහසු නිදසුනක් ගතහොත් ඔබට කිසියම් කෙනෙකුගේ දුරකථන අංකයක් තවත් කෙනෙකුගෙන් අසා එය අසීරුවෙන් ඒ මොහොතේ මතක තබා ගන්නේ යැයි සිතන්න. ඉන්පසු ඒ අවස්ථාවේම ඔබට වෙනත් අයකු තව දුරකථන අංකයක් ගැන පැවසුවොත් ඔබට මුලින් අසීරුවෙන් මතක තබා ගත් අංකය ක්ෂණයෙන් අමතක වී යනු ඇත.
යම්කිසි දෙයක් මතකය ලෙස ගබඩා කරගැනීමේදී ස්නායු ෙසෙල රාශියක් එකක් පසුපස එකක් පබලු මාලයක් මෙන් අමුණා තබා ගැනීමට සිදුවෙයි. එම පබලු වැලට පබලු සම්බන්ධ කරනු ලබන ක්‍රමයෙහි පවතින දුර්වලභාවය හෝ ශක්තිමත්භාවය අනුව ඔබ මතක තබා ගන්නා දෙය තැන්පත් වන්නේ ක්‍රියාකාරී මතකයෙහි ද කෙටිකාලීන මතකයෙහි ද නැතහොත් දිගුකාලීන මතකයෙහි ද යන්න තීරණය වෙයි.
කෙටිකාලීන මතකය
මේ මතකය ගබඩා වන්නේ ස්නායු ෙසෙල පටලයෙහි, එනම් ස්නායු ෙසෙලයෙහි බාහිර සීමාවෙහි (Cell mempralin)  ‍ප්‍රෝටීනයක් ආකාරයටය. ඉහත කී උදාහරණයම ගනිමු. ක්‍රියාකාරී මතකය යනු පබලු මාලයේ පබලු කිසියම් ගම් විශේෂයකින් ඇලවීමක් ලෙස ගතහොත් පබලුවේ ගම් හරිහැටි නොගෑවීම මත හෝ පබලුවට ගම් අල්ලා ගැනීමට ඇති නොහැකියා මත පබලු වැල බැඳී යයි. නමුත් කෙටිකාලීන මතකය යනු පබලු ටික සිහින් කපු නූලකින් ඇමිණිමක් බඳුය. එනම් ගම්වලින් ඇලවීමේදී මෙන් ඉක්මනින් කැඩී යාමක් මෙහිදී සිදුනොවේ. නමුත් මෙසේ ස්නායු පටලයේ ‍ප්‍රෝටීන ලෙස තැන්පත් වන මේ කෙටිකාලීන මතකයද ස්ථීර වූවක් නොවේ. හේතුව එම ‍ප්‍රෝටීනය හැමදාම එකසේ නොපැවතීමයි. අලුත් ‍ප්‍රෝටීන හැදෙන විට, ඒ මොහොතේ පවතින ‍ප්‍රෝටීනය ඉබේම මැකී යයි. ඒ අනුව දින කිහිපයක් වැනි කෙටි කාලයකදී අලුත් අලුත් ‍ප්‍රෝටීන වර්ග හැදෙමින්, පවතින ‍ප්‍රෝටීනය මැකී යෑම ස්වභාවයයි. ඒ අනුව කෙටිකාලීන මතකය පැය හෝ දින කිහිපයක් තුල නැතිවී යයි. පබලු මාලයේ ඇමිනූ සිහින් කපු නූල දින කිහිපයකින් කැඩී යා හැකි අයුරිනි.
දිගුකාලීන මතකය
ඉහත කී පබලු මාලය හක්තිමත් තංගුස් හෝ නයිලෝන් නූලකින් නැතහොත් කම්බියකින් බැන්දොත් එය දිගු කලක් නොකැඩී පවතියි. දිගුකාලීන මතකයත් එවැන්නකි. මොළයේ ස්නායු ෙසෙලවල න්‍යෂ්ටියේ ඇති කරන වෙනසක් ලෙස දිගුකාලීන මතකය සම්බන්ධ ක්‍රියාපටිපාටිය සිදුවෙයි.
මෙසේ ස්නායු ෙසෙල දෙකක් හැමදාටම බැඳ තබා ගැනීමට උදව් කරන මොළයේ පාලක මධ්‍යස්ථානය ස්නායු ෙසෙල න්‍යෂ්ටියයි. එම
න්‍යෂ්ටියේ ඇති කරන වෙනස ස්ථීරව දිගුකාලීනව ඇති කරන වෙනසක් බැවින් ශක්තිමත් කම්බියකින් ඇමිනූ පබලු වැලක් මෙන් ශක්තිමත්ව ස්නායු ෙසෙල බැඳ තබා ගැනීමට උපකාර කරනු ඇත.
ප්‍රායෝගික ජීවිතයට සහ අධ්‍යාපනයට මෙය බලපාන්නේ කෙසේ දැයි දැන් අපි විමසා බලමු.
දරුවකුට යම් දෙයක් උගන්වන විට එය ක්‍රියාකාරී මතකය ලෙස අවබෝධ කරගෙන කෙටිකාලීන මතකය ලෙස මොළයේ තැන්පත් කරගෙන පාසලින් නික්ම යනු ඇත. ඉන්පසු දරුවා විභාගයකට මුහුණ දෙන්නට නම් එසේ කෙටිකාලීන මතකයේ තැන්පත් වූ දෙය දිගුකාලීන මතකය බවට පත්කර ගත යුතු වෙයි. එසේ කරන්නට නම් පාස‍ලේ ඉගෙන ගත් දැ නැවත නැවත කියවා බැලිය යුතුය. එසේ කරන්නට අවස්ථාවක් නොලැබුණහොත් එය දිගුකාලීන මතකය ලෙස මොළයේ ගබඩාවීමට ඉඩක් නොලැබෙනු ඇත. මෙහිදී අපේ පාසල් දරුවන්ට සිදුවන්නේ කුමක්ද?
උදේට පාසලට ගොස් දරුවා පාසලින් අධ්‍යාපනය ලබයි. ඊළඟට යන්නේ ටියුෂන් පන්තියටය. එතැන ඉගෙන ගන්නට සිදුවන්නේ උදේ පාස‍ලේදී උගත් පාඩම් නොවේ.
එවිට මුලින් ඉගෙන ගත් කරුණු මතට තවත් කරුණු එකතු වෙයි. මෙහිදී සිදුවන්නේ මුල් කරුණු අමතකවී යාමයි.
කාලවේලාව නැතිකම හේතුවෙන් තමන් උගත් දේ දිගුකාලීන මතකයෙහි තැන්පත් නොවීමේ ගැටලුවට පාසල් දරුවො මුහුණ දෙති. උගත් දේවල් සහ පාඩම් කළ දේවල් නැවත නැවත ආවර්ජනය කිරීමට කාලයක් ඉතිරිවන අන්දමට දරුවන්ට ඉගැන්වීමේ කටයුතු කළයුතු වෙයි. නැතහොත් ඉගෙන ගන්නා කරුණුවලින් මතකයේ රැදෙන ප්‍රමාණයට වඩා මතකයෙන් ගිලිහී යන ප්‍රමාණය වැඩි වනු ඇත.
අධ්‍යාපනය ලබන දරුවකුට නින්දත් ඉතාම අත්‍යවශ්‍යය. හේතුව කෙටිකාලීන මතකය නින්දේදී දිගුකාලීන මතකය බවට පත්වීම සිදුවන බැවිනි. නමුත් අධ්‍යාපනය ලබන දරුවන්ට නිදා ගැනීමට ලැබෙන කාලයත් බෙහෙවින් සීමාවී තිබේ. නින්ද අඩුකම නිසා ඉගෙන ගත් කරුණු මතක ගබඩාවෙහි තවදුරටත් තහවුරුවීමට තිබෙන අවකාශයත් ඇහිරී යයි.
අධ්‍යපනය ලබන දරුවකුගේ රටාව විය යුත්තේ කුමක්ද යන්න දැන් ඔබට වැටහෙන්නේ යැයි සිතමි. මේ ආකාරයට දරුවකුගේ දිනචරියාව සකස්වීම සඳහා විෂය නිර්දේශයක් නැවත සකස්වීම අත්‍යවශ්‍ය වේ. මෙහි ඇති බැරෑරුම්කම වගකිවයුත්තන්ට තවමත් දැනී නොතිබිම කනගාටුවට කරුණකි.
මෙසේ දැඩි අවිවේකයෙන් හරි හැටි නින්දක් පවා නොලැබ අධ්‍යාපන කටයුතු කරන්නට සිදුවෙන දරුවන්ට අනාගතයේ විය හැකි අනර්ථය වර්තමානයේ උසස් අධ්‍යාපනය නිම කර සමාජයට පිවිසෙන බෙහෝ තරුණ තරුණියන් තුළින්ම දැකිය හැකිය.
වර්තමාන තරුණ පරපුර තුළ ආකල්පමය දුර්වලතා අභියෝගවලට තනිව මුහුණදීමේ අපහසුතා, සමාජමය වශයෙන් සාමූහිකව වැඩකටයුතු කිරීමේ අපහසුතා ආදී වූ ගැටලු රැසක් හඳුනා ගෙන තිබේ. මේවා සම්බන්ධයෙන් තරුණ පරපුර මත වැරදි පැවරිය නොහැකිය. එවැනි දුර්වලතා ඇති නොවන ආකාරයේ අධ්‍යාපනයක් සකස් වී නොතිබිම මෙයට හේතුවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු රැසක් අපි මින් පෙර සතිවල කතා කර ඇත්තෙමු. කෙසේ වුවද මේ මරඋගුලෙන් ජාතිය ගලවා ගත හැකි ක්‍රමවේදය නම් ඉතා ප්‍රවේශමෙන් ඉගැන්විය යුතු මූලික හා අත්‍යවශ්‍යම කරුණු එකිනෙකාගෙන් වෙන්කර හඳුනාගෙන කෙටි කාලයකදී ඉගැන්විය හැකි විෂය නිර්දේශයක් සකස් කිරීමය. මෙමගින් පාසල් දරුවන්ට පාඩම් කිරීමට නිදහසක්, විවේකය සහ නිසි නින්දක් ලබාගැනීමට නිදහසක් සලසා දිය යුතු වෙයි. එවිට ඉහත කී අන්දමට විෂය කරුණු දරුවාගේ මතකයේ රැඳී සිටින අතරේ මනා පෞරුෂ වර්ධනයකට ද ඉඩ ප්‍රස්ථාව සැලසෙනු ඇත.

re

සාකච්ඡා කළේ ඉන්දු පෙරේරා