ඩී. බි. නිහාල්සිංහයන් පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

කවර ක්‍ෂේත්‍රයක වුව, විශිෂ්ටයකුගේ සමුගැනීම පිරිමැසිය හැකි පාඩුවක් නොවේ. මන්දයත්, විශිෂ්ටයන් බිහිවන්නේ කලාතුරකින් වන නිසාය. මෙරට සිනමාවේ මෙන්ම රූපවාහිනී මාධ්‍යයේද එබදු විශිෂ්ටයකුගේ නික්ම යාම මීට දින කිහිපයකට පෙර සිදුවිය. ඒ, ආචාර්ය ඩී. බි. නිහාල්සිංහය. මෙරට කලා ක්‍ෂේත්‍රය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ඩී. බි. නිහාල්සිංහයන්ගේ ජීවන තතු සහ ශාස්ත්‍රීය මෙහෙවර ඇසුරෙන් “නිහාල්සිංහ – පුරෝගාමී තෙවැනි ඇස” නමින් පර්යේෂණාත්මක කෘතියක් රචනා කළ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මෙසේ සංවාදය එක්කර ගත්තේ නිහාල්සිංහයන් පිළිබඳ බොහෝ දෙනා නොදැන සිටි දෑද ඔබ වෙත ගෙන එනු පිණිසය.

ඩී. බි. නිහාල්සිංහයන්ව ඔබ දැන හඳුනාගත්තේ කොයිකාලයේදීද?
මගේ මව සහ පියා කලාවට සම්බන්ධ අය නිසා මට අවුරුදු හත, අට වගේ කුඩා අවධියේදීම ඔහුව දැක ගන්නට වාසනාව ලැබුණා.  නමුත් 2005 වසරේ මා “ශ්‍රී ලාංකේය සිනමා වංශය” නම් කෘතිය එළිදැක්වූ දවසෙයි මට ඔහු සමග මුලින්ම කතා බහ කරන්නට ලැබුණේ. ඒක බොහොම  අපූරු මුණගැසීමක්.

ඇයි ඒක අපූරු මුණගැසීමක් වුණේ?
ඒ කා‍ලේ නිහාල්සිංහ මහත්තයා මැ‍ලේසියාවේ ඇස්ටේ‍රා් ආයතනයේ මහා කළමනාකරු ලෙසයි කටයුතු කළේ. විදේශගතව සිටි නිසා  මට ඔහුට එම උත්සවයට ආරාධනා කරන්න බැරි වුණා. නමුත් උත්සවය අවසානයේ කවුරුත් මට සුබ පතද්දී නොහිතපු විදිහට නිහාල්සිංහ මහත්තයා මා ළඟට ඇවිත් සිංහල ක්‍රමයට ආචාර කරලා “නුවන්, මම ඩී. බි. නිහාල්සිංහ” කියලා ඔහුව හඳුන්වා දුන්නා.

එදා සිට ඔබට ඔහුව බොහොම සමීපව ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණා. ඔහුගේ ජීවිතය ගැන මොන විදිහේ දේවල්ද ඔහු ඔබට කියා තිබුණේ?
කිසිවිටෙකවත් තමන්ගේ අදීනත්වය නැතිකර නොගනිමින්, සැලසුම් සහගතව තමන් පැමිණි සාර්ථක ගමන ගැන ඔහුට තිබෙන්නේ තෘප්තියක් බව නිහාල්සිංහයන් නිතර පැවැසුවා. නමුත්, අවසානය වන තුරු එක්තරා කලකිරීමකුත් ඔහුගේ ජීවිතයේ ඉතිරි වී තිබුණා.

මොකක් ගැනද ඔහු කලකිරුණේ?
ඔහු කලකිරීමෙන් සිටියේ කලාව ගැන. චිත්‍රපට කලාවේ, රූපවාහිනි මාධ්‍යයේ, ටෙලිනාට්‍ය කලාවේ අනාගතය ගැන ඔහුට කලකිරීමක් තිබුණා. ඒ විතරක් ‍නෙවෙයි, තරුණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමන් සතු දැනුමෙන් ‍පෝෂණය කිරීමට බැරිවීම ගැන ඔහු තුළ තිබුණේ කලකිරීමක්.

ඒ කියන්නේ ඩී. බි. නිහාල්සිංහයන්ට ශිෂ්‍ය පිරිසක් බිහි කරන්න බැරිවුණා?
1995 වසරේ සිට මැ‍ලේසියාවේ ඇස්ටේ‍රා් ආයතනයේ මහා කළමනාකරු ලෙස සේවය කළ වසර 10ක කාලය තුළ ඔහු එරට බොහෝ දෙනෙකුට තමන්ගේ දැනුම බෙදා දුන්නා. මෑත කාලයේ මැ‍ලේසියා රූපවාහිනි මාධ්‍යයේ ප්‍රවීණත්වයට පත්වූ බොහෝ දෙනෙක් ඩී. බි. නිහාල්සිංහයන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. හැබැයි ඔහුගේ ගුරුහරුකම් වලින් ඉබේම හැදුණු ගෝලයන් මිස විධිමත්ව පුහුණු කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් අපේ රටේ බිහි කරන්න ඔහුට බැරිවුණා.

නමුත් ඔහුට නොයෙක්වර ඒ සඳහා අවස්ථාවන් ලැබුණා නේද?
තරුණ පරපුරට ගුරුහරුකම් දීමට ලැබුන අවස්ථා හරිහැටි ක්‍රියාත්මක කිරීමට ඔහුට සහයෝගයක් ලැබුණේ නැහැ. ඔහු ඒ ගැන නිතරම සිත් තැවුලෙනුයි කතා කළේ. 2008 වසරේදී කැලණිය විශ්ව විද්‍යාලයේ සිනමා සහ රූපවාහිනී  උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළත් එයත් හරිහැටි ක්‍රියාත්මක කරන්න බැරිවුණා. තරුණ පරපුරේ දැනුම් පිරිහීම ගැනත් ඔහු තුළ තිබුණේ විශාල දුකක්. වරක් විශ්ව විද්‍යාල දරුවන්ගෙන් තමන් ගැන අහද්දි, ඩී. බි. නිහාල්සිංහ කියන්නේ කවුද කියලා හරිහැටි හඳුන්වන්න පවා ඔවුන් අ‍පොහොසත් වුණු බව එතුමා පැවසුවේ බොහොම කනගාටුවෙන්.

ඔබ කියන්නේ ලංකාවේ තරුණ පරපුර එම සුවිශේෂී චරිතය හරිහැටි හඳුනාගෙන නොසිටි බවද?
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විතරක් ‍නෙවෙයි ඔබ විශ්වාස කරන විදිහට චිත්‍රපට කලාවට සම්බන්ධ ඇතැමුන් පවා ඔහුව හරිහැටි හඳුනාගෙන හිටියේ නැහැ. මම ඔහු පිළිබඳ කෘතිය ලියපු වෙලාවේ ඒ සමහරු මගෙන් ඇහුවා ඩී. බි. නිහාල්සිංහ ගැන මේ තරම් ලොකු ‍පොතක් ලියන්න තරම් වැඩ ඔහු කරලා තියෙනවාද කියලා.

ඇතැමුන් දැන නොසිටියත් කලාව වෙනුවෙන් ඔහු කළ සේවය සුළුපටු නැහැ නේද?
ඔව්. එය මිල කළ නොහැකි සේවයක්. ඔහු තමයි ශ්‍රී ලංකාවේ බිහිවුණු අග්‍රගණ්‍යම සිනමා කැමරාකරණ ශිල්පියා. ඒ වගේම ඔහු මෙරට බිහිවුණු විශිෂ්ටතම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතලොස්ස අතරින් කෙනෙක්. “වැලිකතර” සහ “මල්දෙණියේ සිමියොන්” යන චිත්‍රපට ඔහුගේ එම විශිෂ්ටත්වයට නිදසුන්. ඔහු කෙටිකලක් රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයා ලෙසත්, සේවය කළා. එකල ඔහු එහි ඉතා හොඳ පරිපාලනයක් ඇති කළා. දකුණු ආසියාවේ පුරෝගාමී වෘත්තීය වර්ණ ටෙලි නිර්මාණ බිහිකරන ආයතනය වන “ටෙලිසිනේ” ආයතනය බිහි කරමින් ඔහු කළ මෙහෙයද අති විශිෂ්ටයි.

ඒ කියන්නේ සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ගැන කථා කරද්දීත් ඔහුව අමතක කරන්න බැහැ?
ඔව්. 1972 දී ඩී. බි. නිහාල්සිංහයන් ජාතික චිත්‍රපට සංස්ථාවේ පළමුවැනි මහා කළමනාකරු ලෙස පත්වුණා. එතැන් පටන් 1979 වසර දක්වා ඔහු පාලනය කළ යුගය තමයි සිනමා පරිපාලනයේ ස්වර්ණමය අවධිය. ඔහු සිංහල චිත්‍රපටවල තිර කාලය වැඩි කලා. චිත්‍රපට කලාවේ ප්‍රමිතියක් ඇති කළා. සිනමා ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව මිලියන 30 සිට මිලියන 74දක්වා ඉහළ නැංවීමට ඔහුට හැකියාව ලැබුණා. අවාසනාවන්තම තත්ත්වය තමයි අද එය මිලියන 2කටත් වඩා අඩු මට්ටමකට පහළ වැටිලා.

මෙරට සිනමාවට බොහෝ දේ හඳුන්වා දීමට ඔහු පුරෝගාමී වුණා නේද?
මෙරට සිනමාවට හස්තගත  කැමරාකරණය හඳුන්වා දුන්නේ ඩී. බි. නිහාල්සිංහයන්. හස්තගත කැමරාකරණය භාවිත කළ ආසියාවේ දෙවැන්නා ඔහුයි. “කෙටි කතාව” නමැති විත්තිකතා චිත්‍රපටයෙන් සහ “වැලිකතර” වෘත්තාන්ත චිත්‍රපටයෙන් නිහාල්සිංහයන් සිනමාස්කෝප් තාක්ෂණය ශ්‍රී ලංකාවට පමණක් නොවෙයි මුළු ආසියාවටම හඳුන්වා දීමට පුරෝගාමී වුණා.

සිනමාවේ එවැනි පෙරළි සිදු කළ ඔහුට පසු කාලයේ ලාංකේය සිනමාව ගැන තිබුණේ මොන විදිහේ ආකල්පයක්ද?
ඔහුට ඒ ගැන විශාල කනගාටුවක් තිබුණා. සිනමාහල් ඩිජිටල්කරණය තවත් පමා වුණොත් අපේ සිනමාව ඉවරයි කියලයි ඔහු නිතරම කිව්වේ. ඩිජිටල්කරණය සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් කමිටු පත් කළත් ඔහු බලා‍පොරොත්තු වූ විදිහට ඒවායේ වැඩ කටයුතු සිදු නොවීම නිසා  ඇති වූ කල කිරීමෙන් ඔහු ඒවායින් ඉල්ලා අස්වුණා. නිහාල්සිංහයන්ට තමන් මිය යන තෙක්  ඔහුගේ එම සිහිනය සැබෑ කර ගැනීමට බැරිවුණා. ඇත්තටම මෙවැනි
විශිෂ්ටයන් මිය ගියාට පසුව බොරුවට ප්‍රශස්ති ගයනවාට වඩා ජීවත්ව සිටියදී ඔවුන්ගේ මෙවැනි සිහින සැබෑ කළ හැකි නම් එය හැම දේටම  වඩා වටිනවා කියන එකයි  මගේ හැඟීම.

ඩී. බි. නිහාල්සිංහ මහතා ඔහුගේ අන්තිම කැමැත්ත ගැන ඔබට කියා තිබුණද?
ඔව්. මිය ගියාට පස්සේ කාටවත් නොදන්වා, පැය 24ක් ඇතුළත දේහය වළ දමන ලෙසයි එතුමා තමන්ගේ  අන්තිම කැමැත්තෙන් ඉල්ලා තිබුණේ. ඒක එතුමාගේ පවු‍ලේ සිරිතක්. නිහාල්සිංහයන්ගේ මව, පියා සහ සොහොයුරාගේ අවසන් කටයුතුත් ඒ විදිහටයි සිදු වුණේ. නමුත් ඕස්ට්‍රේලියාවේ සිටින පුතා පැමිණෙන තෙක් අවසන් කටයුතු තරමක් ප්‍රමාද කරන්න සිදු වුණා. එහෙම නොවුණානම් බොහෝවිට ඔහු මියගිය බව කාටත් දැන ගන්නට ලැබෙන්නේ පුවත්පත්වල පළ කරන දැන්වීමකින් වීමට ඉඩ තිබුණා.

1

කිෂාන් කනංකෙ