දැවැන්තම මැයි රැළිය කිරුළපන රැළියයි

ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරනු ලබන කිරුළපන මැයි රැළිය වැඩකරන ජනතාව වෙනුවෙන් සංවිධානය කරනු ලබන දැවැන්ත මැයි රැළියක් බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද(26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එමෙන්ම පවතින ආණ්ඩුවට විරෝධීව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරනු ලබන කිරුළපන මැයි රැළිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම අනිවාර්යය බවද ඒ මහතා පවසා තිබේ.

එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ගාල්ලේ පැවැත්වෙන මැයි රැළිය සඳහා සහභාගී නොවන බවද ඒ මහතා පවසයි.

යහපාලන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව විසින් පැළඳ සිටි වෙස් මුහුණ ගලවා විසි කර ඇති බවත්, එයට හොඳම නිදර්ශනය ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධාන කරනු ලබන කිරුළපන මැයි රැළිය සඳහා ශාලිකා පිට්ටනිය ලබා දී නැවත එය ලබා නොදීමට නොහැකි බව ප්‍රකාශ කිරීම බවත් ඔහු පෙන්වා දෙයි.

මෙවැනි සිදුවීම් කණගාටුවට කරුණක් බවත් මෙවැනි දෑ සිදු වූයේ එජාප ආණ්ඩ් සමයේ පමණක් බවත් ඒ මහතා පෙන්වා දී තිබේ.

දිනෙන් දින රට අවුලකට හා ආර්ථික වශයෙන් පරිහානිය කරා ගමන් කරන බවත් එය වැඩ කරන ජනතාවගේ කරපිටට බර පැටවීමක් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මෙහිදී දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේ මූල්‍ය බලතල සියල්ලක්ම පවතින ආණුඩුවට ඇති නිසාවෙන් ඔවුන්ට නව බදු පැනවීමට හා ගෙන ඒමට අවස්ථාවක් ඇතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එම බදු පැනවීමට අවස්ථාව ලැබෙන්නේ පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක්කර සම්මත වුවහොත් පමණක් බවයි.

නැතිනම් එම බදු නීතිවිරෝධී ආකාරයෙන් පනවනු ලබන බදු ගණයට අයත්වන බවත් පැවසෙයි.

ඉදිරිපත් කළ අයවැයට අමතරව අතුරු අයවැයක් ඉදිරිපත් කරන බව අගමැතිවරයා විසින් ප්‍රකාශ කළද තවමත් එය ඉදිරිපත් නොවූ බවද ඒ මහතා පවසයි.

ඒ නිසාවෙන් මෙවැනි බදු පනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොකරන ලෙසට අගමැතිවරයාට අවධාරණයෙන් පවසන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

 

qw