බේබි බේර ගන්න රේල් පාරට පැන්න ආයම්මාට නඩු

1911 වසරේ වැල්ලවත්තේ දුම්රිය මාර්ගය මැද නැවතී සිටි බේබි බේරාගැනීමට තමා වෙත ඇදී එන දුම්රිය නොතකා දුම්රිය මාර්ගය මැදට පැන බේබි බේරාගත් ලයිසහාමි ආයම්මා උදාර නිර්භීත ක්‍රියාවක් කර ඇති බව අගයමින් රටේ නීතිය අනුව රේල් පාර මැදට පැනීම වරදක් ලෙස සලකා අග්‍රවිනිශ්චයකාර ශ්‍රේණියර් මැතිතුමා ඇයට නාමික දඩයක් වශයෙන් සතයක් ගෙවීමට නියම කරයි.

 

 

මේ නඩුව 1911 වසරේ වැල්ලවත්තේ දුම්රිය මාර්ගයේ කුඩා ළමයෙකු ආශ්‍රිතව වූ සිද්ධියක් පාදකකොට ගනිමින් විමසන ලද නඩුවක විස්තරයකි. සවසට මුහුදු වෙරළට යමින් සිටි බේබිලා දෙදෙනා දුම්රිය මාර්ගය හරහා යමින් සිටිය දී ඒ මත දුම්රිය ඇදී එනු දුටු ලොකු බේබි වහා පැන දුම්රිය මාර්ගයෙන් එතෙර විය. කුඩා බේබි කර කියාගත හැකි දෙයක් නොමැතිව දුම්රිය මාර්ගය මත නතර විය. බේබිලා දෙදෙනා සමග පැමිණි ලයිසහාමි නම් ආයම්මා එවකටත් දුම්රිය මාර්ගයට අවතීර්ණ නොවී සිටියෙන් වහා පැන කුඩා බේබි රැගෙන දුම්රිය මාර්ගයෙන් ඉවත් වූවාය. කෙසේ නමුත් දුම්රිය රියදුරු වෙහෙස දරා ඔවුන් ආසන්නයේම නතර කර ගැනීමට ඔහුට හැකිවිය.

23-Rasa-p2-BA
අදාළ බලධරයින්ගේ අවසර කිසිවක් නොමැතිව දුම්රිය මාර්ගය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ලයිසහාමිට විරුද්ධව කොළඹ පොලිස් උසාවියේ දුම්රිය දෙපාර්තමේන්තුව මේ නඩුව පැවරුවේය. පොලිස් මහේස්ත්‍රාත්තුමා නඩුව විභාගකොට ලයිසහාමි වරදකරු බවට නිගමනය කොට ඇයට දඩ ගෙවීමට නියම කළේය. ඇය තීන්දුවට විරුද්ධව අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කළාය. එය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රේණියර් මැතිතුමා නඩුවට අදාළ කරුණු සියල්ල සලකා බලා පොලිස් මහේස්ත්‍රාත්තුමාගේ තීන්දුව ස්ථිර කරමින් පනවන ලද දඩය නාමික දඩයක් පමණක් විය යුතු බව පවසමින් ලැයිසහාමිට දඩය වශයෙන් සතයක් පමණක් ගෙවීමට නියම කළේය. කෙසේ නමුත් සිදුවීමට ගිය විශාල හානිය එලෙසින් නිම විය.
මේ නඩුවට අදාළ නීතිය 1902 අංක 09 දරන ආඥා පනතේ 32 වන වගන්තියේ පැහැදිලිව දක්වා ඇත. “දුම්රිය බලධරයින්ගේ අවසරයක් නොමැතිව දුම්රිය මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙක් එහි වගන්තිය උල්ලංඝණය කරමින් වරදක් සිදුකරයි.” යනුවෙන් එහි දැක්වේ. එබැවින් මෙහිදී අවශ්‍ය වන්නේ වරද සිදුකිරීමට මේ කරුණු පමණක් අවශ්‍ය බවය. එනම් යම්කිසි කටයුත්තක් කෙනකු විසින් නොකළ යුතු බවට නීතියේ දක්වා ඇතහොත් එය දැන දැනම කෙනකු විසින් එය කරනු ලැබුවහොත් ඔහු වරදක් සිදුකරනු ලැබ ඇති බවට හඟිනු ලබයි. මෙහිදී අවශ්‍ය වන්නේ දුම්රිය මාර්ගයේ ගමන් කිරීම වරදක් බව දැකීමය.
මෙය අපරාධ නඩුවල දී මෙන් දැනුම, නීතිය කඩකිරීමක් අවශ්‍ය නොවේ. දුම්රිය බලධරයින්ගේ අවසරයක් නොමැතිව දුම්රිය මාර්ගය යම් කෙනෙක් ගමන් කරයි ද ඔහු එසේ කිරීම වරදක් බව පමණක් දැනගැනීම අවශ්‍ය වේ. මෙය අපරාධ නීතියේ මෙන් දඩබ්බර අවශ්‍යතාවයක් නොවේ. බොහෝදෙනා පයින් ගමන් කිරීමේ දී දුම්රිය මාර්ගය දිගේ යාම බොහෝ සෙයින් කරන්නක් බව පෙනේ. එවන් විට ඔහු විසින් කරනු ලබන්නේ නීතියට පටහැනි වරදක් බව ඔහුට පෙන්වා සිටීම අවශ්‍ය නැත.

RASAWITHA_02.qxd
මෙහිදී කුඩා ළමයින් දෙදෙනා බලාගන්නා ආයම්මාට අවශ්‍ය වූයේ මුහුදු වෙරළට යාමටය. ඒ සඳහා දුම්රිය මාර්ගය හරහා ගොස් මුහුදු වෙරළට සමීපවීමට ඇයට අවශ්‍ය විය. එසේ කිරීමේ දී තහනම්ව ඇති දුම්රිය මාර්ගය හරහා යාම සිදුකරනු ලැබුවත් එසේ කිරීමේ දී දැනට නීතිය කඩ කිරීමට ඇයට අවශ්‍ය වී නැති බව ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ වැන්ලන්ගන් බර්ග් මහතා පෙන්වා දී ඇත.
මේ අභියාචනා පෙත්සම ශ්‍රේණියර් මහතා විභාග කිරීමට ආරම්භ කරමින් ආඥා පනතේ 32 වැනි වගන්තිය මෙසේ විග්‍රහකොට දැක්වීය. එය මෙසේ විය.
“දුම්රිය මාර්ගයක් හරහා නැතහොත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් දුම්රිය ස්ථානයේ හෝ වෙනත් දේපළවලට අවසරයක් නොමැතිව බලහත්කාරයෙන් ඇතුල්වන අයෙක් වරදකට වරදකරු වන්නේය. එසේ වූ විට ඔහු රුපියල් විස්සකට වඩා වැඩි නොවන දඩයකට යටත් විය යුතුය. එසේම එවන් කෙනෙක් එවන් රේල් පාරක් හෝ ඉඩමක් හෝ දුම්රිය ස්ථානයකින් ඉවත් වන ලෙස නිලධාරියෙකු විසින් ඉල්ලා සිටින විට එසේ නොකරන්නේ නම් ඒ තැනැත්තා වරදකට වරදකරු වන්නේය. එසේ වූ විට ඔහු රුපියල් පනහකට නොවැඩි දඩයකට යටත් විය යුතුය.”
ඉහත කී වගන්තියේ විධි විධාන තවදුරටත් පැහැදිලි කරමින් ශ්‍රේණියර් විනිශ්චයකාරතුමා ප්‍රකාශකොට සිටියේ ඉහත කී දේපල රාශියක් ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් බවත් ඒවා විවිධ අයගෙන් ආරක්ෂා කරගැනීමට මෙවන් ප්‍රතිපාදන අවශ්‍ය බවය. බොහෝදෙනා තමාට හෝ වෙනත් අයට කිසිදු සැලකිල්ලක් නොදක්වා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දේපලවලට බලහත්කාරයෙන් ඇතුල්වෙති. එසේ සිදුකොට දුම්රිය දෙපාර්තමේන්තු දේපලවල ඔවුන් රැඳී සිටිති. එසේම බොහෝදෙනෙක් දුම්රිය මාර්ගය ස්වකීය මාර්ගය කරගනිමින් ඒවා බලහත්කාරයෙන් පාවිච්චි කරති. එසේම දුම්රිය මාර්ගයේ එසේ බලහත්කාරයෙන් පාවිච්චි කරමින් තමන්ට දුම්රියවලින් වන අවධානය ද නොතකයි. එබැවින් මෙවන් නීතිවල පැවැත්මේ අවශ්‍යතාවය බෙහෙවින් පෙන්නුම් කෙරෙන බව විනිසුරුතුමා අවධාරණය කළහ. ඔවුන්ට නීතියේ පැවැත්ම නොදැනීම කියා සිටිය නොහැකිය. නීතියට අනුකූලවීමේ අවශ්‍යතාවය ද  ප්‍රතික්ෂේප කළ නොහැකිය. එබැවින් මේ අයුරින් නීතිගතකොට තිබීම වඩාත් අවශ්‍ය බව විනිසුරුතුමා තවදුරටත් පැහැදිලි කළේය.
ලංකාවේ තිබෙන සියලු දුම්රිය මාර්ග ලංකා රජයට අයත් වේ. ඒවා විවිධ අය විසින් බලහත්කාරයෙන් පාවිච්චි කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී දඬුවම් ලැබිය යුතු වරදක් විය යුතුය. දුම්රිය මාර්ගයේ විවිධ අය විවිධ අයුරින් පාවිච්චි කිරීම දැනට බොහෝ සෙයින් දැකගැනීමට හැකි බවත් දුම්රිය සේවයට අයත් දේපලක් නිසි බලධරයින්ගේ අවසරය නොමැතිව කෙනකු විසින් පාවිච්චි කරනු ලැබීම දඬුවම් විඳිය යුතු වරදක් බවත් එවන් නීතියක් බලපවත්වමින් තිබෙන බව සියලු දෙනා දැනගත යුතු බවත් විනිසුරුතුමා තවදුරටත් අවධාරණය කළේය.
මේ නඩුවේ කරුණු විග්‍රහ කිරීම විනිශ්චයකාරතුමා මීළඟට ආරම්භ කළේය. මේ සිද්ධියට අදාළ දුම්රිය ධාවනය කරන ලද්දේ ජී.එෆ්. බෙවන් නමින් වූ රියදුරා විසිනි. ඔහු සාක්ෂි දෙමින් මෙසේ පවසා ඇත.
මරදානේ සිට ගල්කිස්ස දක්වා ධාවනය කෙරෙන දුම්රිය මම සවස 5.20ට පමණ ධාවනට ආරම්භ කළෙමි. වැල්ලවත්ත පාලම දෙසට මම ක්‍රමයෙන් ළඟා වෙනවාත් සමග මම රේල් පාරේ ළමයින් දෙදෙනෙක් ඉන්නවා දුටුවෙමි. ඔවුන් කුඩා ළමයින් බව මම දුටුවෙමි. මම දුම්රියේ  සීනුව නාද කළෙමි. මට පෙනීගිය අයුරු එක් ළමයෙකුට එය ඇසී ඔහු අනික් ළමයා රේල් පාර මැද සිටිය දී දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන දිව්වේය. රේල් පාර මැද නැවැතුණු ළමයා කුමක් කරන්නේද යන්න තීන්දු කරගත නොහැකි බව පෙන්වමින් සිටියා සේ මට දැනුණි. මම නැවත ද විසිල් පාරක් ගැසුවෙමි. ඉන්ද පලක් නොවූ හෙයින් මම වාෂ්ප ටැංකිය වසා තිරිංග ක්‍රමයෙන් හිමිහිට තද කළෙමි. මේ අවස්ථාවේ දී විත්තිකාර අභිආයාචක වම්පැත්තෙන් රේල් පාරට ප්‍රවිශ්ඨ වී ළමයා ද රැගෙන ඉවතට යනු මම දුටුවෙමි. “මේ අනුව බෙවන් මහතා වහා ක්‍රියාකිරීම නොවන්නට දරුණු මරණීය අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බව ශ්‍රේණියර් මතා පැවසීය. මේ කාන්තාවගේ ක්‍රියාදාමය ඉතා උදාර බව ශ්‍රේණියර්තුමා පැවසීය. ඇය තමා වෙත ගමන් කරන දුම්රිය දැක දැකත් එසේ සමහර විට තමා මරණීය අනතුරක් සිදුවිය හැකි බව දැන දැනත් වහා දුම්රිය මාර්ගය මැදට පැන එහි කිසිවක් කරකියා ගත නොහැකිව සිටි දරුවා උසුලා දුම්රිය මාර්ගයෙන් ඉවතට ගෙනයාම ඉතා ශ්‍රේෂ්ඨ නිර්භීත ක්‍රියාවක් බව අගය කළේය. එහෙත් එසේ කිරීමේ දී ලයිසහාමි ආයම්මා රටේ වලංගුව පවත්නා නීතිය එනම් දුම්රිය මාර්ගය පාවිච්චි කිරීම උල්ලංඝනය කොට ඇති බව උච්චාරණය කළේය. එබැවින් රටේ නීතිය ඇය විසින් උල්ලංඝනය කොට ඇති බැවින් ඇය දඬුවම් විඳිය යුතු බව අවධාරණය කළේය. කොළඹ පොලිස් මහේස්ත්‍රාත්තුමා ඇයට කරන ලද වරදට දඩ මුදලක් ගෙවීමට නියෝගකොට තිබුණි. එහෙත් ඇය විසින් කරන ලද උදාර නිර්භීත ක්‍රියා සැලකිල්ලට ගෙන පනවා ඇති දඩ මුදල වෙනුවට නාමික දඩ මුදලක් වශයෙන් සතයක් පමණක් ගෙවීමට ඇයට නියම කළේය.

78