වෙනස් ශෛලීන් අත්හදා බලමින් ඉදිරියට යනවා

ඇය, සිය නිසඟ දක්ෂතාව නිසා ම සංගීත ක්ෂේත්‍රයට පැමිණියා ය. එදා මෙන් ම අදත් සංගීත ක්ෂේත්‍රය තුළ සිය ජනප්‍රියත්වය එක සේ රැක ගනිමින්, සිය අනන්‍යතාව රැකගෙන ඉදිරියට ම යන ඇය, පසුගියදා පැවැති ස්ලිම් නීල්සන් පීපල්ස් එවෝඩ් වසරේ ගායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා ය. මේ වනවිට බොහෝ සම්මාන ප්‍රමාණයකට හිමිකම් කියා ඇති මේ ගායිකාව, ශෂිකා නිසංසලා නම් වන්නීය.

* සංගීතය ඔබේ ආත්මය වුණේ කොයි කාලෙ ඉඳන්ද?

සංගීතය කියන්නෙ මට උපතින් ම ලැබුණු දෙයක්. පෙර පාසල් යන්න කලින් ඉඳන් ම මට ගායන හැකියා ව තිබුණා. ඒකට හේතුව, මගේ පියා ඇතුළු ඔහුගේ සහෝදරියන් සංගීතය හොඳින් ඉගෙනගෙන මේ ක්ෂේත්‍රයට ඇල්මක් දක්වමින් කටයුතු කිරීමයි. ඔවුන් දැරණියගල උඩපොල ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක් පවත්වාගෙන ගිහින් තිබෙනවා. ඒ කාලෙ ඉඳන් ම මං ඒ කණ්ඩායම සමඟ එක්ව ළමා ගීත කිව්වා.

පසුව පාසලේදී විෂයයක් විදිහට මං සංගීතය හැදෑරුවා. ආනන්ද රාජපක්ෂ ගුරුතුමා යටතේ සංගීතය වැඩිදුරටත් ප්‍රගුණ කළා. ඔය අතරෙදි ගුවන්විදුලියේ විවිධ ළමා වැඩසටහන්වලටත් සහභාගී වෙන්න ලැබුණා. උදාර, මුතුහර, හඳමාමා වගේ වැඩසටහන්වලට සම්බන්ධවෙලා බොහෝ අත්දැකීම් ලැබුවා.

උ.පෙළට මේ විෂයම කරන්න ඕනෑ කියලා මවුපියො කවදාකවත් මට බලපෑම් කළේ නෑ. සමහර ගුරුවරු මට විද්‍යා අංශයෙන්, ගණිත අංශයෙන් උ.පෙළ හදාරන්න කිව්වත් මම බොහෝ සේ ඇලුම් කළේ සංගීත විෂයට නිසාත්, සංගීත ගුරුවරියක් වීමේ ආශාවක් හිතේ තිබුණු නිසාත් මං සංගීත ධාරාවෙන් උ.පෙළ කළා.

* ඔබේ සංගීත ජීවිතය වෙනස් මඟකට ‍ගේන්න ‘තුරුණු ශක්ති’ වැඩසටහන බලපෑවේ කොහොමද?

1999 වස‍රෙදි මං 12 වසරේ ඉගෙනුම ලැබුවේ. පාසල් බස් රථයේ එද්දී යාළුවො හැමෝම කතාවෙලා මේ තරගය සඳහා ඉල්ලුම්පත් දැම්මා. මං ඒ තරගයෙන් පළමුවැනියා වුණා. පළාත් තරගයෙනුත් පළමුවැනියා. අවාසන තරගයෙනුත් පළමුවැනියා වුණා. 2000 වසරේ ජනවාරි මාසයේ දී මේ තරගය පැවැත්වුණේ. මේ තරගය වෙනුවෙන් බොහෝ සෙයින් ම කැපවෙලා, ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න සිදුවුණා. ඒ වසරේ අගෝස්තු මාසෙ උ.පෙළ කරන්න තිබුණා. මේ හැමදේම අතරේ ඒ සාමාර්ථ තුනක් ලබාගෙන උ.පෙළ සමත‍්වෙන්න මට හැකි වුණා. ඊට පස්සේ කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. එහිදී සංගීත විශේෂවේදී උපාධිය හැදෑරුවා.

ඒ ගමන්ම නාට්‍ය හා රංග කලාව ශාස්ත්‍රපති උපාධියත් කළා.

තුරුණු ශක්ති නිසා මං වගේ බොහෝ දෙනෙක්ට ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාවක් ලැබුණා. තුරුණු ශක්ති ජයග්‍රහණය කළ ගමන්ම බොහෝ කැසට් නිෂ්පාදකයන් කැසට්පට කරන්න මට කතා කළත්, උ.පෙළ නිසා මං එකපාරටම ඒවා බාරගත්තෙ නෑ. උ.පෙළින් පස්සේ තමයි ඒ වගේ කටයුතුවලට එක්වුණේ.

* ගුරුවරියක වීමේ හිනයට මොකද වුණේ?

කැලණිය ධර්මාලෝක විද්‍යාලයේ සංගීත ගුරුවරියක් විදිහට මං කාලයක් සේවය කළා. ගුරුවරියක් විදිහට කටයුතු කරද්දී දවල් දවස පුරාම කෑ ගහන්න වෙනවා. සංගීත ප්‍රසංගවලට ගිහින් ගීත ගායනා කරන්න නම් උගුර පරෙස්සම් කරගන්න ඕනි. ඒ නිසා ම මං පූර්ණකාලීන වෘත්තීය ගායන ශිල්පිනියක් වෙන්න හිතුවා. ඒ නිසා ගුරු වෘත්තියට සමු දෙන්න සිදු වුණා.

* එළිමහන් සහ ගෘහස්ථ ප්‍රසංගවලට සහභාගී වන ඔබ , අතිශයින්ම කාර්ය බහුල තැනැත්තියක්. ඒ නිසා ම දරුවන්ගේ, ගෙදර දොරේ වැඩ අතපසු වෙන්නෙ නැද්ද?

මට පවුලේ අයගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ, අම්මා, තාත්තා වගේ ම සැමියාගෙන් ලැබෙන සහය නිසා තමයි මට මේ කටයුත්ත හරියාකාරවම කරගෙන ඉදිරියට එන්න හැකිවෙලා තියෙන්නෙ. මං කාර්යබහුල නිසා ම, දරුවන්ගේ කටයුතු අතපසු වෙන්න පුළුවන්. මේ හේතුව නිසා ම මගේ සැමියා එයාගේ රැකියාවෙන් පවා අස්වුණා. ඔහු දරුවොත් බලාගෙන , මේ වෙනකොට පුංචි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. රූපවාහිනි, ගුවන්විදුලි වැඩසටහන්, සංගීත ප්‍රසංග , ගීත පටිගතකිරීම් වගේ සෑම වැඩ කටයුත්තකටම මගේ සැමියා තමයි මා එක්කගෙන යන්නෙ.

* හැම ගමනක් ම සැමියා එක්ක යන්නේ ක්ෂේත්‍රයේ කතන්දරයක් හැදෙයි කියලා බයේද?

කාන්තාවකට පිරිමියකුගේ රැකවරණය තිබෙනවා නම් තමයි ඉදිරියට යන්න හැකි වෙන්නේ. කොහොමත් මට එදා ඉඳන්ම ක්ෂේත්‍රයේ කතා හැදුනේ නෑ. තමන් ඉන්න විදිහ අනුව තමයි කතා හැදෙන්නේ. රෑ ගමන් කොහොමත් තිනවම යන්න බෑ. ඒ කාලේ ප්‍රසංගවලට රෑ කාලේ යනකොට ගියෙත් අම්මයි, තාත්තයි, මල්ලියි එක්ක. රෑ නිදිවරාගෙන යනකොට රිය පදවගෙන යන කෙනාට නිදිමත එන්න පුළුවන්. ඒක නිසා අපි හතරදෙනා ඒ වගේ ගමන් බිමන් ගියේ සිංදු කියකියා හරිම විනෝදෙන්. විවාහ වුණාට පස්සේ හැම ගමනක් ම සැමියා එක්ක තමයි යන්නේ. තනියෙන් යනකොට කම්මැලියි. පාළුයි. ඒත් ඉක්මනට ගිහින් එන්න පුළුවන් ගමනක් නම් මං තනිවම යනවා.

* පසුගියදා ඔබ ස්ලිම් නීල්සන් පීපල්ස් එවෝඩ් සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වුණා. ඒ ගැන කතා කළොත්?

මේ වෙනකොට හොඳ ම ගායනය වෙනුවෙන් මම සම්මාන 11ක් ලබාගෙන තිබෙනවා. මේ සම්මාන උළෙලේ හොඳ ම ගායනය වෙනුවෙන් හත් වතාවක් ම මම නිර්දේශවෙලා තියෙනවා. මේ ලැබුණේ ජනතාවගේ කැමැත්ත. ඒ ගැන මට සතුටුයි.මට එදා ඉඳන් ම ජනතා සම්මානය ලැබුණා. ‘පාරමිතා’ කියන්නේ මගේ පළමුවැනි කැසට් එක. ඒ කාලේ මේ කැසට්පටයෙන් ‘සඳ රෑට රෑට’ කියන ගීතය ජනප්‍රිය වුණා. ඒ කාලේ ඉඳන් ම මට රසික ප්‍රතිචාර නොඅඩුව ලැබුණා. මේ නිසා මේ වගේ සම්මානයක් ලැබීම ගැන මා සතුටු වෙනවා. සම්මාන නොලැබුණත් ජනතාව අතර ඉන්නවා කියා දන්නවා. මගේ ගීත බොහෝ ප්‍රමාණයක් ජනතාව අතරට ගිහින් තිබීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. මං අඳින පළඳින විදිහට, ප්‍රසංග‍ වේදිකාවෙ හැසිරෙන විදිහට බොහෝ රසික රසිකාවියො කැමැතියි.

* මෙවර සම්මානය ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණද?

එහෙම ලොකු බල­ාපොරොත්තුවක්නම් තිබුණේ නෑ. ඒත් මගේ සැමියා සහ තව බොහෝ අය කිව්වා මේ සම්මානය මෙවර මට ලැබෙයි කියලා.

* එහෙම බොහෝ දෙනා කිව්වත්, ඔබ සම්මාන උළෙලට සහභාගි වුණේ නෑනේ?

මගෙන් ඔය ගැන බොහෝදෙනා ඇහුවා. ඒකට හේතු වුණේ මේ සම්මාන උළෙල ගැන දැනගන්න කලින් මං ප්‍රසංග කිහිපයක් බාර අරගෙන තිබුණ නිසයි. ඒ නිසා මට ඒවාට යන්න වුණා.

* පසුගිය කාලයේදී ඔබ ගැයූ ඇස්දෙක පුරා ගීතය බෙහෙවින් ම ජනප්‍රිය වුණා. සෑම නාලිකාවකම වගේ ගීත දර්ශකවල මේ ගීතය මුල් තැනට පැමිණියා. මේ ගීතය අතිශයින් ම ජනප්‍රිය වීම, ඔබට මේ සම්මානය ලැබීමට බලපෑවා වෙන්න පුළුවන්ද?

මේ ගීතය ප්‍රසංගවලට ගියහම අනිවාර්යයෙන් ම ගායනා කරන්න සිදුවුණා. චාර්ට් ෂෝවලත් මුල් තැනට ආවා. ඒ ජනප්‍රියත්වය මේ සම්මානය සඳහා බෙහෙවින් ම හේතු වුණා කියා මා හිතනවා.

* ඒ වගේ සම්මානයක් ලැබීම, නිර්මාණකරුවකුට බලපාන්නේ කොහොමද?

ඒ වගේ දෙයක් ලැබීම නිර්මාණකරුවකුට ශක්තියක්.

* මේ සම්මානය සඳහා ඔබත් සමඟ මෙරට සිටින ප්‍රවීණම ගායිකාවන් දෙදෙනෙක් නිර්දේශවෙලා තිබුණා.

මට වඩා බොහොම ප්‍රවීණ නන්දා මාලිනී වගේම නිරෝෂා විරාජිනී යන ගායිකාවන් දෙදෙනා තමයි නිර්දේශවෙලා තිබුණේ. මං තුරුණු ශක්ති වේදිකාවේ මුල්වරට ගැයුවෙත් නිරෝෂා අක්කගෙ ගීත. ඒ නිසා මට මේ සම්මානය නොලැබිලා, ඒ වගේ ප්‍රවීණයන් දෙදෙනෙක්ට මේ සම්මානය ලැබුණා නම් ඒ ගැන මං කොහෙත්ම දුක් වෙන්නේ නෑ.

* මේ දවස්වල ‘ඇස්දෙක පුරා’ ගීතයත් අතිශයින් ම ජනප්‍රියයි. ඒ ගැන මොකද හිතන්නේ?

මේ වනවිට ඒ ගීතය ටොප් චාර්ට්වල ඉදිරියෙන් ම තිබෙනවා. ඒ ගැන සතුටුයි. මේ ගීත ජනප්‍රිය කරන්න කියලා මං කිසි ම නාලිකාවකට බල කරලා නෑ. ඒත් ඒ අය මේ ගීත ප්‍රචාරය කරලා අප වගේ ගායිකාවන්ට සහය දෙනවා. අපි මාධ්‍යයත් සමඟ නිරන්තරයෙන් ම සහයෝගයෙන් කටයුතු කරනවා.

* ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ කතා කළොත්?

සංගීතය හදාරපු සහ තවමත් සංගීතය හදාරන කෙනෙක් විදිහට විවිධ ශෛලීන්වලින් ගීත ගැයීමේ අපේක්ෂාවක් තිබෙනවා. අත්හදාබැලීම් එක්ක වෙනස් වෙනස් විදිහේ නිර්මාණ කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

ds

ඉරෝ­ෂිණී දීපිකා
ඡායාරූප – ගයාන් පුෂ්පික