සිසුවියෝ ලෙඩ වෙති කැලණි සරසවිය වැසේ

කැලණිය විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යාවන් 8කට පමණ වැළඳුණු හදිසි රෝගී තත්ත්වයක්‌ හේතුවෙන් එම විශ්වවිද්‍යාලය ලබන මස 03 වැනිදා දක්‌වා වසා දැමීමට එහි පාලනාධිකාරිය ඊයේ (26 වැනිදා) පියවර ගත්තේය.

විශ්වවිද්‍යාලයීය පරිශ්‍රයේ පවතින බණ්‌ඩාරනායක සහ විහාරමහාදේවි කාන්තා නේවාසිකාගාරවල ශිෂ්‍යාවන් කිහිපදෙනකු පසුගිය සිකුරාදා (22 වැනිදා) වමනය සහ උදරාබාධය වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළීම නිසා කිරිබත්ගොඩ රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන ඇත.

එම රෝගී තත්ත්වය ඊයේ වන විට ශිෂ්‍යාවන් 80 දෙනකුට පමණ වැළඳීම නිසා ඔවුන් ප්‍රතිකාර සඳහා කිරිබත්ගොඩ රෝහලට යොමුකර පාලනාධිකාරිය සහ වෛද්‍යවරුන් සාකච්ඡා කර විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව එම විශ්වවිද්‍යාලයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චාමින්ද අබේසිංහ මහතා zදිවයිනZට පැවසීය.

විශ්වවිද්‍යාලය වසා දැමීමෙන් පසු කැලණිය කොට්‌ඨාසයේ මහජන පරීක්‍ෂකවරුන් සහ වෛද්‍යවරුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයට පැමිණ ජලය සහ ආහාර සාම්පල් පරීක්‍ෂණ සඳහා ලබාගත් බවත් එහි වාර්තාව ඊයේ සවස වන විට ලැබීමට නියමිතව තිබූ බව අධ්‍යක්‍ෂවරයා පැවසීය.

රෝහල්ගත කර ශිෂ්‍යාවන්ගෙන් සිව්දෙනකු නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

1

චමින්ද සිල්වා