වසර 26යක් නිම නොවන ජල කඳක් ගලනා පුදුම නළ ළිඳ

ජලය මිනිසාගේ මෙන්ම මුළු මහත් ලෝක ප්‍ර‍ජාවගේම ජීවනාලියයි යන්න පුරාථනයේ පටන් කියැවෙන කරුණකි.

අහසින් වැටෙන එක් දිය බිදකු මුහුදට ගලා යාමට නොදී රැස්කරන්නැයි අතීත රජවරුවන් මුළු මහත් ලෝකයටම කියා පෑවේ ජලයේ වටිනාකම ඒ තරම් ඈත ප්‍රෞඩ ඉතිහාසයේත් ඒ තරම්ම ප්‍ර‍බල සාධකයක්ව තිබූ නිසාය.
මේ වන විට ශ්‍රි ලංකාව පුරාත් මතු වී ඇති ජල ප්‍ර‍ශ්නය හමුවේ ඒ ආදර්ශයන් කොයිතරම් වටිනවාද යන්න ඔප්පු කිරීමට තවත් සාක්ෂි නූමනාය.
පොලොව හාරා ජලය ලබා ගන්නා ජලය නූතනයේ බොහෝ භාවිතයන් සදහා යොදා ගැනීමත් අරපිරිමැස්මෙන් එම ජලය පරිභෝජනයට ගැනීමට සිදු වී තිබීමත් හමුවේ ජලයේ වටිනාකම තවත් වැඩි වී තිබේ.
ගම් මට්ටමින් බිම් මට්ටමින් ජලය පිරිපහදු මධ්‍යස්ථාන ඇති කරමින් පිරිසිදු පානීය ජල ව්‍යාපෘතිද රට පුරා ස්ථාපිත කර ඇත්තේද ඒ නිසාය.

ලංකාව පුරා ඇළවල් වැව් පොකුණු දිය ඇලි බොහෝ ගණනක් ඇත. එහෙත් ඒවා නියං කාලයේදී සිදී ගොස් වැව් පොකුණු පොළෝ තල පවා ඉරි තලා යන්නේය.

වැසි කාලවලදී නැවතත් ඇළ දොල පිරී සරුසාරව ගලා යන්නේය. එහෙත් මේ කියන්නට යන කතාවේ බොහෝ වටිනාකමක් ඇත. එය ශ්‍රි ලංකාව වැනි රටකට විශාල සම්පතක් හා බදු වත්කමක් සේ සැලකීම නිවැරදිය.

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් නිකරවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට මායිම පිහිටා ඇති දිවුල්ගොඩයාගම ගම්මානය හුදෙක් යැපුම් කෘෂිකාර්මික ජීවනෝපාය කරගත් මිනිස් ප්‍ර‍ජාවක් ජීවත්වන ගම්මානයකි.

එහෙත් එම ගම්මානයට වටිනාකමක් එක් කරමින් ගමේ කෙලවරකට වන්නට පිහිටා ඇති නළ ළිද මෙම ගම්මානයේ සුන්දරත්වය මෙන්ම උරුමයද රටට සහ ලෝකයට ගෙන යන්නට සමත් වී තිබේ.
රණසිංහ පේමදාස හිටපු ජනාධිපතිතුමන්ගේ කාලයේ ඉදි කර ඇති මෙම නළ ළිදට දැනට වසර 26 ක අතීතයක් තිබුණද එය ඉදි කළ දා පටන් එයින් මතුවන ජල කදට නම් තවමත් නිමාවක් වී ලැබී නැත. කෙසේ වෙතත් මේ කතාවට අප සමග එම්.ඒ.බී කපුරුබංඩා මහතා සම්බන්ධවූයේ මෙම තතු ගැන දන්නා අයෙකු හැටියටය.

“මේ නළ ළිද මේ ගමේ හදනකොට දැන් මේ අවට තියන ගෙවල් දොරවල් මොකුත් තිබුණෙ නෑ. ඊට පස්සේ තමා ටික ටික මේවා ඉදි වුණේ. පේමදාස මහත්තයාගේ සංකල්පකට අනුව මේ නළ ළිද මේ ගමේ හදන්න තීරණය කළා. මේ නළ ළිද හදන කාලේ අපිත් මේ තැනට ඇවිත් මේ වැඩවලට උදව් කරලා තිවනවා. 

 
අඩි විස්සක් විසපහක් විතර පොළොව හාරනකොට වතුර උඩට එන්න පටන් ගත්තා. ඒත් නළ ළිදකට සෑහෙන යටට කපන්න ඕනේ නිසා අඩි 65 ක් විතර යනකල් මේ ළිද හැරුවා. ඒත් ගැඹුර මදි කියලයි ඒක කරපු මහත්තුරු කීවේ. කොහොම හරි එතනින් එහාට ආයේ අඩියක්වත් හාරන්න කොම්පෙෂර් ගැහුවත් බැරි වුණා. 
 
මොකද යටින් මතුවෙන ජල කදේ වේගයට මැෂින් විසි වෙලා යනවා. අගල් 6 ක වටප්‍ර‍මාණයක් තියන යකඩ බටයක් තමා ළිදේ වටේට දාලා තියෙන්නෙ. මේක හාරනකොට බැකෝ යන්ත්‍ර‍යක් ගෙනැල්ලා කොම්පෙෂර් එකට තියලා තද කළා. ඒත් විසි වෙලා ගියා. ඒ තරම් වේගවත් ජල කදක් තමා මේකෙන් ආවේ. 
 
එදා ඉදල මේ දක්වා කවමදාකවත් මේ නළ ළිදේ වතුර නැවතුනේ නෑ. අව්ව වැස්ස කොහොම තිබුණත් මේ ගම්මානවල මිනිස්සුන්ට මේ නළ ළිද හැමදාම පිහිටට ඉන්නවා. 
 
වැස්ස කාලෙට වතුර වැඩියෙන් එනවා. පායන කාලෙට සාමාන්‍ය ලොකු ජල පහරක් වගේ එනවා. ඒත් මේ වතුර බොන්න ගන්නෙ නෑ කිවුල් ගතිය වැඩි නිසා. එත් මේ ගමේ විතරක් නෙමේ ගම් රාශීයක ජනතාව මේ නළ ළිදෙන් වතුර අරන් යනවා. 
 
ට්‍රැක්ටර්වලින් බවුසර්වලින් එනවා වතුර ගෙනියන්න. ඒක මේ ගම්වල මිනිස්සුන්ට හරි සතුටක් වගේම මිනිස්සුන්ගේ ලොකු පිනක් විදිහටයි අපි සලකන්නේ.”

ඇත්තෙන්ම මේ ආකරයෙන් හෝ ජලය ලැබීම මේ මිනිසුන්ගේ වාසනාවකි. ලංකාවේද ජලය නොමැතිව පීඩා විදින බොහෝ ප්‍රදේශ සමග සසදන විට මෙම ජනතාව ලැබු පිං මහිමයක් යැයි අපට කිව හැකිය.

අඩි හැට පහක් තරම් ගැඹුරින් මතුවන ජල කද කුඩා සිදුරකින් දවසේ පැය විසිහතර පුරාම නොනවත්වාම ගලාගෙන යයි. සම්පූර්ණයෙන් සවි කළ නල ළිදක මෙන් අත්වාරුවක් හෝ මෙහි නොතිබුණද පීඩනයකින් තොරව ගලා එන මෙම ජල කදම්බය ඇත්තෙන්ම මවිතයක්… අපූර්වත්වයක් මෙන්ම සුන්දරත්වයක්
 මවා පාන්නක් නොවේදැයි එහි ගිය මොහොතේ අපට ද සිතුන කරුණක් විය. කෙනෙකුට“වතුර ටික අපරාදේයැයි” කියා නිතැතින්ම කියවෙනා තරමට මෙම නළ ළිද හා එයින් පිටවෙන ජලය පිරිසිදුය. එහෙත් මෙයින් ප්‍රයෝජනයට ගන්නා ජල ප්‍ර‍මාණයට වඩා අපතේ යන ජල ප්‍ර‍මාණය වැඩිය.

එහෙත් මෙම නල ළිද තවමත් තැනූ දා තිබුණු අයුරුමය. වසර විසි හයක් ගෙවුනද ළිදේ ප්‍ර‍තිසංස්කරණ කටයුත්තක් හෝ අලුත්වැඩියාවක් හෝ සිදු වී නැති බවට අප සමග කියා සිටියේ ආර්. ඒ. නවරත්න මහාතාය.

“වසර විසි හයක් තිස්සේ මේ ළිදෙන් මහා ජල ගංගාවක් අපතේ යනවා. ඒත් මේක හදලා අවශ්‍ය වෙලාවට විතරක් ජලය ප්‍රයෝජනයට ගන්න පුලුවන් විදිහට ළිද ප්‍ර‍තිසංස්කරණය කරලා දුන්නනම් තමා මේ ළිදේ අගේ තවත් වැඩි. 

 
ඒත් ඒ උතුම් කාර්යය කරන්න කෙනෙක් ඉදිරිපත් වුනේ නෑ. අපතේ යන වතුර දිහා අපිටත් ගම්වල මිනිස්සු නිසා බලාගෙන ඉන්න බෑ. මේ නල ළිදෙන් පිටවෙන වතුර ගමේ තියන මහ වැවට මේ පුංචි ඇල දිගේ ගිහින් එකතු වෙනවා. 
 
ඒ කරලා තමා කුඹුරුවලට යන්නේ. මේ නල ළිද ඉස්සරහ තියන කුඹුර මේ වතුරෙන්මයි වැඩ වෙන්නෙ මහත්තයෝ. ඒක යළ මහ කන්න දෙකට අමතරව මැද කන්නෙකුත් වැඩ කරනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ කොයිතරම් වතුර ප්‍ර‍මාණයක් මේ ලිං කටින් පිටවෙනවද කියලා. 
 
දවසකට කොච්චර වතුර කදක් යනවද කියලා අපිටවත් හිතාගන්න බෑ. මේ අපතේ යන වතුර ටික හරි ප්‍රයෝජනයට ගන්න ඕනෙ නිසා තමා මේ ළිද ළගින්ම අපි ටැංකියක් හදලා තියෙන්නෙ. පොඩි දරුවෝ ඒකට වතුර එකතු කරලා නානවා. 
 
අපි මේ රටේ හදවතක් තියන මිනිස්සු විදිහට ඉල්ලන්නෙ මේ නළ ළිද හදලා ප්‍ර‍තිසංස්කරණය කරලා දෙන්න කියලා විතරයි. මේ ගමට විතරක් නෙමේ සමීප ගම් විශාල ප්‍ර‍මාණයකට වතුර දෙන මේ නළ ළිද අපේ හදවත වගේ අපිත් එක්ක බැදිලයි තියෙන්නෙ.”
rtවිශේෂ ස්තුතිය – මහව නිරෝෂණ පෙරේරා මහතාට
2016.04.29 – දිනමිණ