ආදරේ කියාගන්න ධෛර්යයක් නැති හින්දා මම කළේ එයාට රිදවන එක සුරේෂ් ගමගේ

හෙළි නොකළ ප්‍රේමයක් සුරේෂ්ගේ හිතෙත් හැංගිලා තියෙනවද?
එතකොට මම කොළඹ ඩී.එස්.සේනානායක විදුහ‍ලේ උසස් පෙළ වාණිජ අංශයේ ශිෂ්‍යයෙක්. ඔය කා‍ලේ එක්තරා. එක්සිබිෂන් එකකට අපි කොළඹ විශාඛා විදුහලට ගියා. එතැන ස්ටෝල් එකක ගෑනු ළමයි දෙන්නෙක් හිටියා. ඒ තමයි චායා හා මායා. ඒ දෙන්නා විශාඛා විදුහ‍ලේ උසස් පෙළ කලා විෂය හදාරන දෙන්නෙක්. මම හිතන්නේ මම චායාට ආදරේ කරන්න පටන් ගත්තේ ඇයව දුටු පළමු අවස්ථාවේදීමයි. ඒ දවස්වල මම හරිම ලැජ්ජාශීලී ඉක්මනට බයවෙන කලබල වෙන කෙනෙක්. ඒ හින්දා මම මගෙ ආදරය එයාට කියන්න ගියේ නැහැ. ආදරේ කියාගන්න ධෛර්යයක් නැති හින්දා මම කළේ එයාට රිදවන එක. මායාට ගොඩක් ළං වුණා. ඒත් මගෙ ඇස් නිතරම රැඳුණේ චායා ළඟ.
ඊට පස්සේ මෙන්න මායා මට ආදරේ කරන්න පටන් ගත්තා. නිතරම මගෙ ළඟම දැවටි හිටපු මායා අන්තිමට චායයි මමයි අතරේ දැවැන්ත පවුරක් බවට පත් වුණා. අන්තිම දවස උදා වුණා. අද නම් චායාට කතා කරනවා කියල හිතාගෙන චොක්ලට් එකකුත් අරගෙන තමයි එදා මම ගියේ.
එදා සුරේෂ්ට ඉඩ ලැබුණද චායාට කතා කරන්න?
චායා එයාගේ ස්ටෝල් එකේ තනියම ඉන්නවා. මම එයා ළඟට ගියා. මගෙ මූණ රතු වෙලා. උගුර කට වේලිලා මට දාඩිය දාලා මොනාද කියන්නේ කියලා හිතාගන්න බැරි වුණා.
සුරේෂ් ඒ වෙලාවේ චායාට කතා කරලා චොක්ලට් එක දුන්නද?
මම ඒ වෙලාවේ කළේ හරිම අමන වැඩක්. මම චායාට කතා කරලා ඇහුවේ  “කෝ මායා කියලා” ඒ වෙලාවේ චායා හිනාවෙලා “මායා ඉන්නෙ ඔයා එක්කනේ. ඇයි මායා මිසිංද?” “කියලා ඇහුවා. එතකොට  මම අර චොක්ලට් එක චායාට දීලා “මේක මායාට දෙන්න” කියලා හැරිලා ආවා. ඊට පස්සේ මම කරපු මෝඩ වැඩේ ගැන දිගින් දිගටම පසුතැවුණා.
සුරේෂ්ගේ ඒ ආදර කතාව එතැනින් නිමා වුණාද?
නැහැ. මට හිත හදාගන්න බැරි වුණා. ඊට පස්සේ මම ‘චායා’ ගැන හෙව්වා. එයා උපුල් ශාන්ත සන්නස්ගලගේ සිංහල පන්ති එන බව දැනගන්න ලැබුණා. ඊට පස්සේ මම සන්නස්ගල සර්ගෙ සිංහල පන්තියට ගියා. මම සන්නස්ගල සර්ගෙන් බැනුං අහලත් තියෙනවා. ඇයි ඉතින් වාණිජය හදාරන මම සිංහල විෂය ප්‍රශ්නවලට කොහොම උත්තර දෙන්නද? ඔය විදියට කාලය ගෙවුණා. චායයි මමයි හැමදාම ඇස්වලින් කතා කළා. ඒත් එතැනින් එහා ඒ ආදරය ගියේ නැහැ. අන්තිමට මම හිත හදාගෙන පන්ති යන එක නතර කළා. පස්සෙ කාලෙක මට ආරංචි වුණා චායා ඕස්ට්‍රේලියා ගියා කියලා.
එදායින් පස්සෙ සුරේෂ්ට චායාව දකින්න ලැබුණෙම නැද්ද?
අවුරුදු ගානකට පස්සෙ මට එයා මුණගැසුණා. පහුගිය අවුරුද්ද අගදි. චායා ලංකාවට ඇවිත් එක්තරා සාප්පු සංකීර්ණයකදී අපි හමුවුණා. එයාගෙ සැමියයි දරුවො දෙන්නයි එතැන හිටියා. ඒ අය උනන්දුවෙන් මං දිහා බැලුවා. ඒ මම නළුවෙක් හින්දා. ඒ වෙලාවේ මම ළඟට ගිහින් චායාට කතා කළා. “මතකද විශාඛා එකේ එක්සිබිෂන් එකේදී අපි මුණ ගැහුණා” කියල මම ඇහුවා. ඒ වෙලාවේ එයාගෙ මුණේ ඉරියව් තුළින් මට තේරුණා මම චායාට ආදරේ කළා වගේම චායාත් මට ආදරේ කරලා තියෙන බව.

jio

ආරියවංශ කුලතිලක