උප්පැන්නෙ පිරිමි නම් ගොඩයි ඒත් අම්මලා කතා කළේ ගෑනු නමකින්

ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නෙ සම්පූර්ණ නමද?
නැහැ. ජූඩ් නීල් ශ්‍රියන්ත මෙන්ඩිස් අබේනායක තමයි සම්පූර්ණ නම. හැබැයි ඔච්චර නම් ගොඩක් තිබිලත් අපේ අම්මලා මට ගෙදරට කිව්වෙ ශාන්ති කියලා. ඒක ගෑනු ළමයෙකුගේ නමක් වගෙයි.
මං පවු‍ලේ වැඩිමලා. ඒ නිසා පවුලට සෙතක් ශාන්තියක් ලැබෙනවා කියන අර්ථයෙන් එහෙම ඇමතූ බව තමයි දැන ගන්න ලැබුණෙ.
නළුවෙක් වුණේ නැත්නම්?
සත්තකින්ම දුම්රිය රියැදුරෙක්.
මොකක්ද ඒ කැමැත්තට හේතුව?
එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් කියන්නෙ මහා සෙනඟක් මෙහෙයවන කෙනෙක්. මගෙ ගම රාගම. අපට දුම්රිය හොඳට පුරුදුයි. අඟුරු කෝච්චියේ දුම, සුවඳ පවා මගේ හිත ඇතුළේ තැන්පත් වෙලා තියෙනවා. මගේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. ඔහු දුම්රියට සම්බන්ධ බොහොම රසවත්  කතා කියන හැටි මට තාම මතකයි. කොටින්ම අදටත් මං හරි ආසයි එන්ජින් ඩ්‍රයිවර් රස්සාවට.
ඔබ වඩාත්ම සතුටු වුණු දවස මතකද?
මගෙ ලොකු දුව නිපුනි ප්‍රේක්ෂා බිහිවූ දවස. තාත්තා කියන්නෙ මහ දැවැන්ත චරිතයක්. දැන් මං තාත්තා කෙනෙක් විතරක් නමෛයි සීයා කෙනකුත් වෙලානේ. ඉතින් තවත් සතුටුයි.
මේ රට හැරුණාම ඔබ ජීවත් වීම සඳහා ලෝකෙ වෙන රටක් තෝරා ගන්නවා නම් ඒ මොන රටද?
ලෝකෙ ශ්‍රී ලාංකිකයන් ජීවත් වෙන හැම රටකටම වගේ මං ගිහින් තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම මට වැටහුණේ මට මේ රටේ ඉපදිලා මේ රටේ ජීවත් වෙන්න ලැබිම මොනතරම් දෙයක්ද කියලයි. මට මගේ මව් රට ගැන ලොකු ඇල්මක්, ගැම්මක් තියෙනවා.
ඔබ පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ රඟපාන කාලෙ ඔබට පිස්සු වැටුණු රසිකාවියක් හිටියා කියලා ආරංචියි?
මං 83 අවුරුද්දෙ තමයි පළිඟු මැණිකේ රඟපෑවේ… ඒ කාලෙ මට රසික රසිකාවියන්ගෙන් පුදුමාකාර ලියුම් තොගයක් ආවා. එක වතාවකදී තැපැල් කන්තෝරුවෙන් මට පණිවුඩයක් එවල තිබුණ ‘ලියුම් ගෝනි භාගයක් තියෙනව, ‍පෝස්ට්මන්ට ගෙනියන්න අමාරුයි, ඒක ඇවිත් ගෙනියන්න කියලා, ඒ ගෝනියෙ ඔය කියන රසිකාවියගෙ ලියුමත් තිබුණා.
ඇය දිගටම ඔබට ලිව්වද?
ඔව්.
ඔබත් ලිව්වා?
මමත් පිළිතුරු යැව්වා. ඒ කාලෙ සෙලියුලර් ෆෝන්ස් තිබුණෙ නැහැනෙ.
ඔබයි ඇයයි අතරේ ප්‍රේමයක් එහෙම………?
ඇය මට ආදරේ කළා. නමුත් මගේ හිතේ එහෙම හැඟීමක් ඇති වුණේ නෑ. ඊට ටික කලකට පස්සෙ තමයි මගේ බිරිඳ කුසුම්ව මං අඳුනා ගත්තෙ.
දැන් කෝ ඒ රසිකාවිය?
කිසිම තොරතුරක් දන්නෙ නෑ. ඇයත් දැන් විවාහ වී ලොකු මහත් වූ දරුවන් හිඳින මැදි වයසෙ කාන්තාවක් වෙලා ඇති.
කොහේ හෝ ඉඳල කොයි වෙලාවෙ ගෙදර ආවත් හැමදේටම කලින් ඔබ වාඩි වෙන්නෙ රූපවාහිනිය ළඟලු නේද?
ඒ පුරුද්ද මට තියෙනව තමයි. මං මුලින්ම කේබල් ටී.වී. මාර්ගයෙන් හැම චැනල් එකකම එදාට ප්‍රචාරය වුණු ප්‍රවෘත්ති බලනවා. ඊළඟට මං රඟපාපු ටෙලි නාට්‍ය.
ඔය විදිහට ඔබ ගෙදර ඉන්නව නම් රූපවාහිනිය ළඟින් හෙලවෙන්නේ නැතිව ඇති?
අ‍පෝ නෑ. මං හරියට ‍පොත්, පත්තර කියවන කෙනෙක්. හැම පත්තරයක්ම වගේ මං ගන්නව. මහ ‍පොළොවෙ අඩිය ගහල ඉන්න නම් එදිනෙදා සිද්ධ වෙන හැම දෙයක්ම සම්බන්ධයෙන් අපි ‘අප්ඩේට්’ වෙන්න එපායැ.
උයන්න පුළුවන්ද?
සරල කෑම වර්ග හදා ගන්න පුළුවන්.
ගොඩක් නළු නිළියො තමන්ගෙ ගෙදර ‘කැඳැල්ල’ කියල ව්‍යවහාර කරනවා. ඔබත් එහෙමද?
සත්තකින්ම.
මොකක්ද ඒ විශේෂත්වය?
‘ගෙදර’ යනුවෙන් හඳුන්වනවට වඩා ගෙදරට කැදැල්ල කියන්න මං කැමතියි. කැදැල්ල තුළ සුරක්ෂිත බව, උණුසුම, ළෙන්ගතුකම, පවුලටම එකට එකතුවීම මේ හැමදේම තියෙනවා. ඒ නිසා මං ඒකට කැමතියි.
කොහොමත් ඔබ කුරුල්ලන්ට හරි කැමතිලු නේද?
මං කුරුල්ලන්ට ගොඩක් ආදරය කරන කෙනෙක්. අපේ ගෙයි ඉදිරිපස ලෑම්ප් ෂේඩ්
එකෙත් හැමදාම කුරුලු පවුලක් කූඩු හදනවා. උන් බඩගින්නේ ඉඳන් කෑම හොයාගෙන පැටවුන්ට කවලා ‍පෝෂණය කරනවා. ටිකක් ලොකු වුණාම ආරක්ෂා සහිතව එළියට කැඳවලා පියාඹන්න උගන්වනවා. මනුෂ්‍යයන්ට  සතුන්ගෙන් ඉගෙන ගන්නට ගොඩක් පාඩම් සහ ගුණධර්ම තියෙනා බවයි මං විශ්වාස කරන්නෙ. කැදැල්ලක් ඇතුළෙ සිද්ධ වෙන්නෙ මහා ලොකු දෙයක් නමෛයිද?

p

ඉන්දු පෙරේරා