එදා සටන් නළුවකු ලෙස රිදී තිරය දෙවනත් කළ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

“මම 1964 මුලින්ම films වලට සම්බන්ධ වුණේ. “වෙන ස්වර්ගයක් කුමටද?” කියන ෆිල්ම් එකේ හෙන්රි ජයසේන එක්ක ෆයිට් කරනව මුලින්ම රඟපෑවෙ. මම මලල ක්‍රීඩකයෙක් විදියට හොඳට ඇඟපත හදාගන උස මහතට හිටියෙ. ක්‍රීඩකයෙක් විදියට 1952 ඒෂියන් ගේම්ස් වලට සහභාගි වුණා. 1964 ක්‍රීඩා උපදේශකයෙක් විදියට සහභාගි වුණා. ඒ අතරෙයි මට රඟපාන්න ලැබුණෙ. පළවෙනි ෆිල්ම් එකෙන් පස්සෙ රොබින් එක්ක “රුහුණු කුමාරි” සටන් ජවනිකාවක් කරා. එතනින් පස්සෙ දිගටම films ලැබුණා. මලල ක්‍රීඩාත් ඉවරයි. ක්‍රීඩා උපදේශකකමත් ඉවරයි. ඉන්පස්සේ ඉතින් දිගටම නළුකම තමයි. සල්ලිත් ලැබුණ. තෘප්තියක් ලැබුණ.”
“ෆිල්ම්ස් 105ක රඟපාලා තියනවා. ඒවයින් ප්‍රධාන චරිත 6ක් කරල තියනව.
“අපිට තාමත් මොනව හරි කරන්න පුළුවන්. නිකන් උඩ බලාගෙන ඉන්න එක තමයි කරන්නෙ. අපෙන් ප්‍රයෝජනේ ගන්න දැනගන්න ඕන. රඟපාන්න ගන්න බැරි නම් අපිට උගන්වන්න දෙන්න පුළුවන්. රජයෙන් මැදිහත් වෙලා සිනමා පාසලක් පටන් ගත්තොත් අපිට පුළුවන් අපි දන්න දේ කියල දෙන්න. නිකම්ම අපිට සල්ලි දෙන්න ආධාර දෙන්න කියල ඉල්ලන්නෙ නෑ.”
මගේ ෆිල්ම්ස් බලන පුංචි ගෑනු ළමයෙක් මට කතා කරා. අවුරුදු 13යි වයස. මම රඟපෑව ෆිල්ම්ස් ගණන පවා කිව්වෙ මට ඒ පුංචි ගයනි කියන දුව. ඒ දේවල් දරුවන්ට හරි බලන්න ලැබුණෙ තිස්ස නිසානෙ.” ඔහු කියන කතාවෙ අපූරුව අපිටත් දැනුන.
“අපිව ගන්න කැමති නෑ දැන් අය. ඒ අයට වඩා අපි දන්නව කියල දන්නවනෙ. දැන් ඉන්න සමහර ඩිරෙක්ටර්ස්ලා අපේ චිත්‍රපට එකක දෙකක රඟපෑ නිළියන්ට මැඩම් කියල කතා කරන්නෙ. ඩිරෙක්ටර්ස්ලට බල්ලන්ට වගේ කතා කරන නිළියොත් ඉන්නව.  අපේ කාලෙ වගේ නම් කනට ගහල එළවල දාන්නෙ. දැන් තියන චිත්‍රපටවල් බලන්න දෙයක් නැහැනේ. නළු නිළියොත් නැහැනේ. අපේ අල්ලපු රටෙන් ඇවිත් ඇහුවොත් උඹලගෙ ඉන්න දක්ෂම නළුව නිළිය කවුද කියල අපිට පෙන්නන්න එකෙක් ඉන්නවද?
ඉස්සර කාලෙ ඩිරෙක්ටර් කෙනෙක් කියන්නෙ ඒ A to z  හැමදේම දන්න කෙනෙක්. කැමරාමන්ට කියන්න දන්නව මේ ඈන්ගල් එකටයි මේ නිළියගෙ ලස්සන ඉස්මතු වෙන්නෙ කියල. අද එහෙම නැහැ. ඕන කෙනෙකුට ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. “මට සම්මාන ලැබිල තියනව. “පස මිතුරෝ” ෆිල්ම් එකයි තව එකකට ලැබුණා. ආණ්ඩුවෙන් මුකුත් ලැබිලා නෑ. ජයන්ත ධර්මදාස මහත්තය අපි ගැන බලනව. නියම ජෙන්ට්ල්මන්. අපිට කරන්න පුළුවන් දෙයක් කරන්න ආණ්ඩුවෙන් සහයෝගය දෙන්න ඕන. අපෙන් වැඩක් ගන්න දැනගන්න ඕන. මගේ වයස 75යි. ඒත් තාම මට හයිය තියෙනවා. හැබැයි අවුරුදු 25 කාලෙ වගේ ‍නෙවෙයි “ඔහු හයියෙන් හිනා වුණේ අවුරුදු 25දි කළ කී දේ මතක් වෙලා.
“මගේ නෝන අනෝමා. දූලා දෙන්නා අනුෂ්කා, ආශා දෙන්නම දෙවියන් වහන්සේ වෙනුවෙන් කැපවෙලා වැඩ කරනව. එකම පුතා අනෝජන් පුතා මැරිඩ්. අඩි 6ක් උසයි. හරි හැන්ඩ්සම්. පුතාගෙන් සමහරු අහනව ඇයි රඟපාන්නෙ නැත්තෙ කියල. “තාත්තාට වෙච්ච දේ පේන්නේ  නැද්ද? මට නළුවෙක් වෙන්න ඕන නැහැ කියලා. ඒකත් ඇත්තනේ. රස්සාව කරගන හිටිය නම් අද ඔහේ උඩ බලාගෙන ඉන්නෙ නැහැනේ. “ඔහුගේ දක්ෂකමින් ප්‍රයෝජනයක් නොගන්න එක ගැන ඔහු ඉන්නෙ කලකිරීමෙන්.”
“දැන් හැදෙන ෆිල්ම්ස් හොඳ නම් රූපවාහිනී චැනල්ස් කීයක් ආවත් මිනිස්සු ෆිල්ම්ස් බලනව. දැන් මිනිස්සු රූපවාහිනියෙ පෙන්නන ෆිල්ම්ස් බලල අදටත් අපිට කතා කරන්නෙ අපේ රඟපෑමෙ විශේෂයක් තියන නිසානෙ. මම ඉන්න ෆිල්ම්ස් බලලා මාව බලන්න එන දුවෙක් ගැන මම කිව්වනේ. ගයනි උත්පලා අතුකෝරල ඒ දුව. මම කොයි තරම් සතුටක් ලබනවද ඒ දුව ඇවිත් කතා කරාම.. ඊයෙත් ආවනේ.” ඔහුගේ හඬ හැඟීම් බරයි.
ලංකාවෙ ප්‍රථම සිංහල සටන් නළුව ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුගෙන් අපි සමුගත්තෙ ඔහුගේ බලා‍පොරොත්තු ඉෂ්ට වෙන්න, නිරෝගි සුවයෙන් ජීවත් වෙන්න කියල ප්‍රාර්ථනා කරමින්.

k

දර්ශනා ශම්මි විජේතිලක