තිරෙන් පිටුපස ඉන්න ෆේස්බුක් විහිළු සපයන්නන් සමග කතා කළෙමු

රටක දේශපාලනික වශයෙන් බලය ඇතිකිරීමටත්, වෙනස් කිරීමටත් ෆෙස්බුක් මාධ්‍යය දායකත්වයක් දැක්වූ බව පසුගිය කාලයේ සමාජයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්විය. ඒ අතර ෆේස්බුක් ගිණුම් හරහා සමාජයේ අප අතර සිදුවන සිදුවීම්, උපහාසාත්මකව සමාජ විහිළු බවට පත් කරමින් ඉදිරිපත් කරන නිර්මාණ ෆේස්බුක් පරිශීලකයන් අතර මෑත කාලයේ මහත් ජනප්‍රියත්වයක් උසුලයි. එම ඉදිරිපත් කිරීම් කෙතරම් ජනප්‍රියද කිවහොත් ෆේස්බුක් පරිශීලකයන්ගේ ගිණුම් අතර ඒවා සැරිසරන්නේ විදුලි වේගයෙනි.
අන්දරේ, වලස් මාමා, අහවල් ෆන්, මරුසිරා, ඇඩ්්‍රස් නෑ, බඩජාරියා, ‍පෝරිසාදයා,…… ආදී විවිධාකාර අනුවර්ත නාමයන්වලින් ෆේස්බුක් ගිණුම් පිටු පවත්වාගෙන යන පුද්ගලයන් පිරිසක් ඇත්තෝය. ඔවුන් ඉහත කී උපහාසාත්මක නිර්මාණයන්හි සැබෑ හිමිකරුවෝ වෙති. ඔවුන්ගේ එම නිර්මාණවල අඩංගු අදහස්, ඉදිරිපත්කිරීම් බොහෝ දෙනෙක් අතර සුන්දර ජනප්‍රියත්වයක් ලැබූවද, තවත් පිරිසක් අතර කටුක අත්්දැකීමක් ලබා දීමට සමත්ය.
පසුගිය  දිනක මහත් පරිශ්‍රමයක් දරා මෙම උපහාසාත්මක නිර්මාණකරුවන් කිහිප දෙනක් විවිධ සන්නිවේදන ක්‍රම ඔස්සේ අප හා සම්බන්ධ කරගැනීමට හැකිවිය. නමුත් ඔවුන්ගේ අනන්‍යතාව අප හමුවේ තැබිමට ඔවුන් මැලිකමක් දක්වන්නේ, නිර්මාණ වෙනුවෙන් සමාජයේ යම් කොටසක් ඔවුන්ගේ විරුද්ධවාදීන් ලෙස පෙනී සිටින බැවිනි.
නිර්මාණකරණ පිළිබඳ අපි ඔවුන්ගෙන් විමසූයෙමු. එම කතා බහ ඉතා සුන්දරය. අන්දරේ ෆේස්බුක් පිටුවේ මෙහෙයුම්කරු එසේ දොඩමළු වූ නිර්මාණකරුවෙකි. කලක් කොරියාවේ රැකියාවක නිරතවූ ඔහු විවාහකයෙකු වන අතර දෙදරු පියෙකි. ඔහු පවසන ආකාරයට මෙම උපහාසාත්මක නිර්මාණයන් ඉදිරිපත් කරනු ලබන්නේ, තම ෆේස්බුක් පිටුවට සමාජයේ ජනප්‍රියතාවක් ලබා ගැනීම පිණිස සේම, එදිනෙදා සමාජයේ සිදුවන දේ පිළිබඳ රටේ ජනතාව අතර සුන්දර අදහස් මතිමතාන්තර හුවමාරු කරගැනීමටත්, තම විනෝදාංශයක් ලෙසටය. මේ නිර්මාණකරණයට ඔහුට දායකත්වය සපයන්නේ බිරිඳ හා තවත් මිතුරන් දෙදෙනකි. ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමය. ඇතැම්විට ඔවුන් මෙලෙස උපයන මුදල මසකට රුපියල් ලක්ෂ දෙක ඉක්මවයි.එය වෙනමම රැකියා ක්‍ෂේත්‍රයක් වන අතර ඒ සඳහා එදිනෙදා ඔහු වැය කරන්නේ පැය දෙකක් හෝ තුනක කාලයක් පමණි. දවසේ ඉතිරි කාලයෙන් වැඩි හරියක් යොදවන්නේ මෙම උපහාසාත්මක නිර්මාණ සඳහා බව ඔහු අප සමග පැවසීය.
තමන්ගෙත්, තම සහයකයන්ගේත් අදහස් ෆේස්බුක් නිර්මාණයක් බවට පත්කර ගැනීමට පරිගණයත්, ෆොටෝෂොප් මෘදුකාංගයත් භාවිතයට ගනී. එමගින් අදහස කෙටියෙන් හා සරලව තවකෙකුට තේරෙන්නට ඉදිරිපත්කිරීමට මහන්සිවීම හරහා තමන්ට කිසිදු ආදායමක් නොලැබෙන බවත්, ලැබෙන්නේ තෘප්තියක් පමණක් බවත් ඔහු පවසන්නේය.
නිර්මාණයක් ඉදිරිපත් කිරීමෙන් ලැබෙන තෘප්තිය ඔවුන් මනිනු ලබන්නේ, තම නිර්මාණය ෆේස්බුක් පිටුව තුළ නොසෑහෙන ජනප්‍රියත්වයක් ලැබූ බව දැනගැනීමෙනි. සාමාන්‍යයෙන් ෆේස්බුක් වෙත නිර්මාණයක් මුදාහැරීමෙන් අනතුරුව දිනක් තුළ ලක්ෂ විස්සකට වඩා අධික පිරිසක් එය නරඹා ඇති බව ඔවුන්ගේ පිටුව තුළින් දැනගන්නට හැකිවේ.
එසේම එදිනෙදා වැඩකටයුතුවලදී අපටම සිදුවන අතපසුවීම්, අත්දැකීම් උපහාසාත්මකව ෆේස්බුක් වෙත ඉදිරිපත් කිරීම් සඳහාද ලැබෙන්නේ නොඅඩු ප්‍රතිචාරය. මෙම නිර්මාණයන්ට ලැබෙන ඇනුම් බැණුම් ප්‍රමාණයද, පැසසුම්ද අපමණය. ඒ අතර යම් නිර්මණයන්වලින් හිත් පෑරුණු දේශපාලකයන් ඔවුන්ගේ ගෝලයන් මාර්ගයෙන් තම ෆේස්බුක් පිටුවට එවන නිර්නාමික තර්ජන ගර්ජන අප්‍රමාණ බව ඔහු වැඩිදුරටත් පැවසීය.
පසුගිය කාලයේ විදුලි කප්පාදුව මතෘකාව යටතේ කළ නිර්මාණ කෙරෙහි ඉතා හොඳ ප්‍රතිචාර ලැබූ බව අහවල් හොඳෆන්, කැකුළා, අම්බලමේ ආදී ෆේස්බුක් පිටු මෙහෙයුම්කරුවන් පැවසීය.
මිතුරන් දෙදෙනකු සමග එක්වී ඉහත නිර්මාණකරණයේම යෙදෙන තවත් කෙනෙකු අපට හමුවිය. ඔහු වලස් මාමා නමින් ෆේස්බුක්හි පෙනී සිටිමින් මෙම නිර්මාණ කාර්යයට මීට අවුරුදු දෙකට තුනකට පෙර සිට උරදී ඇත්තේ උසස් පෙළ අවසන් කළ පසුය. දැන් ඔවුන් අවුරුදු විසි දෙකක් පමණ වන හිරිමල් යෞවනයෝ වෙති. ඔවුන් පවසන්නේ රටේ, ලෝකයේ සිදුවන දෑ පිළිබඳ ඉමහත් උනන්දුවක් දක්වන බවයි. දවස පුරාම නිරන්තරයෙන් පුවත්පත් හා අන්තර්ජාලයෙන් ප්‍රවෘත්ති ලබා ගන්නා මොවුන් රාත්‍රී කාලයේදී එකිනෙකාගේ අදහස් හුවමාරුවෙන් මෙම නිර්මාණ එළිදැක්වීමට පෙළෙඹෙති. ඒ අතරවාරයේ ඔවුන් බාහිර උපාධියක්ද හදාරති. මෙම කණ්ඩායමේ යම් විශේෂත්වයක් ඇත්තේය.  ඒ ඔවුන්ගේ එම නිර්මාණකරණය පිළිබඳ ඔවුන්ගේ පෙම්වතියෝද දනිති. නමුත් එම නිර්මාණය ෆේස්බුක් තුළින් සමාජගතවන්නේ කිනම් නමකින් යුතු ෆේස්බුක් පිටුවකද යන්න ඔවුනගේ පෙම්වතියෝ නොදනිති.
සමහර අදහස් රූපමය ලෙස හා වාක්‍යන් ලෙස ඉදිරිපත් කිරීමේදී මෙම සැගවුණු නම්වලින් යුතු ෆේස්බුක් පිටු අයිතිකරුවන් එක්නෙකා දැන නැතිමුත්, විවිධ සන්නිවේදන ක්‍රම භාවිතයෙන් අදහස් හුවමාරු කරගනිති. ඒ සියලුම පිටු මගින් එක මතයක් ෆේස්බුක් තුළින් ඉදිරිපත් කිරීම පහසු කර ගැනීම පිණිසය.
රටේ එදිනෙදා ජන ජීවිතයට බලපාන යම් දෑ උපහාසාත්මකව නිර්මාණකිරීමේදී සමාජ කොටසකට සිදුවන හිත් රිදීම්, අවම වන පරිදි ඉදිරිපත් කිරීමට මොවුන් බොහෝ වෙහෙසෙති. එසේම මොවුන්ගේ මෙම නිර්මාණයන් මගින් මුදල් ඉපැයීමට තවත් වබේ ජාවාරම්කරුවන් පිරිසක් බලා සිටිති යැයි නිර්මාණකරුවෝ කිහිපදෙනෙක් පැවසීය. වෙනත් වාණිජ වබේ අඩවි අන්තර්ජාලය තුළ ජනප්‍රිය කර ගැනීම සඳහා මෙම ෆේස්බුක් නිර්මාණ, මිලදී ගැනීමට එම වාණිජ වබේ අඩවි කොතෙකුත් ඉල්ලීම් කළත්, ෆේස්බුක් නිර්මාණකරුවන් බොහෝ දෙනෙක් එසේ තම නිර්මාණවලට අගයක්, මිලක් නියම කර විකිණෙන්නෝ නොවෙති. වලස් මාමා, පෙත්තා, අන්දරේ ආදී ෆේස්බුක් නිර්මාණ හිමිකරුවෝ රැසක්ම ඒ අතර වෙති. ඒ ඔවුන්ගේ ආත්ම තෘප්තිය මුදලට පාවා නොදීමට අකමැති බැවිනි.
සමාජයේ ජනප්‍රිය පුද්ලයන් විවිධ මාධ්‍යයන් ඔස්සේ සමාජගතවන සේම, එදිනෙදා අපට මුණගැසිය හැක. නමුත් මෙම ජනප්‍රිය අපූරු ෆේස්බුක් නිර්මාණකරුවන් එදිනෙදා අපට හමුවූවත්, ඔවුන් එම සැගවුණු නිර්මාණකරණයේ යෙදෙන සොඳුරු නිර්මාණකරුවන් බව අපි හැබැහින්ම නොදන්නෙමු. ඔවුන් වර්තමානයටත්, අනාගතයටත් සැඟවුණු ජනප්‍රිය  පුද්ගලයින් පිරිසක් වී හමාරය.

h

(විදුරංග විතානගේ)