පර්ල්ව මතක් වෙන්න හදපු ජා ඇල ජෙට් ගෙදර

“ටජ්මහලක්” තනවන්න
බැහැ මට
ඔබේ සෙනෙහසට හිමි
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමි…

ජෝතිපාලයන්ගේ ගීයක එසේ ලියවී තිබුණා. ඉන්දියාවේ අග්‍රා නුවර සාජහන් රජු සිය බිරිඳගේ වියෝවෙන් පසුව ඇය සිහිවන්න සැදූ ටජ්මහල ලොව පුදුමයන්ගෙන් එකකි. ආදරයේ සංකේතයක් විදිහටත් ටජ්මහල ප්‍රකටය. නමුත් මේ කතාව ටජ්මහල ගැන නම් නොවෙයි. ජා ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි ලෙනාඩ් වික්ටර් මහතාද සිය බිරිඳගේ වියෝවෙන් පසුව ඇය සිහිවන්නට නිර්මාණය කළේ ටජ්මහලක් හෝ ගී සෑයක් නොවෙයි. ගුවන් යානයක හැඩය ගත් විශාල නිවසකි. එයත් ආදරයේ ප්‍රතිමූර්තියකි.
“ඒ ගෙදර දකිද්දී මට මගේ පර්ල්ව හුඟක් මතක් වෙනවා. ඒ නිසා එයා නැති අඩුව මට දැනෙන්නේ නැහැ.”
84 වියැති වික්ටර් කතාව ඇරඹුවේ එලෙසිනි. ආදරයේ සොඳුරු මතකයෙන් මිනිසුන්ව ජීවත් කරන බව නම් සැබෑය. ලෙනාඩ් වික්ටර් 1960 වසරේ පටන් සේවය කළේ කාර් මාර්ට් ආයතනයේය.
වාහන කාර්මික ශිල්පියෙක් ලෙස වැඩ කළ ඔහු ළඟට දිනක් පුද්ගලයෙක් ආවේ ඔහුගේ වාහනය අලුත්වැඩියා කරගන්නයි. ඒ පැමිණි පුද්ගලයාගේ වාහනය නිවසට ගිහින් හදා දුන් වික්ටර් මහතාට ඒ නිවසේ හුන් යුවතිය පිළිබඳව සිතක් පහල වුණා. ඒ
පිළිබඳ අදහස ඉදිරිපත් කළ විට වික්ටර් මහතාට දැනගන්නට ලැබුණේ එම පුද්ගලයාගේ ඥාති දියණියක් බවයි.
“එයා මොනිකා පර්ල් පෙරේරා. මම ගිහින් තිබුණේ එයාගේ බාප්පාගේ ගෙදරට. එදා තමා මම එයාව මුලින්ම දැක්කේ. මම කෙළින්ම ඇහුවා. දෙපැත්තේම ආශිර්වාදය අපට ලැබුණා. වසර හතරක් අපි ආදරය කළා. 1964 දෙසැම්බර් 24 අපි විවාහ වුණා. අපි
ජා ඇල පැත්තෙම තමා පදිංචි වුණේ. ඒ කා‍ලේ මම ගුවන් තොටුප‍ලේ නිලධාරීන්ගේ වාහන හදනවා. මට ඕනෙම වෙලාවක ගුවන් තොටුපලට යන්නට අවසර තිබුණා. ඒ ඇවිත් ගුවන් යානාවල විස්තර මම පර්ල් එක්ක කියනවා. ගුවන් යානයක යන එක අපට හීනයක්. ඒ නිසා අපි කතා වුණා ගුවන් යානයක් වගේ නිවසක් හදන්න. 1972 වෙනකොට අපට දරුවො තුන්දෙනෙක් හිටියා. එක දවසක් මමයි දුවයි නෝනයි මගේ ස්කූටර් වර්ගයේ යතුරු පැදියෙන් කටුනායක ගියා. ඒ යද්දි අනතුරක් වුණා. මටයි දුවටයි කිසිම දෙයක් වුණේ නැහැ. නමුත් නෝනගේ ඔළුව ගලක වැදිලා එයා නැති වුණා.”
ජීවිතයේ එකම ආදරය අහිමි වීම නිසා වේදනාව දරා ගනිමින් වික්ටර් මහතා කීවේ නිවස දෙස බලාගෙනය.
“එයා ගොඩක් ආසාවෙන් හිටියේ ගුවන් යානයක් වගේ ගෙදරට. එයා නැති එක මට හුඟක් දරාගන්න අමාරු වුණා. එනිසා මම ගේ හදන්න පටන් ගත්තා. ඒ කා‍ලේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 13යි. මමමයි සැලසුම ඇන්දේ. මගේ හිතවත් බාස් කෙනෙක් තමා ගේ හැදුවේ. 1974 වෙද්දී ගේ හදලා ඉවර කළා. මගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් හදපු ගේ නිසා “පර්ල් ජෙට්” නමින් නිවසට නම් තැබුවා. ගුවන් යානයේ තටුවේ සටහන් කළේ ව්ඉඋම් ලෙසයි. එයින් අදහස් වන්නේ මගේ දරුවන්ගේ නම් වන නෙළුම්, සමන්, උපුල්, යන නම් තුනයි. අන්තිම අකුර ගැළපෙන විදිහට දැම්මා.”
1975 වසරේ අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් දරුවන් සඳහා මුද්‍රණය කරනු ලබන ඉංග්‍රීසි පෙළ ‍පොතේ පාඩමක් සඳහාද මෙම නිවස පිළිබඳ කතන්දර තෝරාගෙන තිබුණි.
“ගේ හදලා අවුරුද්දක් විතර යද්දී අධ්‍යාපන අමාත්‍යංශයේ දෙන්නෙක් මාව හොයාගෙන ආවා. ඇවිත් මේ ගෙදර විස්තරය ‍පොතකට ගන්න ඕන කියලා කිව්වා. මාත් කැමති වුණා. ඒත් ඒ ‍පොතේ තියෙන්නේ මගේ බිරිඳ නැති වුණේ ගුවන් යානා අනතුරකින් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එයා නැති වුණේ රිය අනතුරකින්.”
මේ ගමනේදී අපට සොයාගත හැකි වූ විශේෂම දෙයක් වූයේද එයයි. 9 ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ ‍පොත සඳහා සකස් කර තිබූ ඒ පාඩමේ තිබුණේ වැරදි දෙයකි. වික්ටර් මහතා මේ අවස්ථාවේදී එයද නිවැරදි කළා.
“පර්ල් මියගොස් අද වන විට වසර 44 ක් ගෙවී අවසන්. ඇය වෙනුවෙන් තැනූ ගුවන් යානා නිවස තවමත් මිනුවන්ගොඩ ප්‍රධාන පාරේ දැකිය හැකියි. ජීවිතයේ සැඳෑ සමය ගෙවන වික්ටර් මහතා තවමත් පරණ වොක්ස් වැගන් කාර් අලුත්වැඩියා කරමින් නිවස දෙස බලමින් සිය ආදරණීය මතකයන් සමග ජීවත් වෙනවා.

mk

අකිලා නදිශානි