බදු මල්ලට යටවුණු මාස් පඩිකාරයාගේ ඛේදවාචකය

එළවළු, අල ළුෑණු සහිත ‘තහනම්’ ෂොපිං බෑගය මේසය උඩ තැබූ ක්ලාක් මහත්තයා පසෙක වූ පුටුවේ වාඩිවූයේය.
අත වූ ලේන්සුවෙන් පවන් පොදක් මුහුණට සලා ගත් ඔහු ළඟට සුදු හාමිනේ කිට්ටු වූයේ මවිතයෙනි.
‘මොකද අද ඔයාට? බඩු ගොඩක් එල්ල ගෙන පයින්මද ආවේ?’
සුදු හාමිනේ ඇසුවාය. BADU-MALLA_P8
‘ඔව් බස් එක තිබ්බේ නෑ. අද මං පාද යාත්‍රාවේ ආවා’
‘ඇයි අනේ… ත්‍රීවීල් එකක එන්න තිබුණනෙ’
‘තිබුණ තිබුණ ඒත් ඉතින් ඒකටත් තව රුපියල් සීයක් පූජා කරන්න එපායැ…..’
‘පෙරේතයා ඇයි අප්පේ දහදාකින් පඩිත් වැඩිවුණා නේද?’
සුදු හාමිනේ ඇසුවේ ක්ලාර්ක් මහත්තයා දෙස නෙත් කොනකින් බලමිනි.
‘පඩිනම් වැඩිවුණා. ඒ වුනාට වැට් එක වැඩි වුණාම තව පහළොස් දාහක් විතර වියදම් වැඩිවෙයිද කියලා මං බයේ ඉන්නේ.’
ක්ලාක් මහත්තයා ‘හාංචිපයිස්’ බැල්මක් හෙළුවේය.
‘මං මේ කියන්නමයි හැදුවේ. අපේ දරුවා බලා ගන්න එන කුසුමලතා කිව්වා එයාට දවසකට දෙන ගාණට තව පනහක් එකතු කරන්න කියලා.’
‘ඒ මොකද මේ හදිස්සියෙ?’
ක්ලාර්ක් මහත්තයා ඇසුවේය.
‘ෆෝන් කාඞ් එකක් ගන්න කිව්වේ’
‘ෆෝන් කාඞ් එකක් ගන්න. ඒ ගෑනී දවසකට රුපියල් පනහක කතා කරනවද?’
‘මමත් ඒකම ඇහුවා. මහත්තයො ඒකි කියන්නෙ පනහෙ කාඞ් එකකින් රුපියල් විසි දෙකක්ද, කොහෙද වැට් බදුවලට කැපෙනවා කියලා. හැබෑටම ඒක ඇත්තද මහත්තයො.’
‘මමත් අහගෙන අපේ කන්තෝරුවෙ කෙල්ලො කියනවා ලව් බද්ද වැඩිවෙලා කියලා’
‘ලව් බද්ද’ ඒ මොකක්ද. ඒ දැන් ලව් කරනවටත් බදු ගන්නවද?”
‘නෑ… නෑ…. හුඟක් අය ලව් කරන්නෙ ෆෝන් එකෙන්නෙ අනේ. දැන් ඈයො අපේ කාලෙ වගෙ පෙම් හසුන් ලියන්නෙ නෑනෙ.’
ක්ලාර්ක් මහත්තයා විස්තර කළේය.
‘ඒකනම් ලෝක අපරාධයක් මෙයා. දැන් බලන්න අපේ සාහිත්‍ය දැනුම වැඩිවෙන්න ප්‍රධානම හේතුව වුණේ ඔය පෙම් හසුන්නෙ. ලව් ලෙටර්ස් ලියන එක නතර වුණා විතරයි ළමයින්ගේ සාහිත්‍ය දැනුම මොට වුණා.’
‘මං හිතන්නෙ ආණ්ඩුවෙ ඇමැතිවරු ඔය ලව් බද්ද නග්ගන්න ඇත්තේ ළමයින්ගේ සාහිත්‍ය දැනුම වර්ධනය කරන වැඩපිළිවෙළකම කොටසක් වශයෙන් වෙන්න ඇති.’
‘මටත් හිතෙනවා පසුගිය දවස්වල දියවැඩියා රෝගෙට විසඳුමක් වශයෙන් සීනිවල මිල වැඩි කළා. ප්‍රෙෂර් එක අඩු කරන්න ලුණු මිල වැඩි කළා. මතට තිත තියන්න මත්පැන් මිල වැඩි කළා. මේ ආණ්ඩුවේ ඒ වගෙ මහජන හිතකාමී තීරණ නම් බය නැතුව ගන්නවා තමා. හැබැයි ඒ වුණාට අවම බස් ගාස්තුව රුපියල් දහය කළේ නෑ.’
ක්ලාර්ක් මහත්තයා සුසුමක් හෙළුවේය.
‘දැන් බස් ගාස්තුව අටයි නේද? මොකටද දහය කරන්නේ.’
‘රුපියල් දහයෙන් ඉතිරිවෙන රුපියල් දෙක කොන්දොස්තරලා දෙන්නෙ නැහැනෙ හාමිනේ?’
ක්ලාර්ක් මහත්තයා කීවේය.
සුදු හාමිනේ තේ කෝප්පයක් සාදා ක්ලාර්ක් මහත්තයාගේ අතේ තැබුවාය.
‘අද උදේ පොල් කඩන මනුස්සයා ආවා. ඔයා දන්නවද මිනිහත් ගහකට නගින ගාන රුපියල් විස්සකින් උස්සලා.’
‘විස්සකින්. ඒ කියන්නේ පොල් කඩන ගාස්තුවටත් වැට් එකතු වෙලා.’
‘මමත් ඇහුවා. ඒ මිනිහත් හිනාවෙවී කියනවා ඒක පවුල ගොඩගැනීමේ බද්ද මිසක් වැට් එක නෙමෙයිලු’
‘අනේ මන්දා සුදු හාමිනේ මේ බලන්නකෝ පත්තරේ තියන වැට් බදු කතා. හැම එකටම බදු….. බදු….. බදු…. ඔයයි මමයි කතා කරනවටත් හෙට අනිද්ද බදු ගහයිද දන්නෙ නෑ…..’
ක්ලාර්ක්  මහත්තයා කිව්වේ පත්තර පිටුවක් බිරිඳට දිගු කරමිනි.
‘අපි දෙන්නගෙ කතාවටත් වැටෙන්නෙ ලව් බද්දම නේද මහත්තයො….’
සුදුහාමිනේ පත්තර කොළයක් අරගෙන පැත්තකින් වාඩි වූවාය.
‘මේ පත්තරේ තියෙන්නෙ සෞඛ්‍ය සේවයෙ බදු වැඩිවෙන හැටි නේද?’
සුදු හාමිනේ පත්තර පිටුවට දෙනෙත යොමු කළාය.
‘විශේෂඥ වෛද්‍ය ගාස්තුව රුපියල් 225 කින්, ස්කෑන් පරීක්ෂණ ගාස්තුව රුපියල් 450න්, එක්ස්රේ පරීක්ෂණ ගාස්තුව රුපියල් 90න්, සම්පූර්ණ රුධිර පරීක්ෂාව රුපියල් 450න්, එම්.ආර්.අයි. පරීක්ෂණ රුපියල් 3000න්, ඊ.සී.ජී. පරීක්ෂණ ගාස්තුව රුපියල් 50න්. බුදු අම්මෝ මහත්තයෝ ලෙඩ වුණොත් එහෙම ඉවරයි. ලෙඩ වෙනවාට වැඩියෙ හොඳයි මැරෙන එක…..’
සුදු හාමිනේ කීවෙ ඔළුවේ අත ගසා ගනිමින්ය.
‘මැරෙන එක හොඳයි කිව්වට වළලනවටත් වැට් බදු ගහයිද දන්නෙ නෑ මේ යන හැටියට. සමහර විට මිනී පෙට්ටියට එහෙම…..’
සුදු හාමිනේ ක්ලාර්ක් මහත්තයා දෙස බැලුවාය. ඇගේ  දෑසේ වූයේ ලොකු බියකි.
මාව වෙව්ලන්න ගත්තා එක පාරටම.
සුදු හාමිනේ පසෙක තිබූ පුටුවක වාඩිවූවාය.
‘අනේ රත්තරං ලෙඩ වෙන්න නම් එපා.’
‘මේ වෙද්දී මගෙ පඩිය හිඳිලා ඉවරයි….’
ක්ලාර්ක් මහත්තයා තම බිරිඳ අත තිබූ පත්තර කොළය ඉවතට කර වෙනත් පත්තරයකින් පවන් සලන්නට පටන් ගත්තේය.
අර පත්තර කඩදාසියේ පෞද්ගලික පාසල්වලට අයකරන මුදලට එක් කළ වැට් බද්ද ගැනද සඳහන් වූ නිසාය. ඒ වැට් බද්ද රුපියල් 3,000ට රුපියල් 4,500කි.
සුදු හාමිනේ යම්තම් හුස්මක් ගත්තාය.
‘දැන් මොකද මැණිකේ?’
‘අවුලක්ම නැහැ මහත්තයො. ඒක නෙමෙයි තව මොනවටද ඔය වැට් ගහල තියෙන්නේ?’
සුදු හාමිනේ ඇසුවාය.
‘තව මොනවටද ගහලා නැත්තෙ කියලා ඇහුව නම් කියන්න වැඩිය ලේසයි සුදු හාමිනේ. වෙන එකක් තියා හෝටලේකින් බත් එකක් කන එකටත් වැට් ගහලා’
‘මො…කා…ක්’
සුදු හාමිනේ ඒ පාර නම් ක්ලාන්ත වූවාය.
ක්ලාර්ක් මහත්තයා වහා ගොස් වතුර වීදුරුවක් රැගෙනවිත් සුදු හාමිනේගේ කම්මුලක ගෑවේය.
‘ෆ්‍රයිඞ් රයිස් එකකට රුපියල් 350ක්, ඩෙවල් තසිමකට රුපියල් 125ක්, පලතුරු යුෂ වීදුරුවකට රුපියල් 37.50ක් වැට් ගහනව කියලා මං සුදු හාමිනේට කිව්ව නම් එහෙම ඔය කලන්තෙ ඩබල් වෙන්ඩ තිබුණ. හොඳ වෙලාවට මං ඒක නොකිව්වෙ….’
ක්ලාර්ක් මහත්තයා තවත් වතුර ටිකක් අරගෙන සුදු හාමිනේගේ මුහුණේ ගෑවේය.
ඇය යාම්තමට ඇස් අරියාය.
‘ඔයා ආයෙ එහෙම ක්ලාන්ත හදා ගන්න එපා. මම ක්ලාන්තෙටත් වැට් බද්දක් එකතු කරනවා.’
ක්ලාර්ක්  මහත්තයා විහිළුවට කීවේය.
ටික වේලාවක් ඔහු දෙස බලා සිටි සුදු හාමිනේ ලොකු හුස්මක් පිට කළේ පපුවේ පිච්චෙන හින්දරත් එක්කමය.
‘ආණ්ඩුව ඔච්චර වැට් බදු ගහන්නෙ මොනවා කරන්නද මහත්තයො.’
සුදු හාමිනේ විමසුවේ බැරිම තැන.
‘මුකුත් නෑ දෙයියො. මේ පසුගිය ආණ්ඩුවෙන් ලෝකෙට වෙච්ච ණය පියව ගන්නනෙ.’
‘එහෙම නැතුව මේ ආණ්ඩුවෙ ඇමැතිලට අලුත් කාර් ගන්න එහෙම නෙමෙයි. ඒ අය යන්නෙත් පයින්. පව් අප්පා.’
ක්ලාර්ක් මහත්තයා කීවේ රහස් හඩිනි. සුදු හාමිනේගේ කනටම කට ළං කරමිනි.
‘මට නම් පුදුම දුකක් මේ ආණ්ඩුව ගැන තියෙන්නේ. අර පරණ ආණ්ඩුවෙ කුණු කන්දල් ටික ඔළුවෙ තියාගෙන  මේ ආණ්ඩුවෙ ඈයො දුක් විඳිනවා.’
‘ඔහොම ගිහිල්ලා ආපහු පරණ කට්ටියටම ආණ්ඩුව දීලා දායිද දන්නෙත් නෑ.’
ක්ලාර්ක් මහත්තයා කීවේය.
‘ඔව්…. අනේ. මේ ඇයොන්ටත් එපා වෙයි ඔහොම ගියොත්.’
සුදු හාමිනේ ද කීවාය.
‘ඒත් එතකොට යහපාලනේ ජාතික සංහිඳියාව එව්වට මොනව වෙයිද දන්නෙ නෑ.’
‘එව්වට නම් වැට් ගහන එකක් නැහැ.’
ක්ලාර්ක් මහත්තයා කීවේ ඉවත බලාගෙනය.
ක්ලාර්ක් මහත්තයාගේ ගෙදර ගේට්ටුව ළඟ සිට කවුදෝ  කතා කරන හඬ ඇසුණෙන් ක්ලාර්ක් මහත්තයා ගේට්ටුව ළඟට ගියේය. පැමිණ සිටියේ ගමේ තරුණ  කණ්ඩායමකි.
‘අපි මේ දන්සලකට ආධාර එකතු කරනවා. වෙසක් එකට දන්සැලක් දෙන්න කියලා හිතුවෙ.’
එක් තරුණයෙක් පැවසුවේය.
ක්ලාර්ක් මහත්තයා ගෙතුල බැලුවේ සුදුහාමිනේ කෝ කියාය.
සුදු හාමිනේ ගෙදර දොර ළඟට වී ගේට්ටුව දෙස බලා සිටියාය.
‘අනේ රත්තරං පුතේ බොහොම හොඳ අදහසක් දැන් ගමේ ඇයො කවුද ආධාර දුන්නෙ.’
ක්ලාර්ක් මහත්තයා ඇසුවේය.
‘කඬේ මුදලාලි දහදාහයි, මාළු කඬේ මුදලාලි දහදාහයි, පොල් කඩන සිරිපාල දාහයි, දර පලන ප්‍රේමසිරි දාහයි, පොල් පලන සිරිල් දාහයි, මේසන් බාස් උන්නැහේ දෙදහයි.’
ඉලන්දාරියා කියාගෙන ගියේය.
‘හරි හරි මට කියන්නකො ඉස්කෝලෙ මහත්තයා කීයක් දුන්නද කියලා.’
‘එයා නම් කිව්වා දැන් සල්ලි නෑ. පස්සෙ දෙන්නම් කියලා.’
‘එතකොට අර කච්චේරියෙ වැඩ කරන පියසීලි?’
‘එයාද… එයා නම් අමාරුවෙන් රුපියල් සීයක් ලිව්වා.’
‘එතකොට අර තව මාස් පඩි ගන්න කෙනෙක් ඉන්නෙ ගොවිජන සේවයේද මොකේද?. එයා කීයක් දුන්නද?’  ‘එයත් අදිමදි කරල රුපියල් සීයක් ලිව්වා.’
‘රත්තරං පුතේ මටත් කරන්න වෙන්නෙ ඒකම තමා.  අද කාලෙ හිඟන්නො වෙලා ඉන්නෙ මාස් පඩිකාරයො. මේ වැඩිවෙන වැට් එක හින්දා මාස් පඩිකාරයාගේ මාසෙ වියදමට අලුතින් දහ දාහකට වැඩියේ එකතු වෙනවා. ඒත් එයාගෙ පඩිය වැඩිවෙන්නෙ නෑ.’
‘දවස් පඩිකාරයා තමන්ගෙ කුලිය වැඩිකර ගන්නවා.  මුදලාලි බඩුවල මිල වැඩි කරනවා. ඒත් මාස් පඩිකාරයා උග්‍ර හාන්චිපයිස් වෙලා පුතේ ඉන්නෙ. ආයෙ ඡන්දයක් එනකම් මෑන් හාන්චිපයිස්. පුතාලට ඕනෑම නම් මමත් රුපියල් සීයක් දෙන්නම් පුතේ. පෙරේතකම නෙමේ මේ නැති බැරි කම පුතේ නැති බැරි කම.’
ක්ලාර්ක් මහත්තයා එසේ කියා ගෙතුළට ගියේය. දන්සල්කාරයෝ ටික මුවින් නොබැණ යන්නට ගියේය.
පසුම්බියේ තිබුණු එකම එක මුදල් නෝට්ටුව අතට ගෙන ක්ලාර්ක් මහත්තයා ආපසු ගේට්ටුව ළඟට ගියේය.
ඒ වනවිටත් දන්සැල්කාරයන් ආපසු ගොස්ය.
ක්ලාර්ක් මහත්තයා පාර දෙස ටික වේලාවක් බලා සිටියේය. ඔහුට දැනුණේ පුදුමාකාර පශ්චාත්තාපයකි.
“මම මහ ලොකු ක්ලාර්ක් මහත්තයා පොල් කඩන එකා පොල් අහුලන එකා මහ ලොකුවට සර් කියලා කතා කරනවා තමා. ඒත් මම උන් දෙන්නටම වැඩියෙ  හිඟන්නෙක්.
බලාගෙන යනකොට මේ රටේ මාස් පඩිකාරයෙක් වෙන එක තරම් පාපකර්මයක් තවත් නෑ.’
ක්ලාර්ක් මහත්තයා තුන්වරක් කාරා කෙළ ගැසුවේය.

m

 

aa