විශ්ව විද්‍යාලයේදී විඳි නවක වදය නිසා මට ජීවිතයම එපාවුනා

“අනූව දශකයේ මුල් භාගය වෙද්දීත් මම ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන් තරුණ තරුණියන් අතර අද වගේ ජංගම දුරකථන සුලබ නොවූ නිසා හැමෝම කළේ ලියපු එක. මටත් ලංකාව පුරාම රසික රසිකාවන්ගෙන් දවස ගාණේ ලිපි ලැබුණා.
ඔය අතරෙ අනූ හතර අවුරුද්දෙ මම විශ්වවිද්‍යාල වරම් ලැබුවා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයට. ඒ කාලෙ පැවැති ජේ.වී.පී. වාතාවරණයත් එක්ක ළමයි සෑහෙන පිරිසක් එකතු වෙලා හිටියා විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු ආරම්භ නොවී. ඒ හැමෝම ඇතුළු වුණේ මම ඇතුළු වුණ අවුරුද්දේ.
ඒ වෙද්දී මගේ තාත්තා කැලණිය විශ්වවිද්‍යාලයේම ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. ඒත් මම විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න ඒ තරම් කැමැත්තක හිටියේ නෑ. මට ඕන වුණේ බාහිරින් උපාධිය කරන්න. ඒත් කැලණිය විශ්වවිද්‍යාලයේම ‍ප්‍රොෆෙසර් කෙනෙක් වුණ තාත්තා කිව්වෙ කලාකාරියක් විදිහට විශ්වවිද්‍යාල ජීවිතයේ ලබාගන්න තියෙන අත්දැකීම් මට ගොඩක් වටීවි කියලයි. හැමදාමත් තාත්තා කියපු දේට ඇහුම්කන් දුන්න මම තාත්තගේ ඒ ඉල්ලීමටත් එකඟ වුණා.
මම විශ්වවිද්‍යාලයට යද්දී එහෙ මාව නොදන්නා කෙනෙක් නැති තරම්. මම කලින් කිව්වා වගේ මට නිතර ලියපු රසික පිරිස අතර කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු පිරිසකුත් හිටියා. මේ සියලු හේතු නිසා මගේ පැමිණීම එයාල හරි ආසාවෙන් බාර ගනීවි කියල මම හිතුවා. එතෙක් මට ආදරය කරපු පිරිසක් මම එයාල ළඟට ආවට පස්සේ එහෙම සලකාවි කියලා මම හීනෙකින්වත් හිතුවෙ නැහැ. එයාලා මාව පිළිගත්තේ අමානුෂික නවක වදයකින්. ඒ විදිහට මට මුහුණ දෙන්නට සිදු වූ දේ මට මාධ්‍යයකට කියන්න බැරි තරම්.
විශේෂයෙන් මානව ශාස්ත්‍ර පීඨයේ අය මාව දරුණු ආකාරයට මානසික හා කායික පීඩාවන්ට ලක් කළා. එයාලගෙ අදහස වුණේ උසස් අධ්‍යාපනයට ඕන තරම් මාර්ග ඇති මම විශ්වවිද්‍යාලයට එන්න ඕන නෑ කියලයි. ගෙදර ඉඳල තාත්තගෙන් ඉගෙන ගන්න පුළුවන්කම තියෙද්දී තව ළමයෙකුගේ අවස්ථාවක් මම උදුරා ගත්තා කියලයි මාව වැඩිපුරම පීඩාවට ලක් කළේ.
ඒත් ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදිහට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබුණ මට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න අයිතියක් නැත්තෙ නැහැනෙ.
එන්න එන්නම මාව පීඩාවට පත් කරන එක වැඩි වුණා. ළමයි තුන්දාහක් විතර වරින්වර මාවම නවක වදයට නතු කර ගනිද්දී මගේ මානසිකත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒවා විශ්වවිද්‍යාල සිසුන් අතින් සිදුවුණ සාමාන්‍ය රැග් කිරීම් නෙවේ කියලා මම නැවතත් කියනවා.
හැමදාමත් ඒ විදිහට කාගෙන්හරි පීඩාවට ලක් වෙලා මම එනතුරු එහිම කථිකාචාර්යවරයෙක් වුණ මගේ තාත්තට බලාන ඉන්න සිද්ධ වුණා කියන්නේ මොනතරම් අවාසනාවක්ද? මාව ඒ පීඩාවන්ගෙන් මුදවා ගන්න තාත්තාටවත් තාත්තගේ ස්ටාෆ් එකේ වෙන අයටවත් පුළුවන් වුණේ නැහැ.
තාත්තගේ කීමට එයාගෙම විශ්වවිද්‍යාලයට ඇතුළු වුණ මම එයා දැන දැනම මානසිකව හා කායිකව පීඩා විඳීම එයා බලාගෙන හිටියෙ ලොකු කම්පනයකින්. ඒ වේදනාකාරී අත්දැකීම කාලයක් අත්විඳි තාත්තා එක්වරම දරුණු ස්නායු රෝගී තත්ත්වයකට ගොදුරු වුණා. එතැන් පටන් තවත් අවුරුදු හතරක්ම මගේ තාත්තා හිටියේ සිහිවිසඥව. සුවිසල් දරු පිරිසකගේ දෙනෙත් පාදන්නට හැකියාව තිබුණ ප්‍රඥාවන්තයෙක්ට ඒ විදිහට සිව් වසරක් අසිහියෙන් ඇඳක ඉන්න ලැබිම මොනතරම් අභාග්‍යයක්ද? අවසානයේ මා නිසා ඔහුගේ සිතේ හටගත් කම්පාව වසර හැත්තෑවක් වන විටදී ඔහු මට සඳහටම අහිමි කරවන්නට තරම් ප්‍රබල වුණා.
අදටත් ඉඳහිට නොයෙක් දේශනවලට මම කැලණිය විශ්වවිද්‍යාලයට යන වෙලාවල් තියෙනවා. ඒ හැම වෙලාවකම මට ඒ කටුක අතීතයේ සිදුවූ හිත් පාරවන සිදුවීම් පෙළ රූප පෙළක් වගේ මතකයට නැගෙනවා.

o

උත්පලා සුභාෂිනී