මේජර් ජෙනරාල් සුමිත්ට හදිසි සැත්කමක්

පුද්ගලික වැඩබිමකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතළ තුවාල ලැබූ  මේජර් ජෙනරාල් සුමිත් මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔහුට ජාතික රෝහලේදී මේවන විට හදිසි සැත්කමක් කිරීමට කටයුතු යොදා ඇතැයිද වාර්තා වේ.

අද දෙරණ කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රි‍ගේඩයර් ජයනාත් ජයවීර මහතා කියා සිටියේ මේජර් ජෙනරාල්වරයාට අයත් දෙල්කඳ, පරණ කැස්බෑව මාර්ගයේ පිහිටි ඉඩමකදී අද උදෑසන 6.40ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම ඉඩමේ ඉදිකිරීමක් පරීක්ෂා කරමින් සිටියදී ඇදවැටුණු පරාලයක් නළලේ වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත්, තුවාල ලැබූ ඒ මහතා ඒ මොහොතේම යුද හමුදා රෝහලට ඇතුළත් කළ පසු කොළඹ ජාතික රෝහලට මාරු කර එවා ඇති බවත් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු මහතා පසුගිය රජය යටතේ  මලයාසියාවේ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා ලෙස ද කටයුතු කර තිබේ.

විශ්‍රාමලත් හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා ලෙස 2010   ජනාධිපති මැතිවරණයෙන් පරාජයට පත්වූ අතර මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළබව ප්‍රකාශයට පත්කිරීමත් සමගම ෆොන්සේකාගේ ආරක්ෂාවට සිටි සොල්දාදුවන් අත්අඩංගුවට ගනු ලැබුවේද මේජර් ජෙනරාල් සුමිත් මානවඩු විසිනි.

34