මහින්දගේ ආරක්ෂාවට විශේෂ සඟඇණියක් !

මහ නායක හාමුදුරුවෝ අනුනායක හාමුදුරුවන්ට කතා කළේ වෝකි ටෝකි එකෙනි.

”අමතන්න අනුනායක අමතන්න..”

”අමතනවා මහ නායක අමතනවා..”
”අනුනායක වහාම සඟඇණියක් හිටපු ජනාධිපති ආරක්ෂක අංශයට අලූ‍තෙන් අනුයුක්ත කරන්න.. ගරු හිටපු ජනාධිපතිතුමා ඉල්ලා තිබෙනවා ඉක්මනින් ආරක්ෂාව තර කරන්න කියලා..”
”පණිවුඩය ලබා ගත්තා – ඕවර් – තෙරුවන් සරණයි !”

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සිටියේ සතුටින් ඉපිලෙමිනි. මෛත‍්‍රී – රනිල් ආණ්ඩුව හිටපු ජනාධිපතිවරයාගේ හමුදා ආරක්ෂාව ඉවත් කොට එස්ටීඑෆ් ආරක්ෂාව හදිසියේ යෙදවීම මේ මොහොතේ හදිසියේ නොකළ යුතු ගොන් වැඩක් බව බොහෝ අය සිතුවත් – ඔය නෙවිල්ලා එහෙම කාව හරි දම්මලා (පේ‍්‍රමදාස ලේන්සු වැනුවා සේ – එහෙමත් නැත්නම් ගෝඨා පිත්තල හන්දියේ කෙරුවා සේ ) පොඩි සන්නද්ධ සංදර්ශන වැඩක් එහෙම සෙට් කරලා මහින්දගේ කුඩුහම තුවාල කර, ඒක ‘යහපාලන’ එකවුන්ට් එකට බැර කළොත් එහෙම නිකං ටින් කිරි ගාගන්න වෙනවා නේදැයි මධ්‍යස්ථ මනුස්සයන්ට පවා සිතුනත් මහින්ද හිටියේ වෙනදාට වඩා ආතල් එකෙනි. මොකද, හමුදා ආරක්ෂාව අයින් කර එස්ටීඑෆ් ආරක්ෂාව දුන් පසු මහනායක හාමුදුරුවරු බෆල් රථවලින් වැඩම කර, ”මහරජ, අප මෙසේ වැඩම කළේ මෙතෙක් කළා සේ ඔබ වෙනුවෙන් වැඩ ම කරන්නටය. ඔබේ වැඩ ම ඔබ ළඟටම වී කරන්නටය. ඔබේ ආරක්ෂාව අප විසින් සලසන්නටය” කියා එතැනින් නොනැවතී එස් ටී එෆ් භට කාණ්ඩය එළවා දමා හිටපු ජනපතිගේ ආරක්ෂාව තෙරුවන් සරණින් දෙවි රැකවරණින් භාරගත් හෙයිනි.

සමස්ත ලංකා ශාසනාරක්ෂක සහ ප‍්‍රභූ ආරක්ෂක මණ්ඩලය රැස් විණි. එයට සහභාගී වීම සඳහා සියලූ‍ ප‍්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලවල සඟඇණි නියෝජිතයන් ගණනාවක් පැමිණ තිබිණි. නාරාහේන්පිට අභයාරාමය ශාසනාරක්ෂක සහ හිටපු ප‍්‍රභූ ආරක්ෂක කටයුතු පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ අණ දෙන මූලස්ථානය ලෙස වහාම නම් කරනු ලැබීය. මෛත‍්‍රී රනිල් තක්බීර් විය. සරත් ෆොන්සේකා නිරුත්තර විය. ජාත්‍යන්තර ආරක්ෂක උපදේශක කොමාන්ඩර් මාෂල් බෙංගමුවේ නාලක හාමුදුරුවන්ගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ රැස්වීම ආරම්භ විය. මූලාසනයෙන් සාකච්ඡාව ඇරඹිණි.

”මේක ජාතික ආගමික ශාසනික වගේම මහින්දයික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය අනතුරුදායක මොහොතක්. අන්න ඒ නිසයි මහා සංඝ රත්නය හැටියට අපි මේ කටයුත්තට උර දෙන්නේ. අපි හැමෝම එකා වගේ පුළුවන් තරම් ජනාධිපතිටයි අගමැතිටයි ලියුම් යවන්න ඕන. ලියුම ඒගොල්ලන්ගේ කාර්යාලවලට යවන්න කලින් රේඩියෝ ටීවී පත්තරවලට යවන්න ඕන. ඊට පස්සේ අර තැන්වලට ලියුම නොගියත් කමක් නැහැ. ඊළඟට අපි පුළුවන් තරම් වොයිස් කට් දෙන්න ඕන. මතක තියාගන්න ඉතාම ශාසනික විදියට කඩේ යන්න වග බලාගන්න ඕන. කොසොල් රජ්ජුරුවෝ අජාසත්තට විරුද්ධව යුද්ධ කරද්දී භික්ෂූන් දෙනමකගේ කතාබහකට ඇහුන්කන් දීලා යුද උපදෙස් ලබා ගත්ත කතාව හැම තැනම කියන්න ඕන. මම ඕක මහන්සි වෙලා හොයා ගත්ත කතාවක්. ඇත්තටම කියනවා නම් මටත් ඔය කතාව විතරයි හම්බ වුණේ. තව ඒ වගේ කතා තියෙනව නම් මටත් කියන්න ඕන. මේ ඔක්කොමත් අපි කරන්නේ මහින්ද රැකගන්න. මහින්දගේ ආරක්ෂාවෙන් හමුදාව අයින් කරලා එස් ටී එෆ් දාපු මේ දේශද්‍රෝහී ආණ්ඩුවට අපි පෙන්වමු සඟ බලය කියන්නෙ මොකද්ද කියලා.

මතක තියාගන්න. මහින්ද මහත්තයා යන හැම තැනක්ම අපි ආවරණය කරන්න ඕන. උදාහරණයක් විදිහට මහින්ද මහත්තයා ගම්පහ යනව නම් ගම්පහ අධිකරණ සංඝ නායක ඇතුළු සඟඇණිය එතුමන්ගේ ආරක්ෂාව භාරගන්න ඕන. නුවරට යනව නම් ඒත් එහෙමයි. කොහෙට ගියත් එහෙම වෙන්න ඕන. සෑම විහාරස්ථානයක්ම මේ ආරක්ෂක වැඩපිළිවෙළ යට‍තේ ආරක්ෂක කඳවුරක් වෙනවා. සෑම බුදු පිළිමයක් තියෙන හන්දියක්ම මුර පොළක් වෙනවා. අපි මේ ප‍්‍රභූ ආරක්ෂක වැඩේ හරියට ගොඩදා ගත්තොත් මේ සේවාව ජාත්‍යන්තරයට ගෙනිහින් මේ සියවසේ ධර්ම ප‍්‍රචාරයත් මේකෙන්ම කෙරෙන විදිහට වැඩපිළිවෙළ සකස් වෙන බව හැමෝම තේරුම් ගන්න ඕන.”

මූලාසනය මේ විදිහට කතාව කරගෙන යද්දී ප‍්‍රාදේශීය මේජර් අධිකරණ සංඝනායක නමක් පොඩි ප‍්‍රශ්නයක් දැම්මේය.

”එක්ස්කියුස් මී අවසර අපේ මාෂල් හාමුදුරුවනේ, දැන් ඒ වුණාට මිනිස්සු අමුතු ප‍්‍රශ්න අහනවනේ. උදාහරණයක් හැටියට උන් අහනවා, හමුදා ආරක්ෂාව අයින් කරලා එස්ටීඑෆ් ආරක්ෂාව දුන්නම මහා ලොකු වෙනසක් වෙන්නෙ නැහැ නේද? එස්ටීඑෆ් එක කියන්නේ ප‍්‍රභූ ආරක්ෂාව වෙනුවෙන්ම හැදුව විශේෂ බළඇණිය නේද? තිස් අවුරුදු යුද්දේ වෙලාවේ එස්ටීඑෆ් එක උතුරෙ දී මාරම වැඩ කොටසක් කළා නේද? 88 89 කාලේ එස්ටීඑෆ් එක දකුණේ කොච්චර වැඩ කළාද කියලා අපි නොදන්නවද? ඒ සමහර වැඩ මතක් වෙද්දී තවමත් ඇඟේ මයිල් කෙළින් වෙනවා නේද? ඒවා කෙරුවේ ප‍්‍රභූන්ගේ ආරක්ෂාවට මිසක් ජනතාවගේ ආරක්ෂාවටද ? ඉතින් ප‍්‍රභූන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ තරම් කැපවීමෙන් වැඩ කරපු එස්ටීඑෆ් එකෙන් මහින්දට ආරක්ෂාව හරියට ලැබෙන්නෙ නැහැයි කියන එක පටු දේශපාලන අවස්ථාවාදී කෙප්පයක් නේද? මැයි දිනේට පහුවදා ඉඳන් ඒක ක‍්‍රියාත්මක කරපු එක නම්, සෙනඟ දැකලා බයටයි තරහටයි කරපු පට්ට ගොන් වැඩක් බව ෂුවර් වුණත් එහෙම කරපු එකෙන් ඔය කියන තරම් තියා මොන තරමෙවත් මහින්දගේ ආරක්ෂාවට අවුලක් වෙන්නෙ නැහැ කියලා සමහර පණ්ඩිත ඩබ්ලිව් පුතාලා අපෙන් අහනවා.. අන්න ඒ වෙලාවට තමයි ධර්මෙ අධර්මෙ වෙන්නෙ ඉතින්..”

මාෂල් තෙර කෝපාග්නියෙන් ඇවිළී ගියේය.

”උන්ගෙ ආච්චිලට හාල් ගරාගන්න කිව්වේ නැද්ද පොඩි නම?”
”කිව්වා”
”ආ ඒ ටික කිව්ව නම් හොඳටම ඇති, යකෝ තොප්පිගල වටේ ඉන්න බැටෑලියන්වලට උපදෙස් දෙන එක ලේසියි ඔය ජාතියෙ හාල්පාරුවන්ට උත්තර දෙනවට වැඩිය.. හොඳයි තව ප‍්‍රශ්න තියෙනවද?”

ඊළඟ ප‍්‍රශ්නය ඇසුවේ නායක හාමුදුරුවන්ට අසනීප වෙච්ච නිසා ඒ වෙනුවට වැරදිලා එතැනට ආව ටිකක් නිවිච්ච හිමිනමකි.

”තෙරුවන් සරණයි මාෂල් හාමුදුරුවනේ, මට තියෙන ප‍්‍රශ්නෙ තමයි අපේ මේ සඟ බලය උපයෝගී කරගෙන දුර පළාත්වල ගරා වැටිච්ච පන්සල් ටික සුද්ද පවිත‍්‍ර කරලා පොඩ්ඩක් පිළිසකර කිරීම, දානෙ ටිකක් නැති දුප්පත් හාමුදුරුවරුන්ට මොන මොනවහරි ටිකක් ගිහින් දැමීම, අවුරුදු ගණන් පරණ සිවුරු ඇඳන් බහුජන හිතාය බහුජන සුඛාය කියලා හද්දා දුක් විඳින හාමුදුරුවරුන්ට වගේම ලෙඩ ඇඳට වැටිලා බේතක් හේතක් ගන්න බැරුව ඉන්න හාමුදුරුවරුන්ට ඇප උපකාර කිරීම වගේ වැඩ අපට කරන්න බැරිද? මම දැක්කා පහුගිය දවසක සත්හඬ පත්තරේ තිබ්බා හේනක පැලක දිවිගෙ වන හාමුදුරුනමක් ගැන.. අඩුම ගානේ මේ සංඝ හමුදාව ගෙනිහින් අර බලන්ගොඩ පැත්තෙ නාය යාමකින් අතුරුදන් වෙච්ච ආරණ්‍ය සේනාසනයේ හිටපු හාමුදුරුවන්ගේ දේහයවත් හොයාගන්න අපට බැරිද?”

සමස්ත ලංකා ශාසනාරක්ෂක සහ ප‍්‍රභූ ආරක්ෂක මණ්ඩලය මොහොතකට නිශ්ශබ්ද විය. ඊළඟ මොහොතේ පටන් ගත්තේ මහා ගාලගෝට්ටියකි. කාලකණ්ණියා – කුමන්ත‍්‍රණකාරයා – ඔත්තුකාරයා – එන්ජීඕකාරයා – තෝ කවුද අපට උපදෙස් දෙන්න – අඩු ගානේ දේශපේ‍්‍රමී භික්ෂු එකේ දේශ හිතෛෂී එකේ හිටපු එකෙක් නම් තව කමක් නැහැ – මූව කවුද මෙතෙන්ට ගෙනාවේ – යකෝ මහින්ද මහත්තයට වඩා වටිනවද කොහෙවත් ඉන්න හිඟන්නෝ – මහින්ද මහත්තයගෙ ලේ සෙලවුණොත් අනන්ත ඇරිය පාපකර්මේ හා සමානයි බූරුවෝ …..

මෙන්න මෙවැනි දෙබස්වලින් කාමරය පිරී ගියේය. මේ ඝෝෂාව කෙතරම් බලවත් වීද යත් මගේ නින්ද එහැමපිටින්ම කඩන් වැටිණි. අපරාදේ සිහිනයේ ඉතිරි කොටස බලාගන්නට නොහැකි විය. එතැන් සිට නින්ද අහලකටවත් නොඑන නිසා මම රූපවාහිනිය ක‍්‍රියාත්මක කළෙමි. යක්කු ගස් නැග ගස්වලිනුත් බැස ගස් යට කැරම් ගහන පාන්දර පෝරුවේ ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයකි.

”මෙන්න මුලින්ම සිරස්තල, ලාංකේය කලාව හා දේශපාලනය අද යහපාලනය යටතේ නව මානයකට ඇවිත්.. කුඹුක්ගැටේ ශ‍්‍රීලනිප ප‍්‍රධාන සංවිධායක කමල් ඉන්දිකගෙන් අලූ‍ත් පරපුරට පිළිතුරු.. ලෝකයේ ආර්ථික වශයෙන් සෑම දියුණු රටක් පිටුපසම බැඳුම්කර වංචාවක් තිබෙනවා.. එක්සත් ජාතික පක්ෂයෙන් මාධ්‍ය නිවේදනයක්..

අපේ පක්ෂයේ ප‍්‍රශ්නයක් නැහැ – ඉස්සෙල්ලා දිමුතු ආටිගලව හොයාගෙන ඊළඟට අනුන්ගේ කුණු හොයන්න.. අනුර පෙරටුගාමීන්ට කියයි…

ජනපති කාර්යාලයට පත්තර ගෙන යන තරුණයාට ජනතා සම්මාන..!

මළ මගුලකි. ප‍්‍රිය පාඨකය, මේ ලිපිය මෙතනින් නවතමි. මට පෙනෙන විදිහට සිහිනය තවමත් අවසන් නැත !!!

zx

– විමල් කැටිපෙආරච්චි