අයර්ලන්තයේ “අනියම්” බලන්න ගිය රතු අලියාගේ සංචාරයේ පැටිකිරිය

රතු නායකයා අයර්ලන්තයේ ගමන හදිස්‌සියේ යැම පක්‌ෂයේ කටයුත්තක්‌ බව මෙතෙක්‌ පෙනී ගොස්‌ නැත. ඒ සඳහා මේ වන විට කතාවක්‌ ගොතාගෙන තිබෙනවා විය හැකි වුවත්, එම විදේශ ගමනේදී පක්‌ෂයට හෝ වාමාංශික ව්‍යාපාරයට අදාළ කිසිදු කර්තව්‍යයක ඔහු නියෑළී නැත. සාමාන්‍යයෙන් මෙම පක්‌ෂයේ නායකයකු එතෙර යන්නේ පක්‌ෂයේ වැඩකටය. එසේ යන විට ඔහු එහිදී, එතෙර සිටින ජවිපෙ සාමාජිකයන් ඇමතීම, එම රටේ තම මතවාදී වම්මුන් මුණ ගැසීම සිදු කරන අතර ඒ සදහා පක්‌ෂයෙන්, මාධ්‍ය ඔස්‌සේ සහ සිය වෙබ් අඩවි මාර්ගයෙන් ප්‍රසිද්ධිය ලබා දේ. එවැනි කිසිදු ප්‍රසිද්ධියක්‌ රතු නායකයාගේ මේ ගමන වෙනුවෙන් පක්‌ෂයෙන් ලැබුණේ නැත.
මේ පිළිබඳව අප්‍රේල් 27 වෙනිදා රතු පක්‌ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදීන් විසින් පක්‌ෂ ලේකම්ගෙන් ප්‍රශ්න කළේය.
ප්‍රශ්නය – (රතු නායකයාගේ නම සඳහන් කරමින් ) … මහතා මුල්‍ය වංචාවක්‌ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණ නිසා අයර්ලන්තයට ගියා කියලා, වෙබ් අඩවි විසින් තොරතුරු වාර්තා කරලා තිබුණා. මේක ඇත්තක්‌ද…?
පිළිතුර – මොකක්‌ද ….. සහෝදරයාට විරුද්ධව තිබෙන මූල්‍ය වංචාව…ඔය වෙබ් අඩවි කියන්නේ වෙබ් අඩවිත් නෙවෙයි. බංකොලොත් වුණ දේශපාලනඥයන් එක්‌කෙනෙක්‌ දෙන්නෙක්‌ ඉන්නවා… ඔවුන්ගේ කාර්යය තමයි, තමන්ට විරුද්ධ අය බල බලා බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන එක. තමන්ගේ නෝනා එෆ්.සී.අයි.ඩි. එකට මුල්‍ය වංචා පිළිබඳව කට උත්තර දෙන්න යන කොට, ඒගොල්ලන්ට ඒවා දරාගන්න බැරි නිසා, ඒවා හොයන්න බල කරන අයට විරුද්ධව නිර්මාණය කරන ප්‍රවෘත්ති තමයි මේ. —— සහෝදරයා පමණක්‌ නෙවෙයි, අපි ඔක්‌කොම පහුගිය දවස්‌වල හිටියේ විදේශ ගතවෙලා. මමත් ආවේ පෙරේදා.
ප්‍රශ්නය – වෙබ් අඩවි වාර්තා කරලා තිබ්බා, —– —– මහතා තමන්ගේ පරණ පෙම්වතිය ළඟට ගිහිල්ලා තියෙන්නේ කියලා.
පිළිතුර – ඔය ජාතියේ අසනීප තියෙන පිරිසක්‌ අපේ රටේ ඉන්නවා. තමන් වගේ අනිත් අයත් කියලා, හිතන අය, ලියන වාර්තා ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ… ඒවා ඔක්‌කොම අයිති ලියන කට්‌ටියට..
ලේකම්ගේ කතාව තුළ රතු නායකයා විදේශගත වූයේ ඇයි යන ප්‍රශ්නයට පැහැදිලි පිළිතුරක්‌ නොමැති බව පෙනුණි. යම් හෙයකින් ඔහු විදේශ ගත වූයේ, පක්‌ෂයේ පැහැදිලි කාර්යභාරයකට නම්, ඒ බව ලේකම්වරයා ප්‍රකාශ කරනු ඇත. එසේ නම් රතු නායකයා හදිස්‌සියේ විදේශ ගත වූයේ ඇයි…?
අනුන්ගේ දූෂණ ගැන සෙවීම, විප්ලවයටත් වඩා ප්‍රමුඛ කාර්යය කරගත් රතු නායකයා වෙත පක්‌ෂයෙන් දූෂණ චෝදනාවක්‌ එල්ලවීම, ඔහුගේ එතෙර ගමන සඳහා ප්‍රධාන හේතුව වූ බව පක්‌ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි. මේ රතු නායකයා විවාහ වී සිටින්නේ නෑකමට තමන්ගේ නැන්දා වන කාන්තාවක සමඟය. මේ කතාව දේශපාලන ක්‌ෂේත්‍රයේ කාලයක්‌ තිස්‌සේ කතා බහ වෙමින් තිබුණු මාතෘකාවකි. ඔහුට චෝදනාව එල්ල වන්නේ ඔහුගේ බිරිඳගේ, පැරණි කසාදේ දරුවාගේ බැංකු ගිණුමේ, රුපියල් කෝටි ගණනක තැන්පත් මුදලක්‌ තිබීම සම්බන්ධවය. එවැනි මුදලක්‌ දරුවාගේ බැංකු ගිණුමට බැර වූයේ කෙසේද…? මේ සම්බන්ධයෙන් පක්‌ෂය වෙත තොරතුරු වාර්තා වී තිබුණ අතර පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩලයේදී සහ මධ්‍යම කාරක සභාවේදී මේ ගැන නායකයාගෙන් ප්‍රශ්න කරන්නට පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඉදිරිපත් විය. ඒ සමගම නායකයා වෙත පක්‌ෂයේ තිබූ අවනතභාවය නැතිවූ අතර පක්‌ෂයේ ඉහළ මණ්‌ඩල දෙකේ බහුතරය ඔහුට අහිමි විය. එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් කට උත්තර නොමැති වූ නායකයා විසින් කරන ලද්දේ තමන් බැහැර යන බව පවසා පක්‌ෂයට ලියුමක්‌ ලියා, වහාම අයර්ලන්තය බලා පලා යන්නට විය.

 
රතු නායකයගේ පලා යැමේ ගමනාන්තය අයර්ලන්තයම වූයේ ඇයි…? එතෙර ගමනක්‌ සඳහා නමක්‌ ලෙස මතක්‌ නොවන අයර්ලන්තය, ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායකයෙක්‌ වන සුරේන් සුරේන්ද්‍රන්ගේ සේවා ස්‌ථානය පිහිටි රටය. ඔහු ඇමරිකානු පුරවැසියකු සේ ජීවත් වූවාට සේවයේ යෙදෙන්නේ අයර්ලන්තයේය. ශ්‍රී ලාංකිකයන් හැට හැත්තෑවක්‌ වැනි සීමිත පිරිසක්‌ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ජීවත් වන නිසා තම රහසිගත කාර්යයන් සදහා අතිරේක පහසුවක්‌ ඩබ්ලින් නගරයේදී රතු නායකයාට ලැබෙන්නට ඇත. සුරේන් සුරේන්ද්‍රන් සිංහල භාෂාව සැහෙන දුරකට කතා කළ හැකි අයෙකු හෙයින් දෙමළ සහ ඉංග්‍රීසී භාෂාවන් කතා කළ නොහැකි රතු නායකයාට ‘වන් ටු වන් ටෝකක්‌’ සඳහා සුරේන්ද්‍රන් හොඳටම ගැලපෙන බව කිව යුතුය.
රතු පක්‌ෂයේ ලේකම් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියා විසින් එක්‌ තැනකදී ප්‍රශ්න කරනුයේ, රතු නායකයා තම පැරණි පෙම්වතිය හමුවීම සදහා අයර්ලන්තයට ගියාද යන්නය.
උසස්‌ පෙළ නිමා වී විශ්ව විද්‍යාල ප්‍රවේශය තෙක්‌ මේ රතු නායකයා කාලය ගත කළේ, කෑගල්ල ප්‍රදේශයේ අවන්හලක සේවය කරමිනි. එහිදී තරුණියක සමග හාදකමක්‌ ඇතිකරගත් රතු නායකයා මේ සම්බන්ධය පාලනය කර ගත නොහැකි දුරකට ගෙන ගියේය. එහි ප්‍රතිපලය වූයේ තරුණියට රතු නායකගෙන් දරුවෙක්‌ ලැබීමට සිටීමය. පැවැති තත්ත්වය හමුවේ ධෛර්යවන්ත තරුණිය එංගලන්තය බලා ගිය අතර රතු නායකයගේ දරුවාද ඇය විසින් හදා බලා ගත්තාය. මේ තරුණිය රතු නායකයාට හදවතින්ම ආදරය කළ නිසා ඔහු සමග සන්නිවේදනය දිගටම සිදුවූ බව කියෑවේ. තම පැරණි පෙමවතිය සහ දරුවා බලන්නට රතු නායකයා සිය අයර්ලන්ත ගමන උපයෝගී කර ගත් බව කිව හැක්‌කේ තරුණිය සහ දරුවා ඒ දිනවල අයර්ලන්තයේ සිටි බැවිනි.
නායකයාගේ අමුතු ගමන පක්‌ෂයේ පහළ කාඩර්වරුන්ට ප්‍රශ්නයක්‌ ඇති නොකළේය. ආරංචි පැතිරී ගියත් ඒවා විශ්වාස නොකරන මානසික අභ්‍යාසයක්‌ පක්‌ෂය විසින් මුල සිටම කාඩර් වරුන්ට ලබා දී ඇති නිසා පක්‌ෂය…පක්‌ෂය…කියනා මන්තරයෙන් පිට කිසිවක්‌ ඔවුහු විශ්වාස නොකරන තත්ත්වයක සිටියෝය. මේ කාඩර්වරුන් සහ පිටත සතුරන්ගෙන් ගැලවීම සඳහා පක්‌ෂයේ නායක ගොටුවාදින් කිහිපදෙනකු නායකයා වෙත කතා කරමින් කියා සිටියේ ප්‍රශ්නය විස¹ ගන්නා තෙක්‌ ලංකාවට පැමිණෙන ලෙසය. පවතින තත්ත්වය හමුවේ, නායකයා අයර්ලන්තයේ රැඳුනහොත්, සිය දේශපාලන විරුද්ධවාදීන් එය පාවිච්චි කරණාකාරය අනෙක්‌ නායකයෝ කල්පනාවට ගෙන තිබුණි. මේ නිසා පක්‌ෂය දණ, නායකයා ඉදිරියේ නම්මන්නට ඔවුන් කිහිප දෙනකු පියවර ගන්නා ලදී. නමුත් නායකයාගේ මතය වූයේ පක්‌ෂයේ දේශපාලන මණ්‌ඩල බහුතරය තමනට නොමැත්තේ නම් යළි පැමිණීමෙන් පලක්‌ නොමැති බවය.
එසේ වුවත් නායකයා දිවයිනෙන් බැහැරව යන්නේම අප්‍රේල් විසි නවවෙනිදා යළි දිවයිනට පැමිණීම සඳහා ගුවන් ටිකට්‌ පත් වෙන් කරගෙනය. රතු නායකයා සියරට බලා පැමිණීමට අයර්ලන්තයේ ඩබ්ලින් ගුවන්තොටුපළට පැමිණ, සිය ගමන් බලපත්‍රය ඉදිරිපත් කරන විට එහි සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්‌ විසින් රතු නායකයා හඳුනා ගනු ලැබීය. ඔවුන් දෙදෙනා විසින් රතු නායකයාගේ සියලු ක්‍රියා පිළිවෙත් තමන්ගේ කැමරා දුරකතනයෙන් මතකගත කරනු ලැබීය. මේ දෙදෙනා රතු නායකයා සමග කතාබහට වැටෙන්නේ ඩබ්ලින් ගුවන් තොටුපළෙනි. එම දුරකථන පටිගත කිරීම මේ වනවිට යු ටියුබ් මාර්ගයෙන් කාටත් නැරඹිය හැකිය. එහිදී රතු නායක සහ අනෙක්‌ දෙදෙනා අතර ඇතිවන දෙබස මෙසේය.
දෙදෙනා සහ රතු නායකයා කතා කරනා අතර ඔවුන් නායකයා හඳුනාගෙන කතා කරන බව පෙනේ. ඒ අතර තවත් පුද්ගලයකු පැමිණෙන අතර ඔහු ද රතු නායකයා සමග කතා බහ කරයි.
පුද්ගලයෙකු – – ආ…කොහොමද…?
රතු නායක – ඉතිං ඉන්නවා…ඉන්නවා…හොඳින් ඉන්නවා… (සිනාසී) එහෙනම් අපි යන්නද…? මට චුට්‌ටක්‌ පරක්‌කු වෙලා තියෙන්නේ…එහෙනම් අපි පස්‌සේ හම්බුවෙමු.
එක්‌ පුද්ගලයකු යමක්‌ අසන්නට උත්සාහ කරන අතර ඒ කතාව අතරේම
රතු නායක – ( ඔවුන්ට සමුදීමට උත්සාහ කරමින්…) චුටි ප්‍රශ්නයක්‌ තියෙනවා…(මේ අතරේ දී පැමිණි පිරිසේ අය තවමත් කතා කරන බව ඇසේ .) පොඩි කේස්‌ එකක්‌ තියෙනවා… පොඩි ගමනක්‌ ඇවිල්ලා තියෙන්නේ…ඒකයි … (කතා කරමින්ම නික්‌ම යන බව පෙනේ.)
ඒ අනුව රතු නායකයා යළි සිය රට පැමිණි අතර, මැයි පෙළපාලියට සහ රැලියට ද පෙර ලෙසම උජාරුවෙන් සහාභාගී වෙනාකාරය දකින්නට ලැබුණි. එය, සිය පක්‌ෂ කාඩර්වරුන් වෙත ශුභාරංචියක්‌ ගෙන යන බව පක්‌ෂ නායකයෝ දැන සිටියහ. එම බලාපොරොත්තුව අකුරටම ඉටු කරමින් රතු නායකයා සිය පක්‌ෂ බල ඇණිය ඇමතුවේය. මතුපිටට එසේ වුවත් ‘සිල් බිඳගත්’ නායකයා සමග පක්‌ෂ අභ්‍යන්තරයේ ඇති අර්බුදය තවම විසඳී නැත.

1

medaperadiga

විශේෂ ලියුම්කරුවෙක්‌ විසිනි