හිමාලය තරණයට ගිය දෙදෙනාගේ මළ සිරුරු වසර දහසයකට පසු හමුවෙයි

හිමාලය තරණයට ගිය ඇමෙරිකාවේ ප්‍රකට කඳු ගවේෂකයින් දෙදෙනෙකුගේ මළසිරුරු වසර දහසයකට පසු තිබ්බතයේ ෂිසා පැන්ග්මා හිදී හමුවීමේ පුවතක් වාර්තා වෙයි. මෙහි විශේෂත්වය වන්නේ මේ හමුවූයේ සාමාන්‍ය කඳු තරණය කරන්නන් දෙදෙනෙකුගේ සිරුරු නොවීමය. එතෙක් මතෛක් බිහිවූ විශිෂ්ටතම කඳු නගින්නකු වන ඇලෙක්ස් ලෝව් හා ජීවත්ව සිටියේ නම් ඒ තත්ත්වයට පත්විය හැකිව සිටි කඳු නගින්නෙකු වන ඩේවිඩ් බ්‍රිජස්ගේ සිරුරු පසුගිය විසිහත්වැනිදා හමුවී ඇත්තේ ස්විට්සර්ලන්තයේ හා ජර්මනියේ සිට පැමිණි තවත් නම දිනූ කඳු නගින්නන් දෙදෙනෙකුටය. ලෝව් හා බ්‍රිජස් තිබ්බතයේදී හිම කුණාටුවකට හසුව අතුරුදහන්වූයේ 1999 ඔක්තෝබර් පස්වැනිදාය.අයිස්වල හිරවී තිබූ සිරුරු දැක හඳුනාගත් මේ දෙදෙනා ඔවුන් සමග  කඳුනැගී සහයකයාට හා ලෝව්ගේ වැන්දඹුවට මේ සම්බන්ධයෙන් දැනුම්දීමටද අමතක නොකළහ. මළසිරුරුවල තිබූ ඇඳුම්, පැළඳුම් විස්තර කළ සැනින් ඒ තම ළබැඳියන් බව ඔවුහු හඳුනාගෙන තිබේ.
ඕනෑම ආකාරයකින් කඳුනැගීමේ සූරයෙකු ලෙස හැඳින්වුණු ඇලෙක්ස් ලෝව් ඔහුගේ සමකාලීනයන් විසින් හඳුන්වන ලද්දේ “අපේ පරම්පරාවේ හොඳම කඳු නගින්නා” ලෙසටය. හිම සුළඟේ ගසාගෙන යනවිට ඔහුගේ වයස අවුරුදු හතළිහක් විය. කඳු අතර අතරමං වූවන් ගලවාගැනීමේ මෙහෙයුම්වලදීද ඔහුගේ සහය අත්‍යවශ්‍යවූ අවස්ථා බොහොමයකි. මියයනවිට විසිනම හැවිරිදි වියේ පසුවූ බ්‍රිජස් දක්ෂ ඡායාරූප ශිල්පියෙකි. පැරාග්ලයිඩින් ක්‍රීඩාවේ පදක්කම්ලාභියෙකු වූ ඔහු කඳුනැගීමේ මෙහෙයුම් අරඹා ඒ වනවිට වැඩි කලක් ගතවී නොතිබුණද එහි නමක් දිනා සිටියේය. ඔවුන්ගේ මළසිරුරු හමුවූ බවට පණිවුඩය ලැබූ කඳුනැගීමේ ඔවුන්ගේ සහයකයාවූ කොන්රඩ් අන්කර් ඇතුළු තවත් ප්‍රකට කඳුතරණය කරන්නන් කිහිපදෙනෙකුම ඉහත දෙදෙනාගේ අවසන් මෙහෙයුමට එක්ව සිටියද ඔවුන්ගේ ජීවිත ගැලවිණි.
1998 පෙබරවාරි මාසයේ නැෂනල් ජෝග්‍රෆික් කවරයේ කතාව වුයේද ලෝව්, බ්‍රිජස් හා අන්කර් ඇතුළු පිරිස ඇන්ටාක්ටිකාවේ කළ සුප්‍රකට කඳු ගවේෂණයකි. නැෂනල් ජෝග්‍රෆික් සඟරාව විසින් සංවිධානය කරන ලද මෙම ගමන අනාගත කඳු නගින්නන්ට මහත් උත්තේජකයක්වූ බව පැවසෙයි. ඇලෙක්ස් ලෝව් සිහිපත් කරමින් නැෂනල් ජෝග්‍රෆික් ගවේෂක කවුන්සිලයේ අධ්‍යක්ෂවරිය වන රෙබෙකා මාටින් කියන්නේ විශිෂ්ට ගණයේ කඳුතරණය කරන්නෙකු වන තරමටම ඔහු විශිෂ්ට ගණයේ මිනිසෙකුද වු බවය. ඇන්ටාක්ටිකා ගමනින් පසු ඔහු තම කාර්ය මණ්ඩලයේ සියල්ලන්ම සඳහා සාදයක් පැවැත්වූ බවද ඇන්ටාක්ටිකාවෙන් ගෙනා ජල බෝතල් ඔවුන්ට බෙදූ බවද කියන ඇය ඇලෙක්ස් සිහිවනු පිණිස තමාට ලැබුණු ජල බෝතලය තම කාර්යාලයේ තවමත් තිබෙන බවද කියයි. කෙතරම් ඉහළ ගණයේ කඳු තරණය කරනන්නෙක් වුවද ඇලෙක්ස් තම සමකාලීනයන්ට ඉහළින් කැපී පෙනීමට කිසිදු උත්සාහයක් නොගත් නිහතමානී පුද්ගලයෙකු බවද ඇය කියන්නීය.
ඇමෙරිකාවේ මොන්ටානාහි කඳුවැටියක් පවා ඇලෙක්ස් ලෝව් නමින් නම්කොට තිබේ. ඇලෙක්ස්ගේ මරණයෙන් බිරියට හා පුතුන්ට දැනුණු පාළුව මකන්නට ලංවූ අන්කර් හා ඇලෙක්ස්ගේ බිරිය එකිනෙකාට පෙම් කරන්නටවූ අතර 2001 වසරේදී ඔවුහු විවාහවූවෝය.තම මිතුරාගේ සිරුර හමුවීම ගැන සඳහන් කරමින් අන්කර් කියන්නේ එය එතෙක් පැවති ගැටලුවක් විසඳුන බවකි.අතුරුදහන්වූ අයෙකුගේ මළසිරුර හමුවනතුරු ඔහු හෝ ඇය ජීවතුන් අතර සිටිය හැකි බවට ඇති කුකුස නිසා ළබැඳියන් දැඩි මානසික අවුලක සිටින බව ඔහු පෙන්වා දෙයි. ඇලෙක්ස් හා ගෙවුණු තම ජීවිතය ගැන ‘ෆොගෙට් මී නොට්’ නමින් ‍පොතක් ලියූ ඔහුගේ බිරිය ජෙනිෆර් කියන්නේ තම පුතුගේ මළසිරුර හමුවීම ගැන ඇලෙක්ස්ගේ දෙමව්පියන් සැනසුම් සුසුම් හෙලන බවකි.අද හෙටම තමා, සැමියා හා දරුවන් ඇලෙක්ස් හා ඩේවිඩ්ගේ මළසිරුරු හමුවූ ස්ථානයට ගොස් ඔවුන් නිසි පරිදි භූමදානය කොට පැමිණෙන බවද ඇය කියයි.

aa

(නිශානි දිසානායක)