යාපනයම භිතියට පත්කළ ‘ආවා ගෲප්’ අත්අඩංගුවට

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් “ආවා ගෲප්” සතුව තිබූ යතුරු පැදි තොගයක්‌..

දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපට අනුකරණය කරමින් අධිවේගී යතුරුපැදිවලින් ගොස්‌ කොල්ලකෑම්, කප්පම් ගැනීම් කපාකොටා තුවාල කිරීම් ඇතුළු දරුණු අපරාධ සිදුකරමින් මුළු යාපනය අර්ධද්වීපයම භීතියට පත් කරගෙන සිටි “ආවා ගෲප්” සන්නද්ධ කණ්‌ඩායම යාපනය පොලිසිය මගින් ඊයේ (09 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් පාතාල අපරාධකරුවන් අතර ආවා ගෲප් කල්ලියට නායකත්වය දෙන සෙන්දුරන් සහ ඩන්රොක්‌ යන පාතාල ප්‍රබලයන් ද සිටින බව පොලිසිය පවසයි.

‘ආවා ගෲප් කල්ලියේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්‌ථාවේ ඔවුන් පොලිස්‌ නිලධාරීන්ට කඩුවලින් පහරදී පලායැමට උත්සාහ කර ඇත. එහෙත් පොලිස්‌ නිලධාරීන් ඔවුන් සමඟ සටන් කර යාපනය නගර මධ්‍යයේදීම අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.

අත්අඩංගුවටගත් පාතාල අපරාධකරුවන් පස්‌ දෙනා සතුව තිබී කඩු, මන්නා පිහි, අත් බෝම්බ ඇතුලු තවත් ආයුධ කීපයක්‌ පොලිස්‌ භාරයට ගෙන ඇත.

විවිධ අපරාධ සඳහා ඔවුන් යොදාගත් අධිවේගී යතුරුපැදි දෙකක්‌ ද පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

“ආවා ගෲප්” කල්ලියේ නායකයාව සිටි ‘ආවා’ නමැත්තා මීට වසර දෙකකට පමණ උඩදී අත්අඩංගුවට ගත් අතර මේ වන විට ඔහු බන්ධනාගාරගත කර සිටියි. ‘ආවා’ බන්ධනාගාරගත වීමෙන් පසු සෙන්දුරන් නමැත්තා ආවා කල්ලියට නායකත්වය දෙමින් මුළු යාපනය අර්ධද්වීපයම භීතියට පත් කරගෙන සිටි බව පොලිසිය පවසයි.

මෙම කල්ලිය විසින් සිදුකළ කොල්ලකෑම්, කප්පම් ගැනීම්, කපාකොටා තුවාල සිදුකිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 11 ක්‌ මේ වන විට ලැබී තිබේ. ආවා ගෲප් කල්ලියට ඇති බිය නිසා බොහෝ දෙනකු මොවුන්ට විරුද්ධව පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන බව පොලිසිය පවසයි.

මෙම පාතාල කල්ලිය විදේශගතව සිටින පුද්ගලයන්ගෙන් මුදල් කොන්ත්‍රාත් ලබාගෙන විවිධ පුද්ගලයන්ට පහර දීම, කපාකොටා තුවාල සිදුකිරීම, මරණීය තර්ජන කිරීම ඇතුළු අපරාධ සිදුකර ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

යාපනය නගරයේ ස්‌ථාන දෙකකදී දෙමළ ජාතිකයන් දෙදෙනකුගේ දැත් සිරුරෙන් වෙන්වී යන ලෙස කපා දැමීම මෙම කල්ලිය විසින් සිදුකර ඇති බව පොලිසිය පවසයි. එම ප්‍රහාර දෙකම එල්ල කර ඇත්තේ මුදල් කොන්ත්‍රාත් මත බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මෙම පාතාල කල්ලිය සාමාජිකයන් 15 දෙනකුගෙන් පමණ සමන්විත වන අතර ඔවුහු සියලු දෙනා අවුරුදු 20 – 25 වයස්‌ සීමාවල පසුවන අය වෙති. මෙම කල්ලියට සම්බන්ධව තවත් අපරාධකරුවන් දස දෙනකු පමණ අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මොවුන් සියලු දෙනා සටන් ජවනිකාවලින් බහුල දෙමළ චිත්‍රපට නැරඹීම සඳහා ඇබ්බැහි වූවන් බවත් ඔවුන් එම චිත්‍රපට අනුකරණය කරමින් කඩුවලින් සන්නද්ධව යතුරුපැදිවලින් ගොස්‌ මෙම ප්‍රහාර එල්ල කරන බවත් පොලිසිය පවසයි.

මුළු යාපනයම භීතියට පත් කරගෙන සිටි මෙම පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීම සඳහා යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කිත්සිරි ජයලත්, සහකාර පොලිස්‌ අධිකාරි ලකී රන්දෙණිය මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ යාපනය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක වීරසිංහ පොලිස්‌ පරීක්‍ෂක ඒ. මුදිත යන නිලධාරීන්ගේ මෙහෙය වීමෙන් විශේෂ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කළහ.

 

433

හේමන්ත රන්දුණු