ෆේස්බුක් පෙම්වතා සමග සැමියා මරන්න හැදූ අපූරු බිරිය

මෙරට ප්‍රකට තේ අපනයන සමාගමක අධ්‍යක්ෂවරයෙක් වන ඔහුට අපි වීරසූරිය යනුවෙන් අමතමු. හතළිස් එක් වියැති වීරසූරියගේ බිරිඳ ඔහුට වඩා අවුරුදු හයකට පමණ වැඩිමල්ය. මේ දෙදෙනා එකිනෙකා දැන හඳුනා ගන්නේ පාසල් වියේදීය. දකුණු පළාතේ ප්‍රධාන පෙළේ පාසල් දෙකක අධ්‍යාපනය ලද ඔවුන්ගේ අධ්‍යාපනයද අතර මගදී බිඳ වැටෙන්නේ පෙම් පළහිලව්ව නිසාය.
දකුණේ යමක් කමක්  ඇති පවුලක දරුවෙකු වූ බැවින් අධ්‍යාපනය අතරමගදී බිඳ වැටුණත් එය වීරසූරියගේ අනාගත ඉදිරි ගමනට බාධාවක් නොවීය. ඔහු සිය පෙම්වතිය, බිරිඳ කරගන්නට ඇගේ නිවසින් පන්නාගෙන තම නිවසට රැගෙන ආවේය. එකල ඇයට වයස අවුරුදු 23 කි. වීරසූරිය එකල අවුරුදු 17ක තරුණයෙකි. බිරිඳව එදා නිවසින් පන්නාගත්තත් ඇයව විවාහ කර ගැනීමට ඔහුට වයස අවුරුදු 18 සම්පූර්ණ වන තුරු බලා සිටීමට සිදුවිය. එතෙක් ඇය ජීවත්වූයේ වීරසූරියගේ මහ ගෙදරය.
ඇය පාසල් කාලයේ සිට ඇහැට කනට පෙනෙන රූපයකට හිමිකම් කියූ තැනැත්තියකි. ඇය අදටත් රූමත් සිරුරකට හිමිකම් කියන්නීය. ඒ ඇය සිය සිරුරේ හැඩය සහ පැහැපත් භාවය ගැන පණටත් වඩා අවධානයෙන් සිටින නිසාය. වයස අවුරුදු 47 ක් වුවත් ඇගේ මුහුණින් හෝ සිරුරේ හැඩයෙන් කිසිසේත්ම එතරම් වයසක් පෙනෙන්නේ නැතිතරම්ය. බැලූ බැල්මට පෙනෙන්නට ඇත්තේ ඇය අවුරුදු තිහක පමණ  තැනැත්තියක් ලෙසිනි.
මේ දෙදෙනාට සිටින්නේ එක් දරුවෙකු පමණි. කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක එම දරුවා අධ්‍යාපනය ලබන්නේය. වැල්ලවත්තේ පිහිටි සුඛෝපභෝගී නිවසක දරුවා සහ බිරිඳ සමග ඔහු  ජීවත්වන්නේ සියලු සැප සම්පත් ඒ දෙදෙනාට දෙමිනි.
ෙදෙනිකව උදෑසන 8.00ට පමණ සිය කාර්යාලයට යන වීරසූරිය නැවත නිවසට එන විට රාත්‍රී අට නවය පමණ වේ. උදෑසන කාර්යාලයට යන වීරසූරිය තමන්ගේ සුඛෝපභෝගී ජීප් රථය නැවත රියැදුරු සමග නිවසට යවන්නේ බිරිඳගේ ප්‍රයෝජනය සඳහාය. ඇය සාප්පු සවාරියේ යන්නේත්, රූපලාවන්‍යාගාරයට යන්නේත් පාසල නිමවීමෙන් පසු දරුවා නිවසට ගෙන එන්නේත් එම වාහනයේය.
එම වාහනයේ රියැදුරා ලෙස සේවය කරන්නේ තිස් හැවිරිදි තරුණයෙකි. ඔහු වීරසූරියගේ විශ්වාසවන්තම සේවකයෙකි.වීරසූරිය යටතේ සේවයට ඔහු එන්නේ වයස අවුරුදු 14 දීය. නිසි වයස එළඹීමෙන් පසු ඔහුට රියැදුරු බලපත්‍රයක් පවා  ගැනීමට උදව් කරන්නේ වීරසූරියයි. එතැන් සිට ඔහු වීරසූරිය පවු‍ලේ රියැදුරාය.
වීරසූරියගේ විශ්වාසවන්ත සේවකයෙක් වුවත් දවසේ වැඩි කාලයක් ඔහු ගතකරන්නේ වීරසූරියගේ බිරිඳ සමගය. කන්න බොන්න පවා ඔහුට දෙන්නේ ඇය විසිනි. ඔහුට ඇය සලකන්නේ පවු‍ලේ සාමාජිකයෙකු ලෙසිනි. රියැදුරෙක් යැයි කියා වෙනම සැලකිලි නැතිතරම්ය.
මහත්තය කියනව ඔයාට තේ දෙන්න එපා. ඩ්‍රයිවර්ව ඩ්‍රයිවර් කෙනෙක් හැටියට තියා ගන්න කියල කිසිදිනක බලා ‍පොරොත්තු නොවූ ආකාරයේ එවන් කතාවක් රියැදුරාගේ කනෙහි එසේ තබන්නේ වීරසූරියගේ බිරිඳය. ඒ රියැදුරාට තේ වතුර දෙන්නට එපා යැයි සැමියා තමාට කියූ බව ඔහුට හඟවන්නටය.
මම ඔයාට මේ දේවල් කියන්නේ විශ්වාසෙට. මහත්තයා කීවට මම ඔයාට තේ නොදී ඉන්නේ නැහැ. ඇය එසේද රියැදුරාට පවසන්නට වූයේ ඔහුගේ හිත සනසාලමිනි.
බලන්ටකෝ මහත්තයට මොනව වෙලාද දන්නේ නැහැ. ඔයාට කෑම දෙන්න එපා. කඩෙන් කාපුදෙන් කියලත් මහත්තයා මට කිව්වනේ තවත් දිනක ඇය රියැදුරාට කීවාය.
රියැදුරාට ඒ ගැන හිතට දුකක් ගෙන දුන්නද වසර 16 ක් තිස්සේ සේවය කළ තම ස්වාමියාගේ මේ වෙනස ගැන ඔහුට විශ්වාස කරන්නට බැරිවිය. ඒ එතෙක් කාලයකට ඔහුගෙන් එවන් හැසිරීමක් දැක නොතිබුණු බැවිනි.
ඒ අතර වීරසූරියගේ බිරිඳ රියැදුරාට වෙනදාට වඩා හිතවත් කම් පාන්නට ගත්තාය.
ඔයාට ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙනවද? ඇය රියැදුරාගෙන් දිනක් විමසන්නට වූයේ රූපලාවන්‍යාගාරයට යන අතරතුරදීය.
නැහැ මැඩම් ඔහු කීවේය.
මගේ ෆේස්බුක් එකවුට් එකේ යාළුවෝ ගොඩක් ඉන්නව. ඉන්දියන් බෝයි කෙනෙක් එක්ක මම දැන් යාළුයි ඇය ඒත් එක්කම කීවාය. ඒ වීරසූරියට නොකියන ලෙස රියැදුරට පවසමිනි. ඉකුත් මාර්තු මාසයේ අන්තිම සතියේ සිට විටෙන් විට එම ඉන්දියානු ජාතික ෆේස්බුක් පෙම්වතා ගැන ඇය විස්තර කියන්නට ගත්තත් රියැදුරාට ඒ ගැන එතරම් විශේෂත්වයක් නොවීය. සිය හාම්පුතා වූ වීරසූරියට ඒ ගැන කියන්නට සිතුණු වාර අනන්ත වුවත් ඔහු ඒ ගැන නොකියන්නේ ඇය ඒ පවසන පෙම්වතා ඉන්දියාවේ සිටින අයෙකු වූ බැවින් ඒ ගැන පැවැසීමෙන් අනවශ්‍ය ලෙස පවු‍ලේ ආරවුලක් ඇතිවේ යැයි සැක සිතාය.
ඔයා තමයි මට ඉන්න විශ්වාසවන්තම සේවකයා. මම හැම දෙයක්ම ඔයාට කීවේ විශ්වාසවන්තකම නිසයි. මට ඔයා උදව් කරන්න ඕනේ. අප්‍රේල් මාසයේ මුල් සතියේ දිනක ඇය එසේ පවසමින් මගේ බෝයිෆේ‍රන්ඩ්, ඉන්දියාවේ ඉඳන් ලංකාවට එනවා. එයාට නතර වෙන්න හොඳ තැනක් වැල්ලවත්ත පැත්තෙන් හොයල දෙන්න පුළුවන්ද? රියැදුරාගෙන් ඉල්ලීමක් කළාය.
ඔයා මගේ සහෝදරයෙක් වගේ, මම ඔයාට උදව් කරන්නම්. මේ ගැන මහත්තයට කියන්න එපා. දැනගන්න තියන්නත් එපා. යැයිද ඇය කියන්නට වූවාය.
ඇගේ ඒ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි තැන රියැදුරා වැල්ලවත්ත පැත්තේ ඇති හෝටල් කිහිපයක්ම පරීක්ෂා කර ඩබ්ලිව්.ඒ.ද සිල්වා මාවතේ පිහිටි හෝටලයක කාමරයක් වෙන්කර දුන්නේය. ඒ දිනක කුලිය රුපියල් 11000 කටය.
ඇගේ ඉන්දියානු පෙම්වතා මෙරටට පය තබන්නේ අප්‍රේල් 19 වෙනිදාය. කටුනායක ගුවන් තොටු‍පොළට ගොස් ඔහුව පිළිගන්නේ ඇයය. ඔහුට මෙරටට එන්නට ගුවන් ටිකට්පත් පවා වෙන්කර දෙන්නේද ඇයය. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වැසියෙකු වන එම තරුණයා අවිවාහකය. බැලූ බැල්මට ඉන්දියානු නළුවෙකුගේ පෙනුමැති මෙම තරුණයා සාමාන්‍ය පවුලක තැනැත්තෙකි. වසර පහක පමණ කාලයක් සෞදියේ තිරරෙදි මැසීමේ රැකියාවේ නිරතව සිට ඇති ඔහුට ඇයව ෆේස්බුක් මගින් මුණ ගැසෙන්නේද සෞදියේදීමය. ඇයට වඩා වසර 19 ක් පමණ බාල ඔහු විසි අට හැවිරිදි වියේ පසුවන්නෙකි. දෙදෙනා අතර ෆේස් බුක් සම්බන්ධය ඇති වන්නේ යැයි කියැවෙන්නේ වසර හයක් තිස්සේය.  ෆේස්බුක් හමුවීම පෙමකට මුලපිරීමෙන් පසු දෙදෙනාට දෙදෙනා මුණ ගැසීමට සිට ඇත්තේ පෙරුම් පුරමිනි. ඔහු මෙරටට එන්නේද මාසයක කාලයක් ගතකරන්නට බලාගෙන වීසා බලපත්‍රද ලබාගෙනය.
එදා ගුවන් තොටු‍පොළේදී උණුසුම්ව සිප වැළඳගෙන පිළිගන්නා ඇය ඔහුව කෙළින්ම කැටුව  එන්නේ වැල්ලවත්තේ හෝටලය වෙතය. ජීප් රථය තුළ ඔවුන් දෙදෙනා හැසිරෙන්නට වූයේ අලුත බැඳපු පෙම් යුවළක් ලෙසිනි. වසර 16 ක් තිස්සේ තමන්ව ‍පෝෂණය කළ තම හාම්පුතා වන වීරසූරියට මේ සියල්ල පවසන්නට රියැදුරා තීරණය කරන්නේ ඒ එන අතර තුරදීය.
එදින දහවල් 11.00 පමණ වන විට ඔවුහු හෝටලය වෙත ආවෝය. රියැදුරාට නිවසට යන ලෙස දැනුම්දුන් ඇය සිය පෙම්වතා සමග හෝටල් කාමරයේ නතර වූවාය. නැවත ඇය තමාව රැගෙන යන්නට එන්නැයි කියන්නේ සවස 3.30 ට පමණය.
වීරසූරිය රැකියාවට ගිය පසු දරුවා පාසලට ඇරලවන ඇය කෙළින්ම යන්නේ සිය පෙම්වතා මුණගැසෙන්නටය. සවස් වන තුරුම ඇය කාලය  ගතකරන්නේ හෝටල් කාමරයේ පෙම්වතා සමගය. දින දෙකකට පසු ඇය රියැදුරා අමතා පවසන්නේ මේ තැන අපිට නිදහසක් නැහැ. සෙනග වැඩියි. එළිපහළියේ ඇවිදින්නත් බැහැ. අපේ ගෙවල්වලට කිට්ටුව වෙන තැනක් බලන්නකෝ. යැයි කීවාය.
ඒ අනුව රියැදුරා වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පාරේ පිහිටි සුඛෝපභෝගී තට්ටු නිවාස සංකීර්ණයකින් නිවසක්ම මාසයකට වෙන්කර දෙන්නේ ෙදෙනික කුලිය රුපියල් 7500 කටය.
ඒ වන විට සිය බිරිඳගේ ඉන්දියානු පෙම්වතා ගැනත් පෙම්වතා සිටින හෝටල් කාමරයට ඇය යන එන බවත් වීරසූරිය දැන සිටියේය. ඒ රියැදුරා සියල්ල නොසඟවා හෙළිකර තිබුණු බැවිනි. ඔහු රියැදුරාට එහිදී උපදෙස් දෙන්නේ සිදුවන සියල්ල ගැන වඩාත් විමසිල්ලෙන් සිටින ලෙසය. සැක නොසිතන ලෙස සියල්ල ජංගම දුරකථනයෙන් වීඩියෝගත කරන ලෙසටද දැනුම් දුන්නේය.
හාම්පුතාගේ උපදෙස් නිසි ලෙස පිළිපදිමින්  රියැදුරා සිය ජංගම දුරකථනයේ කැමරාව හැමවිටම ක්‍රියාත්මක කර තිබුණේ සියල්ල පටිගත වන ලෙසිනි. ඒ කිසිවක් නොදන්නා ඇය රියැදුරා සමග විවෘතව සියල්ල පවසන්නට වූයේ ඔහු තමාගේ පැත්තේ සිටින බව සිතාගෙනය. කන්න බොන්න දෙන්නට එපා යැයි සැමියා කියූ බවට තමාට ඇය පවසා තිබුණේද හාම්පුතා අතර ඇති විශ්වාසය බිඳවට්ටන්න බව ඔහුට වැටහුනි. ඇය ඉතා සූක්ෂම ලෙස රියැදුරා සහ සැමියා අතර විශ්වාසය පළුදු කරන්නට කටයුතු කර තිබුණේ සැලසුම් සහගතවය. ඒ බව රියැදුරා වටහා ගන්නේ ඇගේ ඉන්දියානු පෙම්වතා පැමිණීමත් සමගය.
මට මහත්තයාව මරල දාන්න හිතෙනව. දිනක් ඇය රියැදුරාට එසේ පවසන්නට වූයේ ඉන්දියානු පෙම්වතා මුණගැසෙන්නට යන අතරතුරදීය.
මට ඉන්න විශ්වාසවන්තයා ඔයානේ. මම ඔයාට හොඳට සලකන්නන්. මේව කාටවත් කියන්න එපා. මොනව හරි කරල මේ මිනිහව මරල දාමුද?  ඇය තමන්ගේ හිතේ සඟවාගෙන සිටි සැලසුම එළියට දැම්මාය.
රියැදුරා හූමිටි දෙමින් සියල්ල අසාගෙන සිටියා පමණි. වීඩියෝගත නොවූවත් ඒ කතාබහ පටිගත වෙමින් තිබුණේ රියැදුරාගේ ජංගම දුරකථනයේය.
ඒ.සී. එකට කෙමිකල් එකක් දාල මරන්න පුළුවන්නේ, එහෙම  නැත්නම් කෑමට වස දාල, සිය සැමියා වූ වීරසූරියව මරා දමන හැටි ඇය රියැදුරාට පවසන්නට වූයේ එසේය.
ඇක්සිඩන්ට් එකකින් මැරුවොත් කාටවත් සැකයක් ඇතිවෙන්නේ නැහැ.  ඉන්දියානු පෙම්වතා ඇගේ සැලසුමට එකතුවන්නේ ඒ ආකාරයට ය.
බැරිද හොඳ පාතාලයේ එකෙක්ව වැඩේට හොයල දෙන්න. ඇය අවසාන ඉල්ලීම රියැදුරාගෙන් කළාය.
මේ කතාව රියැදුරා සිය හාම්පුතා වන වීරසූරියට දැනුම් දෙන්නේ ජංගම දුරකථනයේ ඒ කතාබහ පටිගත කරන ලද වීඩියෝ පටයද පෙන්වමිනි.
එන ‍පොට හොඳ නැති බව  ඒත් සමගම වීරසූරිය තේරුම් ගත්තේය. තම ජීවිතය  අවදානම් සහගත බව දැනෙන්නට වූ බැවින් ඔහු ඒ ගැන පැමිණිලි කරන්නට යන්නේ පිටකොටුවේ පිහිටි නියෝජ්‍ය ‍පොලිස්පති කාර්යාලයටය.  ඒ ඉකුත් අප්‍රේල් 24 වෙනිදාය. එහිදී ඔහුව යොමු කෙරෙන්නේ කොළඹ දකුණ කොට්ඨාසය භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරි පාලිත පනාමල්දෙණිය වෙතය. ඔහුගේ කතාවට ඇහුම්කන් දෙන ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීවරයා වැල්ලවත්ත ‍පොලිස් බල ප්‍රදේශය භාර සහකාර ‍පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා වහාම එහි කැඳවනු ලැබිය. දෙදෙනා දීර්ඝ ලෙස ඒ ගැන  සාකච්ඡා කරනු ලැබූහ. අනතුරුව වැල්ලවත්ත ‍පොලිස් ස්ථානයට අනුයුක්තව ක්‍රියාත්මක නීතිය බලගැන්වීමේ ‍පොලිස් ඒකකයේ සිටින දක්ෂ ක්‍රියාශීලී නිලධාරියෙක් වන උප ‍පොලිස් පරීක්ෂක ජගත්සිරිව කැඳවනු ලැබිය. අවශ්‍ය උපදෙස් සියල්ල ඔහුටදී පාතාල සාමාජිකයෙක් ලෙස වෙස් ගන්වමින් ඔහුම වීරසූරියගේ බිරිඳ මුණ ගැසීමට යැවීමට සැලසුමක් සකස්කරනු ලැබිය.
ඒ අනුව පාතාලයේ සාමාජිකයෙක් ලෙස වෙස්ගන්වන ලද ජගත්සිරිව රැගෙන යන වීරසූරිය ඔහුව භාරකරන්නේ  රියැදුරාටය. මේ ‍පොලිස් නිලධාරියෙක් බව නොදන්නා රියැදුරා උප ‍පොලිස් පරීක්ෂක ජගත්සිරිව තට්ටු නිවාස සංකීර්ණය වෙත රැගෙන යන්නේ වීරසූරියගේ බිරිඳට මුණ ගස්වන්නටය.
අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැති විදිහට වැඩේ කරන්න ඕනේ. අනික මේ වැඩේ කෙරුනයින් පස්සේ අපි ආපහු හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි තව සල්ලි ඉල්ලගෙන පස්සෙන් එන්නත් බැහැ. ඇය මුලින්ම ඉදිරිපත් කරන්නේ සිය කොන්දේසි මාලාවය.
පාතාල සාමාජිකයෙකු ලෙස වෙස්වලාගෙන සිටි ජගත්සිරි ඊට එකඟ වන්නේ එම ඝාතනය සිදුවන ආකාරය මෙන්ම ඊට ගෙවන මුදල ගැන කතාබහ කිරීමෙන් අනතුරුවය. ඇගේ සැලසුම වූයේ රිය අනතුරකින් වීරසූරිය මරා දැමීමය. ඒ සඳහා ඇය ගෙවීමට සූදානම් වූ උපරිම මුදල රුපියල් ලක්ෂ දෙකක් පමණි. කේවල් කිරීමෙන් පසු ඒ මුදලට කැමැත්ත පළකළ ජගත්සිරි වැඩේ කරන්නට දින කිහිපයක් අවශ්‍ය බව ඇයට පවසා සිටියේය. ඒ එම අනතුර සිදුවන ආකාරය ගැන කරුණු සොයා බලන්නටය. ඇය එහිදී වීරසූරියගේ ඡායාරූපයක් ජගත්සිරි අත තබන අතර ඉන්දියානු තරුණයා වීරසූරියගේ විසිටින් කාඩ්පතක් තබන්නේ වැඩ කරන තැනේ ලිපිනය බලා ගන්නටය. ඒ අතර රුපියල් 5000 ක මුදල් නෝට්ටුවක් ද ජගත්සිරි අත වියදමට යැයි කියා තැබිමට එහිදී ඇය අමතක නොකළාය.
මේ සියල්ලම ජගත්සිරිද සිය ජංගම දුරකථනයේ වීඩියෝගත කර ගැනීමට අමතක නොකළේය. ඒ සාක්ෂි ලෙසිනි.
දින කිහිපයකට පසු හදිසියේම රියැදුරාට වීරසූරියගේ බිරිඳ පවසන්නේ පාතාල සාමාජිකයාව ගෙන්වන ලෙසිනි. ඒ අනුව අප්‍රේල් 28 වෙනිදා නැවතත් ජගත්සිරි තට්ටු නිවාස සංකීර්ණයට ආවේය.
මහත්තයාගේ කම්පැනිය කුරුණෑගල පැත්තේ ඉඩමක් අරගෙන තියෙනව. ඒ ඉඩමේ ප්‍රශ්න වගයක් තියෙනව. ඒ නිසා අපිට කිසි ප්‍රශ්නයක් ඇති නොවෙන්න ඉඩමේ ප්‍රශ්නය පිටින් දාල වැඩේ ඉවරකරන්න පුළුවන්. හැබැයි වැඩේ ඉක්මනට වෙන්න ඕනේ. ඇය සිය සැලසුම් සියල්ල වෙනස් කර අලුත් සැලසුමක් ඉදිරිපත් කළාය.
ඊට එකඟතාව පළකරන ජගත්සිරි එතැනින් පිටවී කෙළින්ම යන්නේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී පාලිත පනාමල්දෙණිය සහ සහකාර ‍පොලිස් අධිකාරි නිශාන්ත සොයියා හමුවීමටය. ඒ අය එහිදී උපදෙස් දෙන්නේ තවත් බලා නොසිට වීරසූරියගේ බිරිඳත් ඇගේ ඉන්දියානු ජාතික පෙම්වතාත් අත්අඩංගුවට ගන්නා ලෙසය. ඒ මිනීමැරීමට තැත් තිරීම සහ සැලසුම් කිරීමේ චෝදනාවන්ටය.
ඒ අනුව ජගත්සිරි ‍පොලිස් කණ්ඩායමක් සමග ගොස් ඒ දෙදෙනා අත්අඩංගුවට ගන්නේ රාමක්‍රිෂ්ණා පාරේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයේදීය.  සිය සැමියා ඝාතනය කිරීමට එතෙක් කාලයක් සැලසුම් කර ඝාතන කොන්ත්‍රාත්තුව භාරදෙන්නේ ‍පොලිස් නිලධාරියෙක්ට බව ඇය මෙන්ම රියැදුරාද දැනගන්නේ එවිටය. ෆේස්බුක් පෙමක් සිය සැමියා ඝාතනය කිරීමට සැලසුමක් දක්වා දුරදිග යාමක් අවසානයේදී කෙළවර වන්නේ ෆේස්බුක් පෙම් යුවළ හිරේ විලංගුවේ වැටීය.

5

ගයාන් කුමාර වීරසිංහ