අකුණු ගහද්දි විදුලියෙන් ඈත් වෙන්න – රටටම කියා දෙමින් සමුගත් සිසුවා

කඩවත කෝපියාවත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි සිසුවෙකු අකුණු සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු සිය කාමරයේ ඇඳ මතටවී ජංගම දුරකතනය භාවිත කරමින් සිටියදී මෙම අනතුරට පත්වී තිබෙනවා.

පෙරේදා (10) රාත්‍රී හතට පමණ මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ලෙස සමත්ව උසස් පෙළ කිරීමේ අපේක්ෂාවෙන් සිටි නිලන්ද චාමික පවුලේ එකම පිරිමි දරුවායි.

තම සොයුරාට අකුණු සැර වදින අවස්ථාවේ එහි සිටි ඔහුගේ සොයුරිය මෙසේ පැවසා තිබෙනවා.

“මල්ලි සාමාන්‍ය පෙළ පාස් වුන සතුටට අපේ තාත්තා එයාට මේ ෆෝන් එක අරන් දුන්නේ.

මේ සිද්ධිය වෙන වෙලාවේ වැඩිය වැස්සේත් නෑ. මල්ලි ඇඳට වෙලා ෆෝන් එක යූස් කර කර හිටියේ.

එයා ෆෝන් එකේ චාර්ජ් මදි කියලා කරන්ට් එකට ප්ලග් කරලයි තිබුණේ. ඒ වෙලාවේ එක පාරට එළියෙන් මහ හඬකින් අකුණක් පිපිරෙන සද්දයක් ආවා.

ඒ එක්කම ඇඳේ හිටිය මල්ලී අක්කේ අක්කේ කියාගෙන විදිල්ලක් වගේ නැගිට්ටා. එයා පුදුම වේගයෙන් තමා නැගිට්ටේ.

නැගිටලා අඩි කිහිපයක් ඉස්සරහට ගිහින් වාඩි වුණා. මමත් ඒ ළඟමයි හිටියේ. මට කිසිම අනතුරක් නෑ.

වාඩි වෙලා හිටිය මල්ලි ළඟට ගිහින් මම මල්ලී මල්ලී කියලා ඇඟට තට්ටු කළා. එයාගේ අත් දෙක හෙලෙව්වා. එයාගේ අත් ගල් වෙලා වගේ හයිවෙලා තිබුණා.

එයා ඉඳගත්ත විදියටම දර දඬු වෙලා හිටියා. මම කෑ ගැහුව්වා. කෑ ගහලා මම එළියට දිව්වා ත්‍රිවිල් එකක් හොයන් එන්න.

මම එනකොට මල්ලිව කවුද හොස්පිටල් ඒකට අරන් ගිහින්..”

නිවසේ රූපවාහිනී යන්ත්‍රයට අකුණු සැර වැදී ක්‍රියා විරහිත වී ඇති බවත් ඇඳ මත තිබු ලැප්ටොප් පරිගණකයට අකුණු සැරෙන් කිසිඳු හානියක් සිදුව නැති බවත් පොලිස් ආරංචිමාර්ග පවසනවා.

කඩවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

gf