උතුරු කොරියාවේ තට්ටු 105 හෝටලය විවෘත කරන්න බැරි ගුප්ත හේතුවක් නිසාද?

විද්‍යාත්මක පැහැදිලි කිරීමකට හසු නොවන කිසිවක් විසි එක්වන සියවසේදී මේ මිහිමත සිදුවිය හැකිද? එය උත්තරයක් නැති ප්‍රශ්නයකි. සෑම ප්‍රශ්නයකටම උත්තරයක් තිබිය යුතුමද යන්න ගැනත් ඊළඟට නොඅසා බැරිය. කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමකට හසු නොවී ප්‍රශ්නයක් හැටියට සදා කාලිකවම මිහිමත පැවතෙන දේ ඕනෑ තරම් ඇතැයි කියා කිවහොත් සමහරවිට ඔබ විශ්වාස නොකරනු ඇත. රයි ගයොන්ග් (Ryu Gyong) එහෙමත් නැත්නම් යූ කියුන්ග් (Yu- Kyung) නමින් හැඳින්වෙන උතුරු කොරියා හෝටලයත් ලෝකයට ඉතිරි කර ඇත්තේ එවැනි ප්‍රශ්නාර්ථයකි.

තට්ටු 105කින් සමන්විත රයි ගයොන්ග් හෝටලය පිහිටා තිබෙන්නේ උතුරු කොරියාවේ යොන්ග් යොන්ග් නගර මධ්‍යයෙහිය. රයි ගයොන්ග් ගොඩනැඟිලි සංකීර්ණය හෝටලයක් හැටියට නම් කෙරුණත් එය සත්‍ය වශයෙන්ම නිවාස, හෝටල්, ව්‍යාපාරික ස්ථාන සහ ආපනශාලා යනාදියෙන් සමන්විත කුලුනකි. ව්‍යාපෘතිය ආරම්භ කරන්නට අත්තිවාරම් වැටුණේ 1987 වසරේදීය. උතුරු කොරියා බලධාරීන් කල්පනා කළේ ඊට විදේශ ආයෝජකයන් බුරුතු පිටින් ඇදී එතැයි යනුවෙනි. අමෙරිකා ඩොලර් මිලියන 230ක විදෙස් ආයෝජනයන් ඉලක්ක කරගෙන ඔවුහු කටයුතු කළහ. ඒ නිසා එහි ඉඳිකෙරෙන හෝටලවල කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා ආරම්භ කිරීමට ඉදිරිපත්වන විදේශ ආයෝජකයන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම උතුරු කොරියා බලධාරීන්ගේ තීරණය විය. මේ සියලු බලාපොරොත්තු මත පදනම්ව 1987 වසරේදී හෝටලයේ ඉදිකිරීම් ඇරඹිණ. ඉදිකිරීම් භාරව කටයුතු කළේ “බයික්ඩූසන්” නැමැති ගෘහ නිර්මාණ සහ ඉංජිනේරු කටයුතු සම්බන්ධ උතුරු කොරියා සමාගමයි.

ඉදිකිරීම් අවසන් වූ පසු හෝටලය ඉතාමත් ආකර්ෂණීය පෙනුමකින් යුක්ත එකක් වනවාට කිසිදු සැකයක් තිබුණේ නැත. සැලසුමේ හැටියට අවසානයේ ඉඳිවිය යුතු වුයේ පිරමිඩයකට සමාන ස්වරූපයක් ගත් ගොඩනැඟිල්ලකි. එහි සම්පූර්ණ උස මීටර 330ක් සහ පළල මීටර 18ක් බව නිගමනය කර තිබිණ. ගොඩනැඟිල්ලෙහි මුදුනත ත්‍රිකෝණාකාර කොටස පමණක් මීටර 40ක් උසට ඉදි කළයුතු විය. රයි ගයොන්ග්හි අන්තර්ගත කරන්නට සැලසුම් කළ හෝටල කිහිපයට අයත් කාමර ප්‍රමාණය 3000කට අධික බව පැවසේ. ඇතැම් තැනෙක මේ සංඛ්‍යාව 7000කට අධික බවකුත් සඳහන්ව ඇත. මේ කියන සැලසුම ප්‍රකාරව ඉදිකිරීම් ආරම්භ කළ කාලසීමාවේදී ගොඩනැඟිල්ල ඉදිකර මුළුමනින්ම හමාර වූවා නම් එය අහස සූරන ගොඩනැඟිලි ගණයට අයත් එකක් වන්නට ඉඩ තිබිණ. එමෙන්ම එකල ලොව උසම හෝටල් සංකීර්ණය විය යුතුව තිබුණේද එයයි. ලොව උසම ගොඩනැඟිලි අතර හත්වන ස්ථානයද එයට හිමි විය යුතුව තිබිණි.

රයි ගයොන්ග් හෝටලය 1989 වසරේ ජුනි මාසයේදී විවෘත විය යුතු බව උතුරු කොරියා බලධාරීන්ගේ බලාපොරොත්තුව විය. නව හෝටලය විවෘත කරමින් දහ තුන්වන ලෝක තරුණ සහ ශිෂ්‍ය උලෙළ සැණකෙළියක් ආකාරයට පැවැත්වීමට ඔවුහූ සැලසුම් කරගෙන සිටියහ.නමුත් තරුණ සහ ශිෂ්‍ය උලෙළට සමගාමීව හෝටලය විවෘතකරන්නට හැකි වූයේ නැත. එයට මූලික වශයෙන්ම බලපෑවේ ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කරගන්නට නොහැකි වීමේ ගැටලුවයි.

සැලසුමේ සඳහන් නියම උස සිටින පරිදි රයි ගයොන්ග් හෝටලයේ මූලික ඉඳිකිරීම් නිම කරන්නට හැකියාව ලැබුණේ 1992 වසරේදීය. නමුත් එතැනින් එහාට එහි ඉඳිකිරීම් නිමකරන්නට උතුරු කොරියා බලධාරීන්ට හැකියාවක් ලැබුණේ නැත. එයට හේතුව ඒ වනවිට උතුරු කොරියාව තුළ පැවැති අයහපත් සමාජ – ආර්ථික වාතාවරණයයි. ජපානයේ පළවන පුවත්පතක් වරක් කියා සිටියේ රයි ගයොන්ග් හෝටලය ගොඩගන්නට නම් තවත් අමෙරිකා ඩොලර් මිලියන 750කට වැඩි මුදලක් අවශ්‍ය බවකි. එය උතුරු කොරියාවේ එවකට පැවැති දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකක් තරම් ප්‍රමාණයක් වැයවන්නක් විය. මේ තත්ත්වය තුළ එතෙක් කළ වියපැහැදම් ගැනවත් නොතකා රයි ගයොන්ග් හෝටලයේ ඉදිකිරීම් අත්හැර දමන්නට උතුරු කොරියා පාලන අධිකාරියට සිදුවිය. එක්දහස් නවසිය අනූ ගණන් අගභාගයේදී – එනම් ඉදිකිරීම් ආරම්භ වී දශකයකට පමණ පසුව, යුරෝපා සංගමයේ වාණිජ මණ්ඩලයේ උතුරු කොරියා ශාඛාවෙහි නිලධාරීහු හෝටලය පරීක්ෂා කර බැලීමට පැමිණියහ. ඔවුන් කියන පරිදි මේ හෝටලයේ එතෙක් නිමැවුම ඉතා දුර්වල මට්ටමක පැවැතී තිබේ. එහි කොන්ක්‍රීට් ගුණාත්මක වශයෙන් ඉතා පහත් තත්ත්වයක තිබී ඇත. ඒ හැරුණු විට ගොඩනැඟිල්ලේ විදුලි සෝපාන, භාවිතයට නුසුදුසු බව තහවුරු විය. මේ කරුණු අනාවරණය වීමත් සමගම ජාත්‍යන්තර මාධ්‍ය සේවාවන්හි විශේෂ අවධානය රයි ගයොන්ග් හෝටලය වෙත යොමු විය. රයි ගයොන්ග් හෝටලයේ ඉදිකිරීම් පසුපස විශාල අබිරහසක් ඇති බව මාධ්‍යවේදීහු දිගින් දිගටම සිය වාර්තාවලින් පෙන්වා දුන්හ. තවත් සමහර මාධ්‍යවේදීන් කියා සිටියේ එය භූත අවතාරවලින් ගහන හෝටලයකැයි යනුවෙනි.

ලෝක ජනමාධ්‍ය සේවාවන්ගෙන් එල්ල වන මේ සියලු චෝදනා විඳදරා ගනිමින් සිටි උතුරු කොරියා පාලන අධිකාරිය 2008 වසරේදී හෝටලය ගැන සඳහනක් කළේය. අමෙරිකා එක්සත් ජනපදයේ පළවන “ලොස් ඇන්ජලීස් ටයිම්ස්” පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඔවුන් කියා සිටියේ හෝටලයේ ඉදිකිරීම් ඇන හිටියේ මුදල් හිඟකමක් නිසා බවයි.

රයි ගයොන්ග් හෝටලය සම්පූර්ණ කර විවෘත කිරීමේ කාර්යයට උතුරු කොරියා බලධාරීහු දහසය වසරකට පසුව – එනම් 2008 වසරේදි නැවත වරක් අත ගැසූහ. එවර ඉදිකිරීම් භාර කර තිබුණේ ඔරාස්කොම් නමැති ඉතියෝපියා සමාගමකටයි. ඉතිරි කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අමෙරිකා ඩොලර් මිලියන 400ක පමණ මුදලක් අවශ්‍යය බව ඇස්තමේන්තු කර තිබිණ. එය පියවා ගැනීමට ඉතියෝපියා සමාගමට උතුරු කොරියාව තුළ විදුලි සංදේශ කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ගිවිසුමක්ද අත්සන් කළ බව වාර්තාවල දැක්වේ. උතුරු කොරියාවේ අදහස වී තිබුණේ 2012 වසර වනවිට හෝටලයේ වැඩකටයුතු අවසන් කිරීමටයි. උතුරු කොරියා පාලකයකුව සිට නැසීගිය දෙවන කිම් සුන්ග්ගේ සියවන ජන්ම සංවත්සරයට සමගාමීව “අත්භූත හෝටලය” විවෘතකිරීමට ද සැලසුම් කර තිබිණ. ඒ අරමුණ ඇතිව ඉතියෝපියා සමාගමත් වැඩකටයුතු ඇරඹුවේය. හෝටලයේ ඉදිකිරීම් රැසක්ම සමාගමේ මැදිහත්වීමෙන් නිමවිණ. අනෙකක් තබා පළමුවරට හෝටලය අභ්‍යන්තරයේ ඡායාරූප පවා ජාත්‍යන්තර මාධ්‍ය සේවා වෙත නිකුත් කරන්නට පියවර ගෙන තිබුණේය. කොහොම වුණත් අපේක්ෂා කළ ආකාරයට 2012 වසරේ පැවැති සැමරුම්වලට සමගාමීව රයි ගයොන්ග් හෝටලය විවෘත කරගන්නට නොහැකි විය.

උතුරු කොරියා බළධාරීන් එවර ප්‍රකාශ කර සිටියේ 2013 වසරේ මාර්තු මාසයේදී හෝටලය විවෘත වන බවකි. බලධාරීන් මේ ප්‍රකාශය කළේ කෙම්පින්ස්කි නමැති අන්තර්ජාතික හෝටල් දාමය, රයි ගයොන්ග්හි හෝටල ආරම්භ කිරීම සම්බන්ධයෙන් ලබා දී තිබුණු තීන්දු තීරණ ප්‍රකාරවය. කෙම්පින්ස්කි හෝටල දාමයට මෙන්ම උතුරු කොරියා බලධාරීන්ටත් අග මුල පැටලී තිබිණ. එනිසා රයි ගයොන්ග් හෝටලය විවෘත කිරීම එවරත් හුදු ප්‍රකාශයක් බවට පමණක් පත්විය. එවක් පටන් අද දක්වාම රයි ගයොන්ග් හෝටලය උතුරු කොරියාවේ යොන්ග් යොන්ග් නගර මධ්‍යයයේ හු‍ෙදකලා වී ඇත. අද මේ හෝටලය හැඳින්වෙන්නේ “අත්හැර දමන ලද ලොව විශාලතම හෝටලය” හැටියටයි.

න්‍යෂ්ටික තාක්ෂණය අතින් ඉදිරියට ගිය රටක් හැටියට උතුරු කොරියාවට මේ දැවැන්ත ගොඩනැඟිල්ල ගොඩගන්නට බැරිකමක් නැතිවා විය නොහැකිය. නමුත් ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් මුළුමනින්ම නිම කරන්නට සහ එය විවෘත කරන්නට කුමක්දෝ බාධාවක් දිගින් දිගටම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබේ. එය දකුණු ආසියාතික අප කතාකරන විධියේ භූමි දෝෂයක්ද? එහෙමත් නැත්නම් ඇරඹුම් නැකතේ වරදක්ද? නොඑසේ නම් වාස්තු විද්‍යාවට සහ ජ්‍යෝතිෂයට අනුකූලව ගොඩනැඟිල්ල සැලසුම් නොකිරීම නිසා හටගත් තත්ත්වයක්දැයි කියා කියන්නට බැරිය. කුමන දොස හෝ දොස් හෝ නිසා විවෘත නොකෙරුණු සහ විවෘත කරන්නට ද බැරි ලොව විශාලතම හෝටල් සංකීර්ණය අදටත් මිනිසුන්ගෙන් තොර, පාළුව රජයන ස්ථානයක් හැටියට ප්‍රකට වී ඇත.

uturu-koria-hotel-1