කොටින්ට යළි නැගිටින්නට පුළුවන් ද?

අපගේ නිරීක්ෂණ අනුව, කොටි සංවිධානය නැවත වතාවක් ශ්‍රී ලංකාවේ හොට බිම ඇනගෙන ඇති බවක් පෙනේ.

සිද්ධිය හෙළිදරව් වීමේ සුලමුල පවුල් ආරාවුලක් විය හැකිය. චාවාකච්චේරියේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය අත්අඩංගුවට පත් වී ඇත්තේ සැමියා ගංජා විකුණන බවට බිරිය දුන් තොරතුරක් අනුව සොයා බලද්දී බව වාර්තා වේ.

එම පුද්ගලයාගේ ගිණුමට ලක්ෂ ගණනින් මුදල් දැමූ අය හා ඔහුට දුරකථන ඇමතුම් දුන් අය පිළිබඳ විමර්ශන ඔස්සේ තවත් පුද්ගලයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

චාවාකච්චේරි පුද්ගලයාට ඇමතුම් දුන් විදෙස් දුරකථන අංකවලින් ලංකාවේ තවත් කොටි සාමාජිකයන්ට ඇමතුම් ලැබී තිබේ. ඒ පුද්ගලයන් වනාහි කොටි සංවිධානයේ සිට, පසුව හමුදාව සමඟ බිල්ලන් ලෙස වැඩ කර, හමුදාව විසින් නිදහස් කරන ලද රාම්, නගුලන්, ප්‍රභා වැනි අයයි. සිද්ධිය පිළිබඳ විමර්ශන කරමින් තිබේ.

මීට පෙර 2014 අප්‍රේල් මාසයේදී ද කොටි සංවිධානය යළි පණ ගන්වන්නට උත්සාහ කළ ගෝපි, අප්පන්, තේවියන් නම් තිදෙනෙක් මරා දමනු ලැබූහ. ඔවුන් මරා දමනු ලැබුවේ නැදුන්කර්නි වනයේදී 3000ක් පමණ හමුදා භට පිරිස් විසින් කරන ලද මෙහෙයුමකිනි.

මෙම සිදුවීම් දෙකේදී ම දක්නට ලැබුණු දෙයක් වන්නේ මේ පුද්ගලයන් මෙහෙයවීම සිදු කර ඇත්තේ විදෙස්ගතව සිටින බලවේග විසින් වීමයි. ඔවුන්ට ඇති තරම් මුදල් ලැබී තිබේ. එසේම, දේශීයව ද ඔවුන්ට සහයෝගය දක්වන ප්‍රජාවක් සිටියේය. ඔවුන්ගෙන් ඇතැමෙක් රාජ්‍ය නොවන සංවිධාන සමඟ සම්බන්ධ අයයි. වසරක් පමණ අත්අඩංගුවේ සිට ඇප පිට මුදා හරින ලද ජෙයකුමාරි එක් අයෙකි. ගෝපි මුල් වරට පලා යන්නේ ජෙයකුමාරිගේ නි‍ෙවසේ සිට බව හමුදාව පවසයි.

ජෙයකුමාරිත්, ඇගේ බාල වයස්කාර දියණියත් අත්අඩංගුවට ගන්නා ලදී. එහෙත්, ඇයට එරෙහි කිසිදු චෝදනාවක් ඔප්පු කිරීමට පොලිසිය තවමත් සමත් වූයේ නැත. දකුණේ මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය කණ්ඩායම් හා වාම සංවිධාන ඇය වෙනුවෙන් පෙනී සිටි අතර, ඇය වීරවරියක බවට පත් කරන ලදී.

චෝදනා ඔප්පු කරනතුරු සෑම සැකකරුවෙකු ම නිවැරදිකරුවකු ලෙස සැලකේ.

ජෙයකුමාරිටත් නීතියේ සාධාරණත්වය ඉටු විය යුතු ය. එහෙත්, ඇය වීරවරියක කරන ලද වාම, මාධ්‍ය හා එන්ජීඕ මෙහෙයුම ගැන නැවත සිතා බැලිය යුතු ය.

කොටි සංවිධානයට නැඟිටින්නට උපකාර කළ බවට චෝදනා ලබන ජෙයකුමාරි කුමන අන්දමේ කෙනෙකු ද යන්න සොයා බැලිය යුතු ය. ඇගේ සැමියා වසර ගණනකට පෙර රෝගාතුරව මිය ගොස්ය. ඉන්පසු ඇගේ 22 හැවිරිදි වැඩිමහල් පුතු බාලේන්ද්‍රන් යොහාන් 2006 වසරේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගියේය. 2009 මැයි මාසයේදී රජයේ පාලන ප්‍රදේශයට එමින් සිටියදී ආරක්ෂිත ප්‍රදේශයකදී ඇගේ දෙවැනි පුතු බාලේන්ද්‍රන් කජීවන් ද ෂෙල් වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මිය ගියේය. ඔහු ය. ඇගේ බාල පුතු බාලේන්ද්‍රන් මහින්දන් 2008දී එල්ටීටීඊ සංවිධානයට බැඳී සිටියේ ය. යුද්ධයෙන් පසු පුනරුත්ථාපනය වෙමින් සිටි බව කියන ඔහු ද අතුරුන්ය.

දකුණේ ඇතැම් සිංහල මාධ්‍ය විසින් ඇය නූතන පටාචාරාවක ලෙස හැඳන්වීම එක අතකට වැරදි නැත. එහෙත්, එම තත්ත්වයට වගකිව යුතු වන්නේ කවුරු ද? රජය, සිංහල ජනතාව මෙන් ම කොටි සංවිධානය ද එයට වග කිව යුතු ය. ඇය ප්‍ර‍තිචාර දක්වන අන්දම ඇයට සාපේක්ෂව සාධාරණ විය හැකි ය. එහෙත්, ඇය ගැන සානුකම්පිත වන පමණින් දකුණේ මාධ්‍ය, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් හා වාම දේශපාලන බලවේග ද ඇය සිතන ආකාරයෙන් ම සිතීම සාධාරණ ද? ප්‍රජාවක හෝ පුද්ගලයකුගේ ප්‍ර‍තිචාර දෙස විචාරාත්මකව බැලීමේ පුළුල් දෘෂ්ටියක් සවිඥානක පුරවැසියන්ට තිබිය යුතු ය.

සන්නද්ධ කොටි සංවිධානය සක්‍රියව අරගල කරමින් පැවති අවදියේ අප එයට ප්‍ර‍තිචාර දැක්වූ ආකාරය හා යුදමය පරාජයෙන් පසුව එයට ප්‍ර‍තිචාර දැක්විය යුතු ආකාරයේ වෙනසක් තිබිය යුතුය. දෙමළ ජනතාව හා සමස්ත ශ්‍රී ලංකාව ම මුහුණ දී සිටින වර්තමාන තත්ත්වයට වගකිවයුතු ප්‍ර‍බල පාර්ශ්ව අතර කොටි සංවිධානය ද එකකි.

කොටි සංවිධානය යනු නිකම්ම සංවිධානයක් නොව, ගැඹුරු සලකුණක් තබා ඇති විනාශකාරී ව්‍යූහයකි. කොටි ත්‍ර‍ස්තවාදය ද නාසිවාදය, ස්ටාලින්වාදය වැනි කොන්දේසි විරහිතව යළි හිස එසවීමට ඉඩ නොතැබිය යුතු දෙයකි.

ආණ්ඩුවට එරෙහිව විවිධ අරමුණු මත සටන් කරන අය මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණාවක් තිබේ. විදේශගතව හිඳිමින්, සිය දැවැන්ත ආර්ථික ශක්තිය භාවිත කරමින් ශ්‍රී ලංකාව තුළ යළි කොටි සංවිධානය පැළ කරන්නට උත්සාහ කරන අයට දැනුවත්ව හෝ නොදැනුවත්ව හසු නොවී සිටීමේ වගකීමක් සියලු දේශපාලන බලවේගවලට තිබේ. දේශපාලනික වශයෙන් අවදානම් සහගත තත්ත්වයක සිටින දේශපාලකයන් මෙන්ම, ආර්ථික වශයෙන් අවදානම් සහගත තත්ත්වයක සිටි ක්‍රියාධරයන් ද මේ පිළිබඳ විශේෂ අවදියකින් යුක්ත විය යුතු ය.

රාජ්‍ය හෝ වෙනත් ආකාරයක ත්‍ර‍ස්තවාදයෙන් තොර ලංකාවක් යනු කෙතරම් නිදහස් අවකාශයක් ද යන්න 2015 ජනවාරි 8න් පසු මෙරට ජනතාවට තේරුම් ගත හැකි විය. දේශපාලන ගැටලු තිබුණත්, ඒවාට විසඳුම් සෙවීම සඳහා කුමන අන්දමකින් හෝ ත්‍ර‍ස්තවාදය යොදා ගැනීමට ඉඩ නො තැබිය යුතුය. ඒ වෙනුවට ප්‍ර‍ජාතාන්ත්‍රික කතිකාවට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුය.

443