මොකක්ද මේ ත්‍රිමාණ මුද්‍රණය?

ලෝකයට අලුතෙන් හඳුන්වා දෙනු ලැබූ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ඇතැමෙක් හඳුන්වන්නේ තුන්වන කාර්මික විප්ලවය ලෙසය. තවමත් ශ්‍රී ලංකාව තුළ එතරම් ප්‍රචලිත නැතත්, ලෝකයේ එවැනිම සුවිශේෂී ස්ථානයක්වර්තමානය වනවිට ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයටද හිමිවී ඇති බව නොරහසකි.
ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර භාවිතය පිළිබඳව සුවිශේෂී පුවතක් මෑතකදී ශ්‍රී ලංකාවෙන්ද වාර්තා විය. ඒ ශ්‍රී ලාංකික යුවතියක් තම මංගල ඇඳුම සඳහා ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් භාවිතයෙන් නිර්මාණය කරගත් කොටස් කිහිපයක් භාවිත කළ බවට International Business Times නම් පුවත් සේවය මගින් වාර්තා කොට තිබිමයි. තම සේවාදායකයා හට ඇයගේ විවාහ දිනයේදී කිසියම් විශේෂිත යමක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය වූ බවත්, ඒ සඳහා ත්‍රිමාණ මුද්‍රණ පහසුකම් සපයන ශ්‍රී ලාංකික ආයතනයක් මගින් ඇයගේ මඟුල් ඇඳුමේ කොටස් මුද්‍රණය කරගත් බවත් ඇයගේ ඇඳුම් නිර්මාණ ශිල්පිනිය විසින් පවසා තිබූ බවට වාර්තා විය. මෙම මංගල ඇඳුම නිර්මාණය කිරීම සඳහා ත්‍රිමාණව මුද්‍රණය කරගත් කොටස් 700 ක් පමණ භාවිත කළ බව පැවසෙන අතර මුද්‍රණ කටයුතු සඳහා මාසයක කාලයක් ගතවූ බවත් පැවසේ. මෙය ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිතයෙන් නිර්මාණය කරගත් ලොව පළමු මංගල ඇඳුම ලෙස වාර්තා ‍පොතට එක්වන බව විදේශීය ජනමාධ්‍ය මගින් වාර්තා කොට තිබුණි.
ආකලන නිෂ්පාදනය (Additive Manufacturing – AM) ලෙස හඳුන්වන ත්‍රිමාණ මුද්‍රණ (3D Printing)  තාක්ෂණය යනු පරිගණක තාක්ෂණය ඇසුරෙන් කිසියම් වස්තුවක ත්‍රිමාණ රූපයක් නිෂ්පාදනය කරගැනීමයි. මෙහිදී පරිගණකයක ආධාරයෙන් ත්‍රිමාණ වස්තුවක ආකෘතියක් ස්ථර වශයෙන් නිපදවා ගැනීමක් සිදුකරනු ලබයි. මෙම ත්‍රිමාණ මුද්‍රණ කටයුතු සඳහා මූලික වන වස්තුව, ත්‍රිමාණ වස්තුවක ත්‍රිමාණ ප්‍රතිබිම්බයක් හෝ පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද ත්‍රිමාණ ආකෘතියක් විය හැක. ඇතැමුන් විසින් මෙම ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍ර එක්තරා ආකාරයක රොබෝ යන්ත්‍ර ලෙසද හඳුන්වා දී ඇත. මෙම ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයේ ව්‍යාප්තියත් සමගම ලෝකයේ ඕනෑම ස්ථානයක සිට වෙනත් ඕනෑම ස්ථනයකට තත්පර කිහිපයක් තුළ, කිසියම් මූලික ආකෘතියක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කරගත හැක.ඉන්පසු ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් මගින් එහි ත්‍රිමාණ පිටපතක් ලබාගැනීමෙන් අදාළ ආකෘතිය පිළිබඳ ව්‍යුහාත්මක අවබෝධයක් ලබාගත හැකි වීම නිසා, නිෂ්පාදන කටයුතුවලදී ඇතැම් අනුරූ ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම තැනකට හුවමාරු කරගැනීමට හැකිවී ඇත.
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය යටතේ මුද්‍රණය කරන ලද ඖෂධ වර්ගයක් සම්බන්ධයෙන්ද පසුගිය වසරේදී අසන්නට ලැබුණි. අපස්මාර රෝගීන් හට ලබාදෙන Spritam නම් ඖෂධයක් මෙලෙස ත්‍රිමාණ ලෙස මුද්‍රණය කළ බවට විදේශීය ජනමාධ්‍ය මගින් වාර්තා කොට තිබුණි. ත්‍රිමාණ ලෙස මුද්‍රණය කළ හැකිවීම නිසා මෙම ඖෂධය වැඩි සාන්ද්‍රණයකින්, පහසුවෙන් දිය වන ලෙස මෙන්ම පහසුවෙන් ශරීරයට උරාගත හැකි වන ලෙස ඉදිරිපත් කිරීමට හැකිවූ බවට වාර්තා විය.
2015 වසරේ මැයි මාසයේදී 3D Printshow  නම් වැඩසටහනට සහභාගි වූ ලන්ඩනයේ  King’s College රෝහ‍ලේ ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු වූ වෛද්‍ය මුහනාද් හතම්‍ලේහ් විසින් විදේශීය ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කොට තිබුණේ හිස, මුඛය, හකු, මුහුණ සහ ගෙල ආශ්‍රිතව කටයුතු  කරන වෛද්‍යවරුන් හට ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය අත්‍යවශ්‍යම අංගයක් බවට පත්ව ඇති බවයි.
ත්‍රිමාණව මුද්‍රණය කරන ලද කොටස් භාවිත කරමින් නිර්මාණය කරන ලද මෝටර් රථ පිළිබඳවද පසුගිය කාලයේදී අසන්නට ලැබුණි. මීට අමතරව ගුවන් යානා නිෂ්පාදන ආයතනද තම නිෂ්පාදන කටයුතු සඳහා ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය භාවිත කරනා බවට වාර්තා වී ඇත. තම කොරල් සම්පත විනාශ වී යාමට නොදී රැකගැනීම සඳහා බහරේනයේ බලධාරීන් විසින් කොරල් පරවල ආකෘතීන් ත්‍රිමාණව මුද්‍රණය කොට, එම ආකෘති මත කොරල් වැඩෙන්නට සැලැස්වීමේ පරිසර හිතකාමී පියවරක් පිළිබඳවද මෑතකදී විදේශීය ජනමාධ්‍ය මගින් වාර්තා කොට තිබුණි.
කෙසේ වෙතත් ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය නරක අතටද යොදාගත් අවස්ථා නැතුවාම නොවේ. වරක් ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් භාවිතයෙන් මුද්‍රණය කරන ලද කොටස් එකලස් කිරීමෙන් නිපදවනු ලැබූ ගිනි අවියක් පිළිබඳ පුවතක්ද විදේශීය ජනමාධ්‍ය මගින් වාර්තා කොට තිබුණි.

ttttr

ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයකින් ත්‍රිමාණ වස්තුවක් නිපදවන අයුරු

(මංජුල දීපාල් ද සිල්වා)