සොලමන් දූපතේ හරි සරල ජීවිත

පැපුවා නිව්ගිනියා රාජ්‍යයට නැගෙනහිර දෙසිනුත්, වනවාටු රාජ්‍යට වයඹ දෙසිනුත් පිහිටි සොලමන් දූපත් රාජ්‍යය ලෝක ජනමාධ්‍යට විෂයය නොවන තරම්ය.

ඒ ආකාරයට අඩුවෙන් ලෝක අවධානයට පත් මේ දූපත් රාජ්‍ය ගැන ඡායාරූප වාර්තාවක් පසුගිය දා විදෙස් මාධ්‍යය කිහිපයකම පළ වී තිබිණ.

වාර්තාව පළකර තිබුණේ ප්‍රංශ ඡායාරූප ශිල්පියකු වන ෆෝර්බීන් ඇස්ට්‍රිය.

ඇස්ට්‍රිගේ ඡායාරූපවලින් විදහා දැක්වෙන සොලමන් දූපත්වල වත්මන් තත්ත්වයට සම්බන්ධ ඇතැම් කාරණා නූතන ලෝකයේ ජීවත්වන අත්දැකීම් අඩු අයට නම් විශ්වාස කරන්නට පවා බැරි තරම්ය.

ඇස්ට්‍රි කියන ඒ කාරණා මොනවා දැයි කියා සටහන් කරන්නට පළමුව සොලමන් දූපත් රාජ්‍යය ගැන කිසිවක් කිවයුතුව ඇත.

සොලමන් දූපත් රාජ්‍යය,විශාල ප්‍රමාණයේ ප්‍රධාන දූපත් හයකින් සහ කුඩා ප්‍රමාණයේ දූපත් නවසියයකින් සමන්විතය.

දූපත් සියල්ල එකට ගත් කල ආවරණය වන භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 28,400ක් පමණ වේ.සොලමන් දූපත් ගැන කතාකරන විට අමතක කරන්නට බැරිම තවත් කාරණයක් තිබේ.

එනම්, දූපත් සමූහයට අයත් ජෝන් එෆ් කෙනඩි දූපතයි. ජෝන් එෆ් කෙනඩි යනු අමෙරිකා එක්සත් ජනපදයේ 35 වන ජනාධිපතවරයාය.

දේශපාලන භූමිකාවට අවතීර්ණවන්නට පළමුව – එනම් 1941 සිට 1945 දක්වා කාලයේදී ලුතිනන්වරයකු වශයෙන් හෙතෙම අමෙරිකා එක්සත් ජනපද නාවුක හමුදාවෙහි සේවය කළේය.

මේ කාලය දෙවන ලෝක සංග්‍රාමය පැවැති සමයයි. ඔහු සහ පිරිස වරක් ගමන් කළ PT – 109 යාත්‍රාව, පැසිපික් සාගරයේ සොලමන් දූපත්වලට යටත් ප්‍රදේශයකදී විනාශයට පත්වූ බව වාර්තාවල දැක්වේ.

යාත්‍රාව විනාශ වූයේ ජපානයට අයත් අමගිරි සතුරු නාශක යාත්‍රාවේ ගැටීම හේතු කරගෙන ය.

අනතුරින් යාන්තමට දිවි ගලවා ගන්නට ලුතිනන් ජෝන් එෆ් කෙනඩි සමත් වූයේය.

PT – 109 යාත්‍රාව විනශයට පත්වූයේ සොලමන් දූපත් සමූහයට අයත් කසොලෝ දූපත අසලදී බව සඳහන්වේ. මේ දූපත එකල මිනිස් වාසයෙන් තොර තැනකි .

කෙනඩි පසු කලෙක ලෝකය හෙල්ලූ මිනිසකු බවට පත් වන විට සොලමන් දූපත් රාජ්‍යයට අයත් යට කී කසොලෝ දූපතේ නමත් වෙනස් වූයේය.

ඒ අනුව සිද්ධි දාමයත් සමඟ දූපත ජෝන් එෆ් කෙනඩි දූපත නමින් හැඳින්වීම අනුක්‍රමයෙන් සිදුවිණ.

සොලමන් දූපත්හි දැකිය හැකි වන්නේ බහු සංස්කෘතික සමාජ රටාවකි.

පන් ලක්ෂයකට ආසන්න එහි වෙසෙන ජනයා අතරභාෂා74ක් පමණ භාවිතයට ගැනෙණ බව අනාවරණය වී තිබේ.

එකී භාෂා හැත්තෑ හතරෙන්, හතරක් මළ භාෂා ගණයෙහි ලා සැලකෙන බව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති.

එහෙව් ජීවන රටාවක් ඇති සොලමන් දූපත්වල අතිශය ග්‍රාමීය ප්‍රදේශවල ඇතැම් තැනෙක දින දර්ශනය හැටියට පාවිච්චියට ගැනෙන්නේ චන්ද්‍රයා බව ඇස්ට්‍රි ගෙනහැර පායි.

චන්ද්‍ර කලා අනුව ජීවිතය හැඩගස්වාගෙන ඇති එකී පිරිස්වලට සති, මාස සහ වර්ෂ ගැන අවබෝධයක් නැති බවත් ඇස්ට්‍රි කියා සිටී.

ඒ නිසා ඔවුන්ගේ සෑම සියලු කටයුත්තක්ම කාලය නමැති සාධකයෙන් වියුක්ත බව අප අමතක කළ යුතු නැත.

“…. සොලමන් දූපත් රාජ්‍යයට අයත් කුමණ දූපතක සිටියත්, සාමාන්‍යය ලෝකයෙන් ඈත්ව ජීවත්වන බවක් ඔබට දැනෙනවාට කිසිම කිසි සැකයක් නැහැ. …. සොලමන් දූපත් රාජ්‍යයේ සෑම තැනකටම පොදු එක කාරණයක් තියෙනවා. එය අනෙකක් නොවෙයි, මුහුද සහ ස්වභාව දහම ඇසුරු කරගෙනඒ සියලු දෙනාම ජීවත්වීමයි. …” යැයි කියා අස්ට්‍රි මාධ්‍යට පවසා තිබිණ.

ඇස්ට්‍රි පෙන්වාදෙන ආකාරයට සොලමන් දූපත් රාජ්‍යයයේ ජීවත්වන විශාල පිරිසක් හිසට සෙවණ ලබාගන්නේ ශාක අතු සෙවිළි කළ නිවෙස්.

ආහාර සොයා – කියා ගන්නට සොලමන් දූපත් වාසීන් ඇදෙන්නේ එක්කෝ ඔවුන්ගේ වටපිටාවෙහි වැඩෙන ගහ කොළ වෙතය. නැත්නම් මහ මුහුද වෙතයි.

මහ මුහුද සමඟ ඔට්ටුවන ඔවුහු භාවිතයට ගන්නේ ශාක කඳන් එකට එකතුකර තනාගත් සරල ආකාරයේ ඔරුය.

අනෙකක් තබා, හිතට දුකක්, කාන්සියක්, තනිකමක් නැඟුණ වෙලාවක වගේම කයට වෙහෙස මහන්සිය දැනෙන අවස්ථාවකදීත් ඔවුන් ඉසිඹුලන්නේත් මහ මුහුද අද්දරය.

නැත්නම් ගහක් – වැලක් ළඟය. තරුණ තරුණියන්ගේ විනෝදාස්වාද කටයුතු පවා ස්වභාව දහම පදනම් කරගෙන ගොඩනැඟී ඇති බව ඇස්ට්‍රි පවසයි.

නාගරීකරණය, නවීකරණය සහ විද්‍යාව මුල් කරගත් ප්‍රංශය වැනි රටක ජීවත්වන ඇස්ට්‍රිලාට සොලමන් දූපත් වැසියන්ගේ ජීවන විලාසය පුදුමයක්, අමුත්තක්.

නුහුරු නුපුරුදු තාලයේ අත්දැකීමක්. වුවත් සරල ඇවතුම් පැවතුම් තුළ ජීවත්වන මිනිසුන් ලෝකයේ ඇතැම් තැනෙක වග යථාර්ථවාදී අදහස් ඇති බොහෝ දෙනෙකුට අරුමයක් හෝ නුහුරක් හෝ නොවන බව සත්‍යයකි.

e

මංජුලා විජයරත්න (දිනමිණ) – mail online ඇසුරෙනි.