අධ්‍යාපනය විසින් ඇති කරනා පීඩනය ඔබේ දරුවා ආත්මාර්ථකාමියකු කළ හැක

– ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් වූ සිසුවෙකුට අපේ රටේ ඊළඟට කළ හැක්කේ කුමක්ද?
රැකියාවකට යාමට නම් කුමක් හෝ කුසලතාවයක් වර්ධනය කර ගෙන තිබිය යුතුය. නමුත් පවතින අධ්‍යාපන ක්‍රමය අනුව කුසලතා වර්ධනය වීමට අවකාශ නැත. ඉන්පසු රැකියාවක් සොයා ගන්නට නම් තමන් එතෙක් උගත් සියලු දෑ අමතක කර කිනම් හෝ කුසලතාවයක් හදාරන්නට සිදුවනු ඇත.
මීට පෙරද දක්වා ඇති පරිදි මෙම අධ්‍යාපන ක්‍රමය තුළින් වර්ධනය වන්නේ මොළයේ තර්කානුකූල බුද්ධිය කොටස පමණි. තර්කානුකූල බුද්ධියට අමතරව ඕනෑම පුද්ගලයෙකුගේ කිනම් හෝ දක්ෂතාවයන් පවතී. ඒ අතපය ආශ්‍රිත ක්‍රියාකාරකම් හා බැඳුණු ඒවාය. එවැනි ක්‍රියාකාරකම් වර්ධනය කිරීම සඳහා වූ ප්‍රාග් වෘත්තිය වැනි විෂයන් අතීතයේ පාසල් විෂය ධාරාවට එකතුවී තිබුණත්් දැන් ඒවා ගැන පාසල් විෂය නිර්දේශයන්ට ඇතුළත් වූ සෞඛ්‍ය හා ශාරීරික ක්‍රියාකාරකම් නමින් විෂයක් තිබේ.  පාසල් වේලාව තුළ මෙම කාල පරිච්ජේදය වෙන් වන්නේ න්‍යායික කරුණු ඉගෙනීම සඳහා පමණි. දරුවාට ප්‍රායෝගික දැනුම ලබා ගැනීම සඳහා ක්‍රීඩාවල නියැළීම පාසල් වේලාවෙන් පරිබාහිරව (After School) කිරීමට සිදුව තිබේ. එයද අනිවාර්ය නැත. ඒ අනුව සෞඛ්‍ය හා ශාරීරික ක්‍රියාකාරකම් කට පාඩම් කරන විෂයක් වන විට එහිදීද වර්ධනය වන්නේ මොළයේ තර්කානුකූල බුද්ධිය කොටස පමණය. මොළයේ ක්‍රීඩාවලට අදාළ කොටස වර්ධනය වන්නට නම් පාසල් විෂය ක්‍රියාකාරකමක් ලෙස ක්‍රීඩාද ඇතුළත් කළ යුතුය.
කුසලතා වර්ධනය කිරීම සහ කටපාඩම් කිරීම යනු දෙකකි. කුසලතා දියුණු කරගත් විට එය තැන්පත් වන්නේ මොළයෙහි ඒ සඳහාම ඇති වෙනමම කොටසකය. අපේ පාසල් අධ්‍යාපනයේදී සිදුවන්නේ තර්කානුකූල බුද්ධිය කොටසෙ තිබෙන මතකය කොටස පමණක් තෝරාගෙන විභාග සඳහා එය වර්ධනය කිරීමයි. ඒ අනුව පාසල් සිසුන්ට තම කුසලතා වර්ධනය කර ගැනීම සඳහා වෙනමම අධ්‍යාපනය ලැබිමට සිදුව තිබේ. පාසල් අධ්‍යාපනය මේ අභාග්‍යය සම්පන්න ඉරණමට ලක්වීම නිසා වර්තමාන දරු පරපුර තුළ විශ්‍ලේෂණාත්මක දැනුම ගිලිහී ගොස් ඇත. එහි අතුරුඵලය වන්නේ ගුණ ධර්ම පවා පිරිහුණු මිනිසුන්ගෙන් පිරි සමාජයක් අපට උරුම වීමය.
මෙයට හොඳම නිදසුනක් අපි ගනිමු. මෙහිදී මා ද වෛද්‍යවරයකු නිසා වෛද්‍යවරුන්ව නිදසුනක් ලෙස ගන්නේ එය වඩාත් යහපත් බැවිනි.
වෛද්‍යවරුන් සම්බන්ධයෙන් අද රෝගීන්ගෙන් තිබෙන ලොකුම පැමිණිල්ල රෝගීින් සඳහා ප්‍රමාණවත් කාලයක් මිඩංගු නොකිරීමය.
මුදල් ගැන පමණක් සිතා වැඩිම රෝගීන් ප්‍රමාණයක් පරික්ෂා කිරීම අද වෛද්‍යවරුන් වැඩි දෙනකුගේ පරමාර්ථය වී තිබේ. ඇතැම් විට රෝගීන් බලන කාමරයෙහි වෛද්‍යවරයා එක් රෝගියකුව පරික්ෂා කරන්නේ ඊළඟට ‍පෝලිමේ සිටින තවත් රෝගීින් දෙතුන් දෙනකුවත් කාමරය තුළ ‍පෝලිමේ තබාගෙනය. තමන්ගේ රෝගය පිළිබඳව වෛද්‍යවරයා සමග පෞද්ගලිකව කතාබහ කිරීමට සෑම රෝගියෙකුටම අයිතියක් ඇති අතර රෝගියාගේ රහස්‍ය භාවය සුරැකීමට වෛද්‍යවරයා ද බැඳී සිටියි. එවැනි තත්ත්වයක් තුළ ඇතැම් වෛද්‍යවරුන්  මෙසේ නිර්ලජ්ජිත අන්දමින් ක්‍රියා කිරීමට හේතුව කුමක්ද?
අපේ රටේ සම්මත විෂය ධාරාවන් තෝරා ගනිමින් උසස් පෙළ විභාගයෙන් උපරිම ලකුණු ලබා ගෙන ඉංජිනේරු වෛද්‍ය වැනි පීඨවලට සිසුහු ඇතුළත් වෙති. ඉංජිනේරුවකුට නම් තමන්ගේ ක්ෂේත්‍රය තුළ බහුලවම සම්බන්ධ වීමට සිදුවන්නේ අජීවී දේවල් සමගය. නමුත් වෛද්‍යවරයකුට එසේ නොවේ.
දියුණු රටවල නම් වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගැනීමේදී ඉහළ ලකුණුවලට අමතරව එම ශිෂ්‍යයාගේ සමාජ සම්බන්ධතා සමාජශීලීත්වය, මානව දයාව, ස්වේච්ඡා කටයුතුවලට කොතෙක් සම්බන්ධ වී තිබේද වැනි කරුණු රාශියක් පිළිබඳව සොයා බලනු ලබයි. ඒ ‍පොදු ජනතාව සමග සෘජුව ගනුදෙනු කරන්නට සිදුවන වෘත්තියකදී ඒ සිසුවාට කොතෙක් දුරට එය සාර්ථකව කරගෙන යා හැකිද යන්න සොයා බැලීමටය. වෛද්‍ය සිසුවකුට විෂයානුබද්ධ දැනුම පමණක් ප්‍රමාණවත් නොවන බව එයින් සනාථ වෙයි.
මේ කීවේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණි. අපි වෙනත් නිදසුනක් ගනිමු. එක්තරා ප්‍රසිද්ධ බාලිකා පාසලක් අද්දර තම දියණිය පාසල නිමවී පැමිණෙන තුරු පියෙකු තම වාහනය නතර කරගෙන බලා සිටියේය. එය අතුරු පාරක් වූ බැවින් පාසල හැරුණු විට දිගින් දිගටම පිහිටා තිබුණේ නිවෙස්ය. ඉහත කී පියා තම වාහනය නතර කරගෙන සිටියේ නිවසක ගේට්ටුවක් ඉදිරිපිටය. එම නිවසේ ගෘහපතියාට තම වාහනය රැගෙන බැහැරට යාමට අවශ්‍ය වී තිබූ නිසා ගේට්ටුව අසලින් වාහනය ඉවත් කරගන්නා ලෙස අර පුද්ගලයාට පවසා තිබිණි. එවිට එම පියා තම වාහනය ඉවත් කරගැනීම වෙනුවට කළේ අර තැනැත්තාට පරුෂ වචනයෙන් බැණ වැදීමය. ඔහු වාහනය ඉවත් කර ගැනීමට උත්සාහයක් දැරුවේද නැත. මේ පියා සමාජය තුළ කටයුතු කරන්නේ මේ ආකාරයට නම් ඔහුගේ දරුවා අනාගතයේ කෙබන්දෙකු විය හැකිද? විශ්‍ලේෂනාත්මක දැනුම ලබා නොදෙන අධ්‍යාපන ක්‍රමයක අතුරු ඵල මෙබඳුය.
එක්තරා දිස්ත්‍රික් විනිසුරුවරයකු මා හා පැවැසූ පරිදි වෘත්තිකයන් අතරින් දික්කසාද වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ වෛද්‍යවරුන්ගේය. මේවා සඳහා සංඛ්‍යා ‍ලේඛන තිබේද නැද්ද යන්න මා දන්නේ නැත. නමුත් ඔහු කීවේ ඔහුගේ අත්දැකීමය. මෙය විශ්‍ලේෂණය කිරීමට නීතිඥයකු මනෝ විද්‍යාඥයකු හෝ සමාජ විද්‍යඥයකු අවශ්‍ය වෙන්නේ නැත. දික්කසාදයකට බලපාන ප්‍රබල හේතුවක් වන්නේ ආත්මාර්ථකාමීත්වයයි. තමාට දරුවන් සිටියත් නැතත් තමන්ගේ  බිරිඳ/සැමියා තමාට රිසි පරිදි නැත්නම් දික්කසාදයෙන් එම විවාහය කෙළවර කර ගැනීම සමහරුන්ට ඉතා සුළු දෙයකි. අපි මේ කරුණ තවදුරටත් පැහැදිලි කර ගනිමු.
දරුවකු ඉතා ඉහළ මට්ටමින් සකස් කිරීමට අපේ දෙමාපියන් ක්‍රියා කරන්නේ කෙසේද?
දරුවාට/උදේට කිරි තේ එක ඇඳ අසලටම ලැබේ. ඉන්පසු දරුවාට පාසල් යාම සඳහා සියලුම දේවල් අත ළඟටම සැපයෙන අතර නිවස තුළ පාඩම් කරන විටත් ඒ සියලු අවශ්‍යතා එපරිද්දෙන්ම ඉටු වනු ඇත. සමහර මව්වරුන් දරුවාට පාඩම් කිරීමට සලස්වා ඒ අතරතුරදී බත් කවයි. අධ්‍යාපනයට අවශ්‍ය සියලුම දේ ලබා දීමට අමතරව හොඳින් පාඩම් කරන දරුවාට ඉල්ලන සෑම දෙයක්ම උපරිම අන්දමින් ලබාදීමට සෑම මාපිය කෙනෙක්ම පියවර ගනු ඇත. දරුවා නිවසේ කිසිදු කාර්යයකට හවුල් කර ගන්නේ නැත. ඒ පාඩම් මගහැරෙන නිසාය. අඩු තරමින් තමාගේ වැඩක්වත් කරගැනීමට දරුවාට ඉඩක් නොලැබේ. ඇඳුම් සෝදා මැද, පාවහන් පවා සෝදා වේලා දෙන්නේ මවය.
මෙසේ සියලු දේ ඉබේම අත ළඟටම ලැබෙන විට තමා “ලොක්කෙක් යන අභිමතය දරුවා තුළ ඇතිවේ. විවාහ වූ පසුවත් මේ දරුවා ජීවත් වන්නට උත්සාහ කරන්නේ එම ලොක්කා යන අභිමතය සිතේ දරාගෙනය. වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට නම් බොහෝ වෙහෙස මහන්සි වී පාඩම් කළ යුතුය. එනිසා එවැනි දරුවන් තුළ මේ ගතිගුණ සුලබව තිබිය හැකිය. මෙවැනි ගතිගුණ ඇති දෙදෙනෙක් විවාහ වුවහොත් ඒ විවාහයේ ඉරණම කුමක් වනු ඇතිද? දෙදෙනාම දෙදෙනාට නම්‍යශීලී නොවී තම අභිමතය පරිදි ක්‍රියා කිරීමේ අවසානය දික්කසාදයයි. වෛද්‍යවරුන් අතර දික්කසාද වැඩි යැයි ඉහත කී විනිසුරුවරයාගේ ප්‍රකාශය සනාථ කිරීමට මේ කරුණු ප්‍රමාණවත් නොවන්නේද?
ඒ අනුව බලන විට පැහැදිලි වන්නේ අපේ රටේ අධ්‍යාපනය ඉහළින්ම කරගෙන ගොස් එහි උපරිම මට්ටමට පැමිණි අයගේත් ජීවිතය බොහෝ විට ඛිෙදවාචකයකි. අධ්‍යාපනය නිසි ලෙස කරගත නොහැකි වූ අයගේත් ජීවිතය බොහෝ විට ඛිෙදවාචකයකි. වරද කොතැනද? එවැනි ඛිෙදවාචකයක් අත් නොවන අධ්‍යාපන ක්‍රමයක් අප රටට වහා අවශ්‍ය නොවන්නේද?

ww
(ඉන්දු පෙරේරා)