කාගේ හෝ එල්ලී කා සමග හෝ අවුලක් හදා ගන්නා ජවිපෙ

දිගු කලක් ජනතා විමුක්ති පෙරමුණේ ආකර්ශනීය සටන් පාඨය ‘උනුත් එකයි මුනුත් එකයි‘ යන්න විය. ජවිපෙය 2004 දී මුන් මෙහෙයැ වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග පරිවාස ගසා, උන්ට  එරෙහිව සටන් වැදිණ.  තමන් මුන්ගෙන් කොටසක් බවට ක්‍රියාවෙන් සහතික කරමින් ජවිපෙය 2005 කොන්දේසි රහිතව මහින්ද දිනවිම පිණිස ක්‍රියා කළේ රට වෙනුවෙන් නොවේ. පත්වන වාමාංශික ආණ්ඩුව කඩා බලයට එන ඉලක්කය අනුවය. 2010 දී ජවිපෙය මහින්දට එරෙහිව ෆොන්සේකා මෙහෙයවී ය. 2015 දී පොදු අපේක‍ෂකයා ගොඩ ගැනීමට ගෙවුණ ජනවාරි සටනේදී  ජවිපෙය වෙනම වේදිකාවක සිට ක්‍රියා කළේය. ජවිපෙ ඉතිහාසය විමසන්නෙකුට එය තනි පීල්ලක නැවතුණ  කෝච්චියක් වාගේය. කාගේ හෝ එල්ලී කා සමග හෝ  අවුලක් හදා ගනිති.

පසුගිය මැයි දින රැළිය පැවති,  පිට්ටනිය සුද්ධ කිරිමෙන් ජවිපෙය මහා ප්‍රාතිහාර්යක් පෑමට වලි කෑවේය. ඔවුන් ඒ හරහා රටට දන්වා සිටියේ තමන් මේ රටට කොපමණ ආදරේද යන්නය. ඒ සමග මැයි පළමුවෙනිදා ඉරිදා දිනයක් වීම නිසා ඒ නිවාඩුව සඳුදා දිය යුතුය කියමින් ලකුණු කපා ගත්තේය. ඒ හිලව් නිවාඩුව  වැඩ කරන මිනිසුන්  කළ ඉල්ලීමක් නොවේ. ඒකත් අර උනුත් එකයි මුනුත් එකයි ජාතියේ එකකි. පොත හෝ දත පාවිච්චි කිරීමට හුරුවූ  ජවිපෙය එක් යුගයක ඔය කියන සති අන්ත පුවත්පත සමග බඩ බැඳ ගෙන රට ගිනි තැබූ බව අප අමතක කළ යුතු නැත.

1988-89 කාලයේ දේශප්‍රේමි නමින් රට අවතැන් කළ ජවිපෙ ප්‍රචාරක යාන්ත්‍රණය තිබුණේ ඔය කියන මාධ්‍ය බිමිකඩෙහි හතර මායිම අතුලතය. එ දවස ‘දේශප්‍රේමී‘ මිනීමරු ව්‍යාපාරයේ පැවැත්ම පිණිස  මේ කියන පුවත් පත කළ මෙහෙය අල්ප ස්වල්ප නොවේ. ඒ යුගයේ ගමේ ගෙවල් වලට පැන මිනී මැරුවේ කවුද කියා රටම දනී. දකුණේ  ගමක ‘දේශප්‍රේමීන්‘ මිනිසෙකු මරා දැමූ කතාවක්  ආල වට්ටන් දමා කීවේ මෙසේය. තුවක්කු කාරයන්  මහ රෑ පියාත් පුතාත් පමණක් සිටි ගෙයකට කඩා වැදිණ. පැමිණියේ  පියාගේ මාරයන් බව තේරුණ  තරුණ පුතා ඊට එරෙහි විය. අවසානයේ  පුතා ඉදිරිපිට පියා ඝාතනය කෙරිණ. සිද්ධ වුණේ එපමණකි. එහෙත් තම දේශප්‍රේමි විප්ලවීය ක්‍රියාවට අවහිර කළ වරදට මරා දැමූ පියාගේ මස් පුතාට බලෙන් කැවූ බවක් රටට විස්තර කළේය. මෙහෙම වාර්තා කළේ ජනතාව බිය ගැන්වීමට මිස රට සන්සුන් කිරීමට නොවේ. අර ව්‍යාපාරයේ පැවැත්ම හා ව්‍යාප්තිය පිණිසය.  ඔවුන් සිය මාධ්‍ය භාවිතය  හරහා  රට තුල මහා තිගැස්මක් ඇති කළහ. සමහර විට මිනී මරණ හැටි දේශප්‍රේමින්ට කියා දුන්නේ ද මොවුන් විසිනි. එදා මොවුන් නොමිලේ දැන්වීම් පළකරන ව්‍යාපාරයක්ද පටන් ගත්හ. එයින් අපේක‍්ෂා කළේ කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක‍ෂවල ගම් මට්ටමේ ක්‍රියාකාරිත්වය දිය කිරීමය.  තමන් තනතුරු වලින් සහ  පක‍්ෂයෙන් අස්වූ බවට දැක්වෙන වාර්තා පළ කිරීමය.

ds

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසිනි-