ජපානයේ ආහාර ගන්නා ආකාරය ගැන බියක්

ජපානය තුළ ආහාර ගැනීම සම්බන්ධ අර්බුදකාරී තත්ත්වයන්ගෙන් පෙළෙන බහුතරයකට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර නොලැබිම ගැන එරට සෞඛ්‍ය බලධාරීන් බිය පළකොට තිබේ. මෙහිදී ඔවුන්ට අවශ්‍ය කායික ප්‍රතිකාර මෙන්ම මානසික ප්‍රතිකාරද නොලැබෙන බව කියැවෙයි. තරුණ පරපුර දහස් ගණනින් ආහාර ගැනීමේ වැරදි පුරුදුවලින් පෙළෙන බවත් විශේෂයෙන් සිරුර සිහින්කර ගැනීමේ උවමනාව නිසා තරුණියන් බහුලව මෙවැනි පුරුදුවලට ඇබ්බැහිවී සිටින බවත් කියැවෙයි. මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ජපාන රජය කියන්නේ ඉදිරි කාලයේදී තවදුරටත් මෙවැනි පුරුදුවලින් පෙළෙන්නන් සඳහා වෛද්‍ය පහසුකම් ලබාදෙන බවය.
මේ සම්බන්ධයෙන් අදහස් පළකරන ඇතැම් තරුණියන් කියා තිබුණේ තරබාරු වූ විට සමාජයේ උසුළු විසුළුවලට ලක්වන නිසා තමා නිතරම සිහින්ව සිටීමට උනන්දු වන බවය. මෙහිදී ඉතා අඩුවෙන් ආහාර ගෙන නිතර ව්‍යායාම්හි යෙදෙන්නට තරුණ පරපුර පෙළැඹෙන බව කියැවෙයි. මෙවැනි තරුණියන් අඩු බර නිසා විවිධ රෝගාබාධයන්ට යොමුවන අතර මොවුන් මෙවැනි අවස්ථාවලදී ප්‍රතිකාර සඳහා යොමුවන්නේ ඉතා අඩුවෙන් බවද වාර්තාවෙයි. ආහාර ගෙන නැවත බලෙන් වමනය කොට පිටතට දමන බුලිමියා වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළීම ලැජ්ජාවට කරුණක් බව මෙම තරුණියන්ගේ පවුල්වල අය විශ්වාස කිරීම නිසාද බොහෝ විට ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු නොවන බව කියැවෙයි. 2014 වසර තුළදී මෙවැනි අක්‍රමවත් ආහාර පුරුදු සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ දසදහසක් පමණක් බවද එබඳු තත්ත්වයන්ගෙන් පෙළෙන්නන් ගණන ඊට වඩා බෙහෙවින් වැඩිවිය හැකි බවද එරට මාධ්‍ය පෙන්වා දෙයි.

89
නිශානි දිසානායක