සිංහ කොඩිය එවරස්ට් කඳු මුදුනේ (ඡායාරූප)

එවරස්ට් කඳු මුදුන තරණය කිරීමේ අවසන් අදියරට පැමිණ සිටින බව ලොව උසම කඳු මුදුන වෙත ළඟා වීමේ බලාපොරොත්තුවෙන් පසු වන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා පවසති.

ජයන්ති කුරුඋතුම්පාල සහ යොහාන් පීරිස් එවරස්ට් කඳු මුදුනට ළඟා වීමේ අභියෝගය ජය ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකි.

එවරස්ට් කඳු මුදුන බලා යෑමට නියමිත පළමු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ලෙසත් ඔවුන් දෙදෙනා ඉතිහාසයට එක් වනු ඇත.

හිමාලය හෙවත් එවරස්ට් කඳු ප්‍රදේශය තුළ අධික ශීතලක් පවතින අතර වායුගෝලයේ ඔක්සිජන් මට්ටමද අඩු අගයක් ගනු ලබයි.

එම තත්වයන්ට ඔරොත්තු දිය හැකි ආකාරයට සිය සිරුරු හැඩ ගස්වා ගැනීම සඳහා මාස එක හමාරක් පමණ පුරුදු පුහුණු වෙමින් නියමිත ක්‍රමවේදයන් අනුගමනය කළ බවයි ජයන්ති කුරුඋතුම්පාල සහ යොහාන් පීරිස් බීබීසී සංදේශයට කියා සිටියේ.

ඒ සඳහා එවරස්ට් කඳු පාමුල පිහිටි පදනම් කඳවුරේ (Base Camp) සිට පිළිවලින් අංක 01 , 02 සහ 03 යන කඳවුරු වෙත ගොස් නැවත පැමිණීමේ අදියරයන් අවසන් කොට ඇති බවයි යොහාන් පීරිස් කියා සිටියේ.

‘අංක එක කෑම්ප් එකට ගිහින් ආපහු බේස් කෑම්ප් එකට එනවා. ඊට පස්සේ දවස් භාගයක් විවේක අරන් ආපහු අංක දෙක කෑම්ප් එකට ගිහින් ආපහු එනවා. ඒ වගේ චක්‍රයක් අනුගමනය කරන්න තියෙනවා. අපි දැන් ඒ ඔක්කොම කරලා ඉන්නේ’ ජයන්ති කුරුඋතුම්පලා සඳහන් කරන්නීය.

කඳු මුදුනේ පවතින කාලගුණ තත්වය දින දහයක කාලයක් යහපත් තත්වයේ පවතින බවත් එම කාලය ඉලක්ක කොට කඳු මුදුන වෙත ගමන් ආරම්භ කරන බවත් යොහාන් පීරිස් පැවසීය.

‘අපි දැන් ඉන්නේ අවසාන අදියර වශයෙන් කඳු මුදුනට යන්නයි. ඒ සඳහා අවශ්‍ය කාලගුණය සැකසෙන තුරුයි අපි දැන් බලන් ඉන්නේ. මම හිතුවට වඩා ගොඩක් දුෂ්කරයි මේ කාර්යය’ යොහාන් පීරිස් කියා සිටියේය.

කණ්ඩායමක් වශයෙන් තමාට එවරස්ට් අභියෝගය ජය ගත හැකි වනු ඇති බවට ජයන්ති කුරුඋතුම්පලා සහ යොහාන් පීරිස් බලාපොරොත්තු පළ කරති.

ජයන්ති කුරුඋතුම්පලා වෘත්තියෙන් කාන්තා අයිතිවාසිකම් සහ ස්ත‍්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ විශේෂඥවරියක් වන අතර යොහාන් පීරිස් ජනප‍්‍රිය කොණ්ඩා සැකසුම් ශිල්පියෙකි.

මේ දක්වා එවරස්ට් කන්ද සාර්ථක ලෙස තරණය කොට ඇති පිරිස තුන්දහසකට ආසන්නයි.

එවරස්ට් කන්ද තරණය කරන අතරතුර හෝ තරණය කිරීමෙන් අනතුරුව මරුමුවට පත් පිරිස දෙසීය දහයකි.

3 2 1