අරණායක නාය ගියේ ඇයි?

පසුගිය දිනවල ඇද හැළුණු ධාරානිපාත වැස්‌සත් සමඟ රට පුරා නාය යැම් සිද්ධීන් රැසක්‌ වාර්තා විය.

එම සිද්ධීන් අතුරින් දරුණුතම නායයැම වාර්තා වූයේ අරණායක ප්‍රදේශයෙනි.
මෙම නායයැමේ සිද්ධීන් පිළිබඳව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය පත්මකුමාර ජයසිංහ මහතා සමඟ අප කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය –

නායයැමට ලක්‌වූ අරණායක එළඟපිටිය ප්‍රදේශය නායයැම් සිදුවිය හැකි අවදානම් කලාපයක්‌ද ?

පිළිතුර –

අරණායක පමණක්‌ නොවේ, පසුගියදා නායයැම් සිදු වූ බුලත්කොහුපිටිය, දෙහිඕවිට, කඩුගන්නාව යන ප්‍රදේශ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් සකස්‌ කළ නායයැම් අවදානම් කලාප සිතියමට ඇතුළත් කළ ප්‍රදේශයි.
නමුත් අරණායක නායයැම සුවිශේෂි එකක්‌. දැනට දැනගන්නට ලැබෙන තොරතුරුවලට අනුව පූර්ව නායයැම් සලකුණු නොමැතිව සිදු වූ නායයැමක්‌ ලෙස අරණායක නායයැම සලකන්න පුලුවන්.

ප්‍රශ්නය –

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මඟින් සකස්‌ කර ඇති නායයැම් අවදානම් කලාප සිතියම්, රටේ ආපදා කළමනාකරණය කරගැනීමට යොදාගන්නා බවක්‌ පෙනෙන්නට නැහැ ?

පිළිතුර –

ඒක එහෙම කියන්න බැහැ. මේ වනවිට අප රටේ නායයැම් සිදුවිය හැකි කලාප හඳුනාගෙන තිබෙනවා. වර්ෂාපතනයත් සමඟ මෙම කලාපවල නායයැම් අවදානම ඉහළ යනවා.
වැස්‌ස වැඩිවෙන්න වැඩිවෙන්න අවදානමත් ඉහළ යනවා. නායයැමක්‌ සිදු වීමට පෙර පොළව ඉරිතලා යනවා, ජලයේ වතුර බොරපැහැ වෙනවා, ගස්‌ කඩා වැටෙනවා වගේ පූර්ව නායයැම් සලකුණු නිකුත් වෙනවා.
නමුත් සමහර වේලාවට මේ සලකුණු කිසිවක්‌ නොමැතිව නායයැම් සිදුවෙනවා. රාත්‍රී කාලයේ මෙවැනි පූර්ණ නායයැම් සලකුණු සිදු වුවහොත් නායයැම් අවදානම් කලාපයක ජීවත්වන මිනිසුන් දැනගන්නේ කොහොමද ?
මිනිසුන් නොමැති කඳුකරයේ ඉහළ කොටසක පූර්ව නායයැම් සලකුණු සිදුවුවහොත් කඳුකරයේ පහළ ජීවත්වන මිනිසුන්ට එය දැනගන්නට විදියක්‌ නැහැ.
නායයැමක්‌ කියන්නේ ඉතා ක්‌ෂණිකව සිදුවන දෙයක්‌. දැනට කල් තියා හඳුනාගත් නායයැම් අවදානම් කලාප වල ජනතාවට පූර්ව දැනුම් දීම් කරලා එම ජනතාව අවදානම් කලාපවලින් ඉවත් කරන්න අපිට හැකිවුණා.
එම නිසා අනතුරු බොහොමයක්‌ අවම කරගන්න හැකිවුණා. නමුත් අරණායක නායයැම විශේෂ එකක්‌. අපි ඒ පිළිබඳ තවම පර්යේෂණ කරනවා.

ප්‍රශ්නය –

නායයැම් අවදානම් කලාප හඳුනාගැනීමට ශ්‍රී ලංකාවට තිබෙන තාක්‌ෂණය ප්‍රමාණවත්ද ?

පිළිතුර –

නායයැම් කලාප හඳුනාගැනීමේ තාක්‌ෂණය පැත්තෙන් අපි විශාල දියුණුවක්‌ ලබා තිබෙනවා.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට පසුගිය කාලයේ නායයැම් කලාප හඳුනාගැනීමට තාක්‌ෂණය පැත්තෙන් විශාල සහයක්‌ ලැබුණා.
ඉදිරියේ දී අප බලාපොරොත්තු වෙනවා, නායයැම් කල්තියා හඳුනාගැනීමට අවදානම් කලාපවල පූර්ව නායයැම් අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති සවිකිරීමට.
මෙහිදී සිදුවන්නේ පූර්ව නායයැම් සලකුණු සිදුවීමට පටන් ගත් මොහොතේ දී “සයිරන්” නලාවක්‌ වගේ සංඥ ක්‍රමයක්‌ මඟින් අනතුරු ඇඟවීමක්‌ සිදුකිරීමයි. දැනටමත් අපි එය ආරම්භ කර තිබෙනවා.
ඒ වගේම ඒ පිළිබඳව දිගින් දිගටම පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. ජපානය, නෝර්වේ වැනි රටවලින් මෙම තාක්‌ෂණය දියුණු කරගැනීමට සහාය ලැබෙනවා.
මට පැහැදිලිව කියන්න පුqලුවන් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය නායයැම් අවදානම් කලාප හඳුනාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට විශාල දියුණුවක්‌ ලබා තිබෙනවා.
මේ නිසා විශාල වශයෙන් ආපදා අවම කරගැනීමට අපට හැකි වී තිබෙනවා. නායයැම් ක්‍රියාවලිය ස්‌වාභාවික ක්‍රියාවලියක්‌.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැස්‌ස පිළිබඳ අනාවැකි පළ කළාට සුළඟ සමඟ එන ඇතිවන ව්‍යසනයන් අපිට පාලනය කරගන්න බැරි අවස්‌ථා තිබෙනවා.
අපිට ජනතාවට කියන්න පුලුවන් මේ..මේ…වේලාවේ අවදානම් කලාපවල ඉන්න එපා කියලා. එතකොට ජනතාවත් ඒ අනතුරු ඇඟවීම් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.
දැනටත් ලංකාවේ නායයැම් අවදානම් කලාපවල මිනිසුන් ජීවත්වෙනවා. ජනතාවගේ පැත්තෙන් තියෙන අර්බුදය තමයි තමන් පදිංචි ස්‌ථානය දාලා කොතනටද යන්නේ කියන එක.

ප්‍රශ්නය –

පසුගිය කාලය තුළ ආසියානු කලාපයේ සිදුවූ භූමිකම්පාවල බලපෑම ශ්‍රී ලංකාවේ නායයැම් ඉහළ යැමට හේතුවක්‌ වී තිබේද?

පිළිතුර –

භූමිකම්පා ඇතිවීම නායයැම්වලට අනිවාර්යයෙන්ම බලපෑමක්‌ ඇති කරනවා. එකවරම ඇතිවන වැස්‌සකදී නායයැමක්‌ සිදුවන්නේ නැහැ.
විශේෂයෙන් වියළි කාලගුණයකට පසුව දින, දෙක තුනක්‌ එක දිගට වැස්‌සට පස්‌සේ පසට උරාගන්න පුළුවන් උපරිම වතුර ප්‍රමාණය උරා ගැනීම සිදු වෙනවා.
මෙහිදී සමහර වෙලාවට මෙම වතුර ප්‍රමාණය දරාගෙන පස ඒ විදියටම ඉන්න වෙලාවල් තියෙනවා.
නමුත් ඊළඟ මොහොතේ වැටෙන වතුර බිංදුවත් සමඟ නායයැම පටන් ගන්න පුළුවන්. ඒක හරියට නිදාගෙන ඉන්න රකුසෙක්‌ නැගිටිනවා වගේ වැඩක්‌.
මේ වගේ වෙලාවක භූමිකම්පාවක්‌ සිදු වුණොත් අපි හිතන් ඉන්නේ නැති ප්‍රදේශයක්‌ නාය යන්න පුළුවන්.

ප්‍රශ්නය –

ලෝක වේලි කොමිසම සඳහන් කර තිබුණා. ජල විදුලි බලාගාර සඳහා ඉදිකර ඇති ජලාශ තිබෙන රටවල ඉදිරියේදී නාය යැම් ඉහළ යා හැකි බව.
ශ්‍රී ලංකාවේ එවැනි ජලාශ විශාල ප්‍රමාණයක්‌ තිබෙනවා. මේ ජලාශ සහ නාය යැම් වර්ධනය අතර සම්බන්ධයක්‌ තිබේද?

පිළිතුර –

වර්ෂාපතනයත් සමඟ ජලාශවල ජල මට්‌ටම ඉහළ යැමෙන් ජලාශය පිහිටි භූමියේ පහළ කොටසේ කඳු බෑවුම්වල නායයැම් සිදුවිය හැකියි.
ඒ වගේම ජලාශයේ ජල මට්‌ටම ඉහළ යැමත් සමඟ ඇති කරන පීඩනය මගින් අක්‍රීය වී තිබෙන භූගත ජල මාර්ග සක්‍රීය වෙන්න පුළුවන්.
මෙය නාය යැම් තත්ත්වයන් වර්ධනය වීමට යම් බලපෑමක්‌ ඇති කරන්න පුළුවන්.

ප්‍රශ්නය –

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමඟ ශ්‍රී ලංකාවේ නායයැම් සිදුවීම අහඹු ක්‍රියාවලියක්‌ නොවේ.
නමුත් අපි දකිනවා නිරිත දිග මෝසම් සක්‍රීය වී තිබෙන කාලයේ ඇතිවන ස්‌වාභාවික ක්‍රියාවලීන් හේතුවෙන් ඇතිවන පාරිසරික ගැටලු කළමනාකරණයට රටේ ආයතනික මට්‌ටමින් පොදු වැඩපිළිවෙළක්‌ නොමැති බව?

පිළිතුර –

බොහෝ දෙනෙක්‌ නොදන්නවා වුණාට ස්‌වාභාවික ආපදා කළමනාකරණයට ආයතනික මට්‌ටමින් වැඩපිළිවෙළක්‌ රටේ ක්‍රියාත්මක වෙනවා.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, භූ විද්‍යා පතල් කාර්යාංශය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, හමුදාව, පොලිසිය වැනි ආයතන ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානය සමඟ එකතුව ස්‌වාභාවික ආපදා කළමනාකරණයට මේ වන විට විශාල වැඩ කොටසක්‌ සිදු කර තිබෙනවා.
ඉදිරි කාලයේ මීට වඩා සැලසුම් සහගතව ආපදා කළමනාකරණ සඳහා වැඩසටහන් දියත් කරන්aන අපිට හැකිවේවි.

ප්‍රශ්නය –

නායයැම් කල්තියා හඳුනා ගැනීම ජී. පී. එස්‌. තාක්‍ෂණය අද බොහෝ රටවල් භාවිත කරනවා. ශ්‍රී ලංකාව වැනි රටකට එවැනි තාක්‍ෂණික ක්‍රමවේදවලට යැමට නොහැකි ඇයි?

පිළිතුර –

අපි දැනටමත් ජී. පී. එස්‌. තාක්‍ෂණය භාවිත කරනවා. දැනට අපි ඊටත් වඩා තාක්‍ෂණික පැත්තෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා.
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය මගින් ස්‌වයංක්‍රීය වර්ෂා මාන සියයට වැඩි ප්‍රමාණයක්‌ ලංකාව පුරා සවි කර තිබෙනවා.
මෙම වර්ෂාමාන මගින් මේ මොහොතේ වැටෙන වැස්‌සේ ප්‍රමාණය එවෙලේම පරිගණකයට ලැබෙනවා.
මෙමගින් නායයැම් අවදානම් කලාපවලට වැටෙන වැස්‌සේ ප්‍රමාණය ඒ මොහොතේම ගණනය කරන්න අපට පුළුවන් වී තිබෙනවා.
අපි දැනට සිදු කරන සියලු පූර්ව අනතුරු ඇඟවීම් සිදු කරන්නේ මෙම දත්තවලට අනුවයි.

වර්ෂාපතනයත් සමඟ දිස්‌ත්‍රික්‌ක අටක නාය යැම් සිදුවිය හැකි බවට අපි අනතුරු ඇඟවීම් සිදු කළේ මෙම දත්තවලට අනුවයි.

ප්‍රශ්නය –

මෙවැනි දත්ත පිරික්‌සීමක්‌ සිදු කළේ නම් අරණායක අදාළ නායයැම සිදුවූ ප්‍රදේශය අවදානම් කලාපයක්‌ ලෙස හඳුනා ගැනීමට නොහැකි වුණේ ඇයි?

පිළිතුර –

ඇත්තටම අරණායක නාය යැම සුවිශේෂී සිද්ධියක්‌. අපි මේ පිළිබඳව තවම පර්යේෂණ සිදු කරනවා.

මේක හරියට සුනාමිය ආවා වගේ වැඩක්‌. විශේෂයෙන් රාත්‍රී කාලයේ නායයැම සක්‍රීය වූ නිසා සිදුවූ විනාශය ප්‍රබලයි.

මේ හේතුව නිසා ප්‍රදේශයේ ජනතාවට පූර්ව අනතුරු ඇඟවීමක්‌ සිදු කරන්න අපට නොහැකි වුණා.
විශේෂයෙන් අරණායක නාය යැම සිදුවුණේ වැස්‌ස අවසන් වී ගෙන යන කාලයේදීයි. මෙවැනි විශේෂ නායයැම් සිදුවිය හැකියි.
නමුත් අපි මෙවැනි ආපදා කළමනාකරණය කළ යුතුයි. ඉදිරියේදී පූර්ව නායයැම් අනතුරු ඇඟවීමේ පද්ධතියක්‌ නාය යැම් සිදුවිය හැකි කලාපවල සවි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය –

මෙම පූර්ව නායයැම් අනතුරු ඇඟවීමේ සංඥ පද්ධතියේ ක්‍රියාවලිය පැහැදිලි කළොත්?

පිළිතුර –

මේ සඳහා අපට ගමේ ජනතාවගේ සහාය අවශ්‍යයි. මොකද ස්‌වාභාවික ආපදාවකදී අනතුර මගහැර යන්න පුළුවන් මාර්ග පද්ධතිය දන්නේ ගමේ මිනිස්‌සු පමණයි.
පරිගණක මොඩලයකින් මේවා කරන්න බැහැ. නායයැම් සිදුවිය හැකි ප්‍රදේශවල පූර්ව නායයැම් සලකුණු හඳුනාගත හැකි උපකරණ සවිකර එම උපකරණ මගින් පසේ තිබෙන ජල ප්‍රමාණය ඉහළයැම, පසේ ඉරිතැළීම්, පස්‌ තට්‌ටුවේ චලනය ආදි දත්ත ස්‌වයංක්‍රීයව පරිගණකයට ලබාගන්න අපිට පුළුවන්.
එම දත්තවලට අනුව නායයැමක්‌ සිදුවේ නම් “සයිරන්” නළා මාර්ගයෙන් ජනතාවට දැනුම් දෙන්න අපිට පුළුවන්.
එවිට ගමේ ජනතාවට අවදානම් කලාප මගහැර යන්න අවස්‌ථාව ලැබෙනවා.
මේ සඳහා පෙරහුරු වැඩසටහන් දියත් කර ජනතාව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
t
සංවාදය – රසී වීරසිංහ (දිවයින)