ජයන්ති කුරුඋතුම්පාලට අගමැතිගෙනුත් සුබපැතුම්

එවරස්ට් කඳු මුදුණෙහි ශ්‍රී ලංකා ධජය එසැවූ ජයන්ති කුරුඋතුම්පාලට ශ්‍රී ලාංකික ජනතාවගේ සුබපැතුම් පිරිනමන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජයන්ති කුරුඋතුම්පාල සමග මෙම අභියෝගය ජයගැනීමට එක්වූ යොහාන් පීරිස්ට ද එම අභියෝගය ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවායිද අග්‍රමාත්‍යවරයා විසින් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එය පහත පරිදිය.

එවරස්ට් කඳු මුදුණෙහි ශ්‍රී ලංකා ධජය එසැවූ ජයන්ති කුරුඋතුම්පාල වෙත අපගේ සුභාශිංසන පිරිනමනු කැමැත්තෙමු.

එවරස්ට් කඳු මුදුන තරණය කිරීම අසීරු හා අභියෝගාත්මක කාර්යයකි. එය කැපවීමේත්, ධෛර්යයේත් සංකලනයකි. දරාගැනීමේ හැකියාව සහ දුෂ්කරතාවන්ට නොබියව මුහුණ දීමේ ශක්තිය පිළිබිඹු කරන කැටපතකි.

මෙම අභියෝගාත්මක කාර්යයට එක්වූ යොහාන් පිරීස් මහතාට ද උපද්‍රවයකින් තොරව එවරස්ට් කඳු මුදුණට ළඟාවීමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

සකල ශ්‍රී ලාංකිකයන් සමග මමත්, මහචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියත් ඔවුන් පළ කළ අභියෝගාත්මක කුසලතාව අගය කරමු.

2016 මැයි 21

io