බුදු ගුණ කියෑවෙන නවගුණ මාල ගොතා ජීවත් වන මිනිස්‌සු

බිස්‌නස්‌ එක හොඳයි
ලාබ ගන්නේ වෙළෙන්දෝ…
වෙළෙඳපොළට චයින මාල ආපු නිසා අපේ මාලවල ඉල්ලුම අඩු වුණා…
ඉස්‌සර පෙරහැර සීසන් එකට මාල විකුණලා
එක දවසට රුපියල් 15000 හොයලා තියෙනවා…
නවග්‍රහ අඵලවලට නවගුණ මාල පළඳන එක හොඳයි…

පුංචි ගෙපැල ඉදිරිපිට පුංචි උන් රොත්තක්‌ සෙල්ලම් බත් උයති. ඊට මඳක්‌ ඈතින් අඹ ගසක සෙවණ යට කාන්තාවක්‌ නව ගුණ මාලයකට ඇට අමුණමින් සිටින්නීය. කෙළි දෙලෙන් සෙල්ලම් කරන පුංචි උන් අසලින් දෙනෙත් ඈත් වීමට අකැමැතිය. බලහත්කාරයෙන් අහකට ගන්නා දෙනෙත් නතර වූයේ තවත් අසල්වැසි නිවසක්‌ පිටුපස දෙඹර ඇට වේළමින් සිටි කාන්තාවක්‌ අසලය. දැන් අප සිටින මේ මණ්‌ඩියේ නිවෙස්‌වල බොහෝa කාන්තාවන්ගේ ස්‌වයං රැකියාව බවට පත්ව ඇත්තේ නව ගුණ මාල ගෙතීමය. මේ ප්‍රදේශයට අප පැමිණීමට හේතු භූත වූයේ ද ‘නව ගුණ මාල’ ගොතන රස්‌සාවේ ගුණ අගුණ විමසා බැලීමටය.

නව ගුණ මාලය බ්‍රාහ්මණ යුගයේ සිට පැවත එන්නක්‌ බව ජනප්‍රවාදයේ සහ ඉතිහාස පොත්පත්වල සඳහන්ව ඇත. හිමාලයේ භාවනා යෝගීව සිටින සෘෂීවරු භාවනා කරන අවස්‌ථාවන්හිදී වාර ගණන ගණනය කිරීමට නව ගුණ මාලය ප්‍රයෝජනයට ගන්නා බව ජනප්‍රවාදයේ කියෑවේ. පිරිත් සCධායානාවලදී ද වාර ගණන ගණනය කිරීමට නව ගුණ මාලය භාවිත කරනු ලැබේ. නවගුණ ශාන්තියට ද නව ගුණ මාලය භාවිත කරන බව කියෑවේ. එමෙන්ම යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම්වලදී එකසිය අට, විසි එක්‌ වර, හත් වර ජීවම් කිරීමේදී නව ගුණ මාලය භාවිත කරනු ලැබේ. ඕනෑම මන්ත්‍රයක බල පිහිටන්නේ (සිද්ධි වන්නේ) එකසිය අට වරක්‌ ජීවම් කළ විටය. නව ගුණ මාලයට ඇට එකසිය අටක්‌ ඇතුළත් කිරීමට ද හේතු සාධකය වී ඇත්තේ යන්ත්‍ර මන්ත්‍රවලට භාවිතයට ගැනීම නිසාය. නවගුණ මාල පැළඳි විට නවග්‍රහ අපල දුරුවන බවට ද මතයක්‌ පවතී. එමෙන්ම නවගුණ මාල පැළඳි විට ශරීරයට ගුණ නවයක්‌ ඇති වන බව ජ්‍යෙdතිෂ්‍ය පොත්පත්වල සඳහන්ය. ජීවම් කරන ලද නවගුණ මාලයක්‌ කරට දා ගත් විට යක්‍ෂ, භූත දෝෂ භංග වී යන බව ද ජ්‍යෙdතිෂ්‍ය මතයකි.

නව ගුණ මාල උපන් රට ඉන්දියාවය. මෙරට නව ගුණ මාල ගොතන රස්‌සාවට ප්‍රසිද්ධ කතරගම නාගහවීදිය, ගෝතමීගම ප්‍රදේශය. කතරගම ප්‍රදේශයෙන් නිෂ්පාදනය වූ මුල්ම මාලය ද නවගුණ මාලයයි. දෙවැන්න කතරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් විසින් ඉන්දියාවෙන් මුතු, පබලු ආනයනය කරමින් නිෂ්පාදනය කළ ‘කතරගම මාලය’ යි. අතීතයේ එම මාලවලට සහ නවගුණ මාලයට විශාල ඉල්ලුමක්‌ තිබිණි. එමෙන්ම එදා කතරගම වන්දනාවේ පැමිණි ලොකු, කුඩා සියලු දෙනා මෙම මාල මිලදී ගත්හ. අදට ද කතරගම ප්‍රදේශවල නවගුණ මාල ගෙතේ. දැන් අප සිටින්නේ ඒ මාල ගොතන හැටි බලාගෙනය.

ඉදිවැල් කම්බියකට දෙඹර ඇට අමුණමින් සිටින කාන්තාව අයේෂා ය. ඇයට අවුරුදු තිහකි. දරුවන් සිව්දෙනෙකි. ඇය අවුරුදු පහළොවක්‌ තිස්‌සේ සිටම නව ගුණ මාල ගොතන්නීය. අත් උදව්කරුවො, ආධාරක කිසිවක්‌ නැත. ඇට භාජනය ඔඩොක්‌කුවේය. එක අතකින් කම්බිය අල්ලාගෙන අනෙක්‌ අතින් ඇට අමුණන්නීය. ඇයගේ ඇඟිලි තුඩු යන්ත්‍ර සූත්‍රවලටත් වඩා වේගවත්ය. ඇස්‌ එහා, මෙහා දිව්ව ද සිත එක තැනකය. හරියට භාවනාවක්‌ වැනිය.

‘කොහොමද මාල බිස්‌නස්‌ එක හොඳ ද…’ අපි ඇයගේ දැහැන බින්දෙමු.

‘වරදක්‌ නෑ. අපි කලා ඇඳලා දරුවන්ට උගන්වන්නේ මේ රස්‌සාවෙන් තමයි…’ ඇට භාජනය පහළින් තබා ඇය අප ඉදිරියේ සිට ගත්තාය.

‘මාලයක්‌ හදන හැටි පැහැදිලිs කරන්න පුළුවන්ද…’ අපි ඇගෙන් ප්‍රශ්න කළෙමු.

මුලින්ම ඉදුණු දෙඹර ඇට එකතු කරලා වංගෙඩියේ දාලා කොටන්න ඕනා. ඇටේ තැලෙන්න නෙමෙයි. මස්‌ ගතිය යන්න. මේ ඇටවල තියෙන මස්‌ ගතිය හරිම සෙවලයි. කොටා ගත්ත ඇට තුන් හතර වතාවක්‌ වැලි දාලා හොඳට හෝදන්න ඕන. නැති නම් සෙවල ගතිය අරින්න බෑ. ඊට පස්‌සේ තමයි ඇට ටික අව්වේ දාලා වේල ගන්න ඕනා. හොඳට වේළුණාට පස්‌සේ ඇට මැදින් විදගන්න ඕනා. ඉස්‌සර අපි ඇට විඳින්න පාවිච්චි කළේ බුරුමේ. මේ ළගදී මැෂින් ආවා. ඇට විඳින තැනුත් තියෙනවා. කිලෝ එකක්‌ විදින්නේ රුපියල් 200 යි. අපිත් මේ මෑතක සමිතියකින් ණයක්‌ අරගෙන ඇට විදින මැෂින් එකක්‌ ගත්තා. රුපියල් 25000 ක්‌ වුණා. දැන් නම් ටිකක්‌ වැඩේ ලේසියි. ඒත් මේ මාලයක්‌ හදන්න ලොකු කාලයක්‌ යනවා. නිදා ගන්න ටික ඇර මුළු දවසම මේ වැඩෙත් එක්‌ක තමයි අපි ඉන්නේ…

‘උදේ පාන්දරින් දාවලටත් එක්‌ක උයා ගන්නවා. ඊට පස්‌සේ ඇට ඇහිඳින්න යනවා. නැති නම් එකතු කර ගත්ත ඇට හෝදලා වේළෙන්න දානවා. දවල්ට කාලා ඇට විඳින්න පටන් ගන්නවා. හවස තුන හතර වෙනකොට රෑට උයන්න ලෑස්‌ති වෙනවා. මාල ගොතන්න පටන් ගන්නේ රෑට කාලා දරුවෝ නිදා ගත්තට පස්‌සේ අටට විතර පටන් අරගෙන දොළහා, එක වෙනකම් මාල ගොතනවා. පැයකට මාල තුනක්‌ වගෙ තමයි ගොතන්න පුළුවන්. සමහර දවස්‌වලට අපි නිදා ගන්නකොට දෙක විතර වෙනවා. දරුවන්ගේ වැඩයි… ගේ දොරෙ වැඩයි එක්‌ක මේ වැඩේ ලේසි නෑ. ඒත් මාල ගෙතුවේ නැති නම් අපිට ජීවත් වෙන්න විදිහක්‌ නෑ. මගේ මහත්තයා කරන්නේ කුලී වැඩ. හැමදාමත් කුලී වැඩ නෑ. කුලියක්‌ තිබුණොත් කරනවා. නැති නම් ගොතපු මාල ටිකක්‌ කඩවලට දලා එදා වේල හරිගස්‌ස ගන්නවා. පොලිසියේ අය අපිට මාලයක්‌ විකුණගන්න දෙන්නෙත් නෑ. මේ මෑතක දවසක මමයි, පුතයි කිරිවෙහෙර පාරේ නව ගුණ මාල විකුණුවා කියලා දෙන්නවම පොලිසියට අරගෙන ගියා. පස්‌සේ පොලිසියේ අයටම දුක හිතිලා උසාවි දාන්නේ නැතිව අවවාද කරලා නිදහස්‌ කළා…’ එක දිගට කතා කළ ඇය සුසුමක්‌ පිට කළ හද සැහැල්ලු කර ගත්තාය.

නවගුණ මාල ගෙතීමට ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ වියළි කාලගුණික ප්‍රදේශවලට ආවේණික වූ දෙඹර ගස්‌වල ඇටය. මෙම ගස්‌වල පල හට ගන්නේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්‌වා කාලය තුළය. පල ඉදෙන කාලයට මේ ප්‍රදේශවල කාන්තාවන්, ළමා ළපටිත් සමඟ දවසේ උදේ වරුව ගත කරන්නේ දෙඹර ගස්‌ යටය. දෙඹර පල වැටෙන සමයට අවුරුද්දටම සෑහෙන්න ඒ කාන්තාවෝ ගෙඩි එකතු කරන්නාහ. කිරිවෙහෙර පිටුපස ඖෂධ උයනේ දෙඹර ගස්‌ බහුලව තිබෙන බව අයේෂා අපට කීවාය. එමෙන්ම ඇය අසල්වැසි නිවසක්‌ පිටුපස දෙඹර ගසක්‌ ද පෙන්නුවේය. කතරගම තොග බඩු වෙළෙඳසල්වල වේළපු දෙඹර ඇට විකිණීමට ද තිබේ. ඇට කිලෝවක්‌ රුපියල් 150 කි. ඇට කිලෝ එකක්‌ මිලට ගත් විට මාල විස්‌සක්‌ ගෙතීමට හැකි බව අයේෂා අපට කීවාය.

පුංචි දරුවන්ට සෙල්ලම් කරන එක අමතක වී ගොස්‌ය. දැන් පුංචි උන් සේරම දේවප්‍රිය අයියාගේ වීඩියෝ කැමරාව ඉදිරියේය.

‘මාමේ මාවත් ෙµdටෝ එකක්‌ ගන්න…’ කොණ්‌ඩ කරල් දෙකක්‌ ගොතපු චූටි එකියක්‌ එසේ කියන්නීය. මුහුණ පුරා විසිරුණු සිනාවට පුංචි කෙලි පොඩිත්තිගේ මුව කමල හරිම හැඩය. අනිත් දරුවන් ද ඇයට කිට්‌ටු වී ඡායාරූපයට පේ වී සිටින්නාහ.

‘චූටි දුව කරදර කරන්නේ නැතිව සෙල්ලම් කරන්න යන්න…’ මුහුණ පුරා සිනා රැල්ලක්‌ ඇඳී යන අතරේ අයේෂා දුවට අවවාද කළාය.

‘මුළු දවසම අපි ගෙවා දාන්නේ මේ වැඩෙත් එක්‌ක. රැස්‌වීමට ගිහින් වාඩි වෙලා ඉන්න වෙලාවටත් මේ ඇට ටිකක්‌ අරගෙන ගිහින් මාලයක්‌ දෙකක්‌ ගොතනවා. රස්‌සාව හොඳයි. ඒත් අපිට වඩා ලාභ ගන්නේ වෙළෙන්දො. තොගයට අපෙන් මාලයක්‌ ගන්නේ රුපියල් 35 ට. අපිම විකුණනවා නම් රුපියල් 75, 100 ට විකුණන්න පුළුවන්. මේ ගොතන මාල විකුණන්න හිතාගෙන ඉන්නේ පෙරහැර කාලෙට. පෙරහැර සීසන් එකට මාල පන්සීයක්‌ තියෙනවා නම් කිසිම කරදරයක්‌ නැතිව රුපියල් 25000 ක්‌ හොයාගන්න පුළුවන්. එක පාරක්‌ පෙරහර සීසන් එකට මම මාල විකුණලා එක දවසට රුපියල් 15000 හොයලා තියෙනවා. වැඩේ ලාබයි. ටිකක්‌ මහන්සි වෙන්න ඕනා. ඒත් ඉතුරුවක්‌ නෑ.

අයේෂාගේ නිවසට යාබද නිවැසියන්ගේ ජීවන වෘත්තිය ද නවගුණ මාල ගෙතීමය. දැන් අප සිටින්නේ ඒ නිවස පිටුපස වියළෙන්නට දමා ඇති දෙඹර ඇට පැදුරක්‌ අසලය. කාන්තාවක්‌ දෑතින්ම ඇට පැඳුර පිරිමදිමින් සිටින්නීය. ඇය පූමලාය.

‘දවස්‌ කීයක්‌ විතර මේ ඇට අව්වේ වේළා ගන්න ඕනද…’ අපි ඇයට කතා කළෙමු.

කොටලා හෝදලා ගත්ත ඇට වතුර හිදෙනකම් අව්වේ දාලා වේළන්න ඕනා. මාල ගෙතුවට පස්‌සෙත් විකුණනකම් සතියකට සැරයක්‌ මාල අව්වේ දාලා වේල ගන්න ඕනා. නැති නම් පුස්‌ බැඳෙනවා. ඇටවල තියෙන වතුර ගතිය යන්න මාසයක්‌ විතර යනවා…’ ඇය දිය හිඳුණු දෙඹර ඇට දෝතක්‌ ගෙන අපට පෙන්නුවාය.

දෑතින් අල්ලා තද කළ ද නොකැඩෙන තරමට දෙඹර ඇටය ඝනකම්ය. හොඳින් වියළුණු පසු ලී කෑල්ලකටත් වඩා ගණකම්ය. හොඳින් වියළුණු දෙඹර ඇට මඩ පාටය. එහෙත් වෙළෙඳපොළේ විවිධ පාටින් නව ගුණ මාල විකිණීමට තිබේ. එහි කුමක්‌ හෝ රහසක්‌ ඇති බව වැටහේ. එහෙයින් අපි ඒ ගැන පූමලාගෙන් විමසා සිටියෙමු.

‘ඇට පාට කරන බෙහෙත් තියෙනවා. බෙහෙත් කඩවල ඒ ඩයි පැකට්‌ තියෙනවා. ඒ ඩයි පැකට්‌ එකක්‌ හොඳට නටපු උණු වතුර භාජනයකට දාලා, මාල ටිකත් වතුර භාජනයකට දාලා හොඳට තම්බලා ගත්තට පස්‌සේ අවුරුදු ගාණක්‌ ගියත් පාට මැකෙන්නේ නෑ…’ පූමලා මාලවල පාටවලට සහතිකයක්‌ දුන්නාය.

අසල්වැසි නිවසේ අයේෂා නව ගුණ මාල ගෙතුවේ ඉදිවැල් කම්බිවලිනි. පූමලා ගොතන්නේ හීන් නයිලෝන් නූල්වලිනි. ඒ ක්‍රම දෙකේ වෙනස දැන් පූමලා අපට පැහැදිලි කරන්නීය.

‘නූල්වලින් ගෙතුවම මාලේ හැඩයි. ෙච්න් පට වගේ කඩා හැළෙනවා. කාලයක්‌ පාවිච්චි කරන්න පුළුවන්. කම්බි මළ කෑවාම කෑලි, කෑලි මූට්‌ටු කරන්නත් ඕනා. මාලයක්‌ විදිහට කඩා හැලෙන්නෙ නෑ. කම්බි මාලයට වඩා මේකට ඉල්ලුම වැඩියි. මිලත් වැඩියි. එහෙත් කමිබියෙන් මාල ගොතන එක පහසු බව අයේෂා අපට කීවාය.

පූමලාට වයස අවුරුදු හතළිස්‌ තුනකි. දරුවන් තිදෙනකුගේ මවකි. එහෙත් දැන් ඇයගේ දරුවන් තිදෙනාම විවාහ වී ඔවුන්ගෙන් වෙන්ව ගොස්‌ය. හුදෙකලා වූ නිවසට වී තම සැමියා සමඟ අල්පේච්ඡ ජීවිතයක්‌ ගත කරන බව ඇය අපට කීවාය. පූමලාගේ උපන්ගම කතරගම නොවේ, මඩකලපුවයි. ත්‍රස්‌තවාදීන්ගේ වෙඩි හඬට බිය වූ පූමලා තම පුංචි දරු පැටවු තිදෙනාව ද තුරුලු කරගෙන කතරගමට පැමිණ තිබුණේ ඇඳිවතෙනි. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ගම්උදා නිවාස යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ටම කියා නිවසක්‌ උරුම විය. එදා සිට ඔවුන්ගේ ජීවන වෘත්තිය වී ඇත්තේ නවගුණ මාල ගෙතීම සහ වෙළෙඳාමය.

පූමලාගෙන් සමුගත් අපි තවත් අසල්වැසි නිවසක නවගුණ මාල ගොතන කාන්තාවක්‌ හමු වීමු. ඇය සිරියාවතීය. වයස අවුරුදු පනස්‌ නවයකි. පිරිමි දරුවන්ම පස්‌දෙනෙකි. සියලු දරුවන් කසාද බැඳ වෙන්වෙලාය. ඇය දැන් අච්චි අම්මා කෙනෙකි. එහෙත් ඇය නම වගේම රූපයෙන් සිරියාවන්තය. කතාව ද සිහින්ය. ඇයට තිබෙන ගැටලුව ඔවුන්ගේ නිෂ්පාදනවලින් ලාබ උපයන්නේ වෙළෙන්දන් වීමය. නිෂ්පාදනය කරන්නේ වෙන එකෙකි. ලාබ උපයන්නේ තවකෙකි. එය නව ගුණ මාල කර්මාන්තයට පමණක්‌ නොව, මෙරට සියලු කර්මාන්තයන්ටම උරුම වූ කරුමයකි.

ලංකාව පුරා විසිරුණු කෝවිල්වලට නවගුණ මාල ගෙන යනු ලබන්නේ කතරගම ප්‍රදේශයෙනි. ලංකාවේ පමණක්‌ නොව කතරගම නිෂ්පාදිත නවගුණ මාල ඉන්දියාවට ද ගෙන යන බව සිරියාවතීලාගේ අදහසය. පූමලා, අයේෂලා, සිරියාවතීලා කියන විදිහට නව ගුණ මාල ගොතන රස්‌සාවේදී හොඳ ආදායමක්‌ ලැබේ. ඔවුන්ගේ දුප්පත් ජීවිත ඉදිරියට ගෙන යන පාද යාත්‍රාව වී ඇත්තේ නව ගුණ මාල විකිණීමෙන් ලැබෙන ආදායමයි. එහෙත් ඔවුන්ගේ පොදු අදහසට අනුව නව ගුණ මාල කර්මාන්තයට කඩා පාත් වූ හෙණය චයිනා මාලය.

මේ වන විට දේශීය විසිතුරු භාණ්‌ඩ වෙළෙඳපොළ පිරී තිබෙන්නේ ඉන්දියාවෙන්, චීනයෙන් ගෙන්වන ලද විසිතුරු බඩුවලින් බව සැබෑය. විවිධාකාර විදේශීය විසිතුරු භාණ්‌ඩවලින් කතරගම කඩ සාප්පු ද පිරී තිබේ. ඒ අතර පෙට්‌ටි කඩවල චයිනා මාල ද සිය ගණනින් එල්ලෙති. නවගුණ මාලයට සමාන ප්ලාස්‌ටික්‌වලින් නිෂ්පාදනය කරනු ලැබූ මාලයක්‌ ද කතරගම පෙට්‌ටි කඩවල එල්ලී තිබේ. ඉන්දියන්, චයිනා මාල වෙළෙඳපොළට පැමිණීමත් සමඟ ‘කතරගම මාලයට සහ නවගුණ මාලයට තිබූ ඉල්ලුම ද තරමක්‌ පහළ වැටී ඇති බව කතරගම විසිතුරු භාණ්‌ඩ ව්‍යාපාරිකයන්ගේ ද මතයයි. දේශීය නවගුණ මාලයට වඩා ආනයනික ප්ලාස්‌ටික්‌ මාලයේ මිල ද අඩුය. නිමැයුම ද අලංකාරය. පාරිභෝගික දෙනෙත් නතර වෙන්නේ ද ඒ ප්ලාස්‌ටික්‌ මාල අතරය. එහෙත් කතරගම නවගුණ මාලයෙන් ලැබෙන ශාන්තිය ඉන්දියාවේ, චීනයේ ප්ලාස්‌ටික්‌ කෑලිවලින් ලබන්නට බැරිය. පිටරටින් එන ඕනම ‘කොඩිවිනයක්‌ බදා ගන්නා අපේ පාරිභෝගිකයන්ට තේරුම් කර දිය යුතු අප්‍රබ්‍රංශය ද ඔය ටිකය.

 

vb
තරංග රත්නවීර
ඡායාරූප – කතරගම කේ. ඩී. දේවප්‍රිය