ජනපතිට උණුසුම් පිළිගැනීමක්

ජී7 සමුළුවට සහභාගී වීම සඳහා ජපානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එරටදී මහත් හරසරින් පිළිගෙන තිබේ.

නගෝයා ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ජපාන විදේශ කටයුතු අමාත්‍ය යෝජි මුතෝ සහ දිස්ත්‍රික් ආණ්ඩුකාර හිදේකි ඔමුරා යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිවරයා පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් සාම්ප්‍රදායනුකූලව පිළිගැනීමේ උත්සවයක් ද නගෝයා හිල්ටන් හිදී පවත්වා ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ද්වීපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

වියට්නාම අග්‍රාමාත්‍යවරයා සමඟ අද පස්වරුවේ ජනාධිපතිවරයා ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට  නියමිත බව සඳහන්ය.

ඉන් අනතුරුව ජපාන විදෙස් වෙළඳ සංවිධානයේ ප්‍රධානී හිරෝයුකි ඉෂිගේ සහ ඔනෝමිචි ඩොක්යාර්ඩ් ආයතනයේ සභාපති ටකාෂි නකාබේ යන මහත්වරුන් සමඟද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර ඇත.

ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ අත්කරගැනීමේ අරමුණින් අදාළ සාකච්ඡා පැවැත්වෙන බව සඳහන්ය.