හරකාගෙන්ම මට්ටු වූ මසට ලොබ බැඳි නරුමයා

ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් අවශ්‍ය වේ. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි…..
පදවිය මහසෙන්පුර නන්දසේන මුනගම මහතා ලියා එවූ කතාවක් මෙසේය….
මේ 50 දශකයේ අග භාගයේ මා සියැසින් දුටු සිදුවීමකි. පවිටු අධම මිනිසෙකු මේ භවයේදී කළ දැවැන්ත අකුසලකර්මවල අත්දුටු  ඵල විපාක තමා කරා පැමිණි ඒ අනුවේදනීය ක්‍රියාදාමයේ සත්‍ය පෙළගැස්මයි.
වසරෙන් වැඩි කලක් ගිම්හානයට හසුව වියළී ගිය පාරිසරික වටපිටාවකින් හෙබි රජරට පෙදෙසෙහි අති දුෂ්කර කර්කෂ සමාජ පසුබිමක දිවි ගෙවූ මොහුට “ඩිංගිරි බණ්ඩා උපාසක” යනුවෙන් ගම්වාසීහු නිතර ආමන්ත්‍රණය කළෝය. සැබැවින්ම මොහු “සතර පෝයටම” ගමේ ආරාමයේ ශීල ව්‍යාපාරයේ ප්‍රමුඛයාය. සුදු වතින් සැරසී ආරාමය වෙත පාන්දරින්ම නික්ම යන හෙතෙම “දැඩි උපශාන්ත ලීලාවෙන් යුතුව” අන් අයට ආදර්ශයක් වන අයුරින් කල් ගෙවූ නිසාම සියල්ලන්ගේම නොමඳ ප්‍රසාදයට පත්විය. මෙසේ වුවද කල් යත්ම මේ පවිටු මිනිසා “දෙබිඩි චරිතයක්” ඇත්තෙකු බව වැටහී ගිය නිසාම ගම්පියසෙහි සියල්ලන්ගේම නිබඳ අප්‍රසාදයටත්, පිළිකුලටත් පාත්‍රවිය. සුදුවත හැඳි මොහුගේ ශීලය සුදු වතට පමණක්ම සීමා වී තිබිණි. වෙසෙසින්ම අප මාතෘකා කොටගත් මේ පාපතර මිනිසා කිසිදු දිනක පාසල් නොගිය නිසාම ලිවීමේ හා කියවීමේ හැකියාව අතිශයින්ම දුර්වල වුවද අන්‍යයන් හට නිතර අවවාද අනුශාසනා කිරීමෙහි දැඩි ගිජුකමක් දැක්වූවකු විය.

21--p-13-rasa-BA
“පරහට ඔවා දෙනු තමා සම්මතෙහි පිහිටා සිට” යන මිල නොකළැකි උපදෙස අනුවණ ඔහුට නොවැටහේ. සමාජයේ ජීවන් වන අනුන්ට බණ දෙසන “මෙවැනි ව්‍යාජ මිනිසුන්” මතුපිටින් සුදු පිරියම් කළ අසූචි බඳුනකට උපමා කළ හැකිය.  ගොවිතැන දිවියේ ප්‍රධාන යැපීමේ මාර්ගය කොටගෙන සිටි හෙතෙම දැඩි ඊර්ෂ්‍යා සහගත මෙන්ම අන්‍යයන්ගේ දියුණුව නොඉවසූ මිනිසකු විය. තවද මේ අධම, කුහක මිනිසාගේ පියා අහිංසක මිනිසුන් හට “හදිහූනියම් කොට” ඔවුන්ගේ දියුණුව අඩාල කොට එම අහිංසක දරු පවුල් විනාශ මුඛයට ඇද දැමීම විනෝදාංශයක් කොටගෙන සිටි වග ප්‍රචලිතය. වෙසෙසින්ම මේ නරුම මිනිසාගේ ඇඹේණිය ද අනාචාරයේ හැසිරෙමින් කේලාම් වපුරා අභූත චෝදනා ගොනු කොට අහිංසක දරු පවුල් අකර්මණ්‍ය කිරීමෙන් ලදුයේ අපමණ තෘප්තියකි. ගම්වාසීහු මේ තැනැත්තිය හැඳින්වූයේ “භද්‍රකාලි” යනුවෙනි. මැය එතරම්ම සැරපරුෂ නපුරු ගති ඇත්තියක වූවාය. තම දරු පවුල පමණක් හොඳින් ජීවත් වූවොත් ඇතිය යන කුහක සිතිවිල්ල මැයගේ චරිතයේ සුවිශේෂී වූ ගති ලක්ෂණය විය. තවද මේ දෙමහල්ලන් අන්‍යයන්ගේ නිවෙස්වලට යනවාට කිසිවෙකු කිසිදු කැමැත්තක් නොදැක්වීය. ගොවිතැනින් දිවි සරිකර ගන්නා මොහු රාත්‍රී කාලයට තම මීගවයන් මුදාහැර අනෙක් ගොවිමහතුන්ගේ වී වගාවන් විනාශ කළ පසු ගවයන් සියලු දෙනා ගව ගාලට ගාල්කොට කිසිවක් නොදන්නා අයුරින් කල් ගත කිරීම පුරුද්දක් කොටගෙන සිටියේය. තවද නපුරු ගතිගුණ වලින් යුතු වූ කිලිටි වූ සිත් ඇති මොහු වරෙක අසල්වැසි පුද්ගලයෙකු සමග ඇතිකරගත් ආරවුලක් දුරදිග ගොස් රෑ කල තම ඥාතියෙකු සමග ගොස් යටකී පුද්ගලයාගේ කුඹුරෙහි ඉදිකර තිබු පැලට ගිනි තබා එහි තිබූ ඇළුමිනියම් වළං ආදිය කැත්තකින් කපා කොටා විනාශ කරන්නට තරම් සැහැසි වෙයි.
දරු දෙදෙනාද මාපිය දෙදෙනාගේ පූර්වාදර්ශය ලබමින් කුහකකමින් ඊර්ෂ්‍යාවෙන් කල් ගෙවූහ. කල්යාමේදී මේ නරුම පුද්ගලයාගේ බිරිය හිටිහැටියේම රෝගී බවට පත්වූවාය. ඇවිද ගැනීමට පවා නොහැකි වූ මැයගේ එක් පාදයක් හා අතක්ද අප්‍රාණික බවට පත්වූ අතර “හකු පිළිකාවකින්”  පීඩා විඳින්නට තරම් අවාසනාවන්තියක වූ ඇය බොහෝ කලක් නිවසේ රෝගාතුරව පසුවී අකාලයේ මරු වසඟයට ගියේ, කේලාම් වපුරා මිනිසුන් භේදභින්න කොට ඊර්ෂ්‍යාවන්තියක ලෙස කල් ගත කළ පාපකර්ම මෙලොව වශයෙන් පලදුන් නිසාම බව නොරහසකි. මේ තැනැත්තිය සමාජයේ කොතරම් පිළිකුලට බඳුන් වී තිබුණාද යත්, අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූයේද අතළොස්සක් තරම් සුළු පිරිසකි. කාලයාගේ ඇවෑමෙන් මෙම නිවසෙහි තවත් අතිශය සංවේගජනක සිදුවීමක් විය. එනම් ගම්මානයේ නිරන්තරව හැසිරෙන කපුටන් සමූහයකගෙන් ගම්මුන්ට මහත් පීඩාවක් විඳින්නට සිදුව තිබුණි. මේ පාපතර මිනිසා කළේ කෘමිනාශක මිශ්‍ර ආහාර කපුටන් හට කන්නට සලස්වා උන් සියලුදෙනාම මරණයට පත්කිරීමය. සංවේදී හදවතක් ඇත්තෙකුට මෙවැනි අපරාධයක් කළ හැකිදැයි මොහොතක් සිතා බැලීම වටී. තවත් දිනක එළදෙනක කුඩා පැටියාද සමගින් සිය ගොවිපළෙහි ගොයම් කමින් සිටිනු දුටු මේ නරුම මිනිසා කැත්තක් ගෙනවිත් එළදෙනට මෙන්ම පැටවාටද පහරදීමෙන් ඉක්බිති වසුපැටවා එකෙනෙහිම මරුමුවට පත්වූ අතර කෙටි කලක් අසරණව පසු වූ යට කී එළගවයා ද අකාලයේ මිය ගියේ මේ නරුමයාගේ කැති පහරට ලක්වූ නිසාය. ගම්මානයේ බොහෝ පිරිසක් මේ තිරශ්චීන මිනිසාගේ “හදිහූනියම්වලින්” පීඩාවට පත්ව පවුල් ජීවිත විනාශවී රෝගපීඩාදියට ගොදුරුව අකාලයේ මිය ගිය බව ඇසීම පවා හද කම්පා කරවන සුලුය. දිවියේ කිසිදු දිනෙක “සිනාසෙන්නට වරම් නොලද” මේ පාපතර මිනිසා ඒ වන විට 50 වන විය ඉක්මවූවා පමණි. ගම්වාසීන්ගේ නිබඳ ගැරහුමටත්, පිළිකුලටත්, අවමානයටත් පාත්‍ර වූ මොහු හිටිවනම අවසිහියෙන් “ඇඟ දනවෝ” යනුවෙන් කෑමොර දෙමින් ඉබාගාතේ දිවයන්නට වූයෙන් දරු දෙදෙනා ආයාසයෙන් යුතුව මොහු කුදලාගෙන විත් ඇඳක තබා අත් පා බැඳ දමා පසු දින බර කරත්තයක ආධාරයෙන් රෝහල වෙත රැගෙන ගියහ. ඔහු පරීක්ෂා කළ වෛද්‍යවරු කියා සිටියේ වැලඳී ඇති රෝගය අනාවරණය කරගත නොහැකි බවකි. ඉනික්බිති නිවස වෙත රැගෙන ආ මොහු කිසිදු අහරක් නොගත් අතර මේ අයුරින් පිපාසයට දිය බිඳක් හෝ නොලබාම පුරා මසක පමණ කාලයක් අනේකවිධ දුක් වේදනාවන්ගෙන් රිදුම් ලබමින් සමාජයේ පිළිකුලට බඳුන් වී අකාලයේම දිවියෙන් සමුගෙන ගියේ, මිනිස් ආත්මයක් ලබා ඉපිද මිනිස්කමටද නිගා දෙමින් කරන ලද මහා පාපකර්මවල අතිශය ඵලවිපාක මේ ආත්මභවයේදීම පලදුන් නිසාය.

 
පාදුක්ක කේ.කේ. පියරත්න මහතා ලියා එවූ කතාවකි.
කඳුකර ගම්පළාතක මීට වසර තිහකට පමණ පෙර ජීවත් වූ ඇක්මන් නමැති පුද්ගලයා ඔහුගේ බිරිය සමග ජීවත් වූ අතර ඔහුගේ ජීවනෝපාය වූයේ හොර සුරා පෙරීම, ඌරන් මසට සෑදීම, ගවයන් මසට සෑදීම සහ කුකුලන් කෙටවීමය.
මොහුගේ හොර සුරා ජාවාරමට ඔහුට සහය වීම සඳහා එම ගමේම ඇඟ වෙහෙසා රැකියාවක් නොකරන තරුණයෝ තුන් හතර දෙනෙක් වූහ.
ඇක්මන්ට දිනපතාම ආහාරයට මස් නැතුවම බැරිය. ඌරන් මරා විකිණීම සඳහා ඔහුගේ කීම පිට ඔහුගේ ගෝලබාලයන් ඌරන්ට පොලු වලින් ගසා මර ළතෝනි දෙද්දී මස් කර වෙළඳාම සඳහා යැවීමට ප්‍රථම ඌරාගේ පෙනහැල්ල ගෙන ඇක්මන් ඉවීම සඳහා ඔහුගේ බිරියට දෙනු ලබයි. ඇය විසින් එම වැංජනය උයා දුන් පසු සුරා පානය කොට ඔහුගේ ගෝලයන් සමග ගිල දමයි.
කුකුලන් කෙටවීම සඳහා ඔහුගේ සහ සහචරයිනුත් සමග අසල්වැසි ගම්මාන වලට යයි. එසේ පොර කෙටවීමට ගෙනයන කුකුලන් පොර කෙටවීම නිසා ඇස් අන්ධ වුවත් තුවාල වුවත් ගෙදර ගෙනවිත් මරාගෙන අනුභව කරයි.
ගමේ නිදැල්ලේ විටෙක ලිහා දමන හරක් නිසා ගොවීන්ගේ කොරටු හා කුඹුරු විනාශ වන අතර එසේ වූ විට ඒ ගැන ගමේ ගොවියෙක් ඇක්මන්ට දැන්වූ විට ගවයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට කම්බි ගසා කොටුකර ගන්නා ලෙස කියමින් ඇක්මන් ගම්මුන්ට බැණවදී. ඇක්මන් හරක් මැරීම සඳහා හරක් මස් කඩයට විකුණූ පසුව පසු දින උදෙන්ම මස් කඩයට යයි.
එසේ ගොස් හරකාගේ පෙණහැල්ල රැගෙන විත් ඔහුගේ භාර්යාවට දී උයා ඔහුගේ සහචරයිනුත් සමග සුරාපානයේ යෙදෙමින් මාංශ රස විඳියි.
මෙසේ කාලය ගතකරන අතර අධික වර්ෂාව සහිත සැන්දෑවක හරක් ගෙදර ගෙන ඒම සඳහා ඇක්මන් කුඹුර ඉස්මත්තේ ඇති පිල්ලෑවට ගිය අතර ඔහු විසින් එම ගොන්නාම්බා ගසෙන් ලෙහා වෙරි මතත් සමග කඹෙන් ගොනාට වැරෙන් පහර දෙන ලදී.
මෙයින් කෝප වූ ගොන්නාම්බා ඇක්මන්ට බිම පෙරළා අනින්නට වූ අතර එවෙලෙහි ඔහු බේරාගැනීමට කිසිවෙක් නොවූහ. ඔහුගේ බොකු බඩවැල් ශරීරයෙන් එළියට මතු වී තිබුණි. ඔහු රෝහලකටවත් ගෙනයාමට නොහැකි වන සේ ඔහුගේ ප්‍රාණය නිරුද්ධ වී තිබුණි. එම ගමේ වැඩිහිටියෝ ඔහු කළ දේ ඔහුටම පලදුන් බව කීය.

 
අලව්වේ සේනාරත්න ගම්ලත් මහතා ලියා එවූ කතාවක් මෙසේය
එකල මෙකල මෙන් නොව බඩු බාහිරාදිය ප්‍රවාහනය එතරම් පහසු නොවීය. ගැමියෝ ගොනුන් බැඳි කරත්ත උපයෝගී කරගෙන බඩු එහා මෙහා ගෙන ගියහ. ඒ නිසා එකල ගොං බැඳි කරත්ත බහුල විය.
ගමක කරත්තකරුවෙක් හෝ දෙදෙනෙක් අනිවාර්යයෙන්ම සිටියහ. පොල්, පුවක්, වී , පොල් අතු, ලී දඬු, දර, වැලි, ගල් සහ පස් මෙසේ ප්‍රවාහනය කළ සමහරකි.
ලෙඩුන් පවා රෝහල් වෙත ගෙන ගියේ කරත්ත වලිනි.
එක්තරා කරත්තකරුවෙක් ගැමියන්ගේ අවශ්‍යතා මත කුලියට බඩු ප්‍රවාහනය කර දෙයි. මේ කරත්තකරුවා ඇතැම් විට ගොනාට ඉහිලිය නොහැකි බර පටවා යන අවස්ථාද එමටය.
ගොනා කඳු පල්ලම් පසු කරමින් සෙම දාගෙන බැරි බර ඇද දුන් වාර බොහෝය.
වැඩි බර අදින්නට බැරි තැන ගොනා නවතියි. කරත්තකරුවා තමාට ජීවත්වීමට හරිහම්බ කර දෙන සතා කියාවත් අනුකම්පාවක් නොකර කෙවිටට වඩා බලගතු පත්තු කරන ලද හුළු අත්තක් ගොනාගේ බඩ යටින් අල්ල අල්ලා ගොනා දක්කයි. ගොනාද බැරි බර රැගෙන ගිනි සැර විඳිමින් දණ ගසා ඉදිරියට පනියි. ටික කලකින් ගොනා මිය ගියේය.
මෙසේ ගොනුන්ට දුක් දිදී බර ඇද්දවූ ගැල්කරුවාට අසනීපයක් සෑදී අබල දුබල තත්ත්වයට පත්විය. ශරීරයට ඉහිලිය නොහැකි තරම් අධික සීතලකින් වෙව්ලමින් ගැහෙන්නට විය. තනිවම ජීවත් වූ මොහු ගිනිමැලයක් ගසා සීත තපිමින් සිටින විට නින්ද ගියේ ඉබේටමය.
ගැල්කරුවා නින්දෙන්ම එම ගිනිමැලයට වැටී දැඩි ලෙස පිලිස්සී දුක් විඳ මියැදුණේ යැයි දැනට දසක පහකට පමණ පෙර සීයා කෙනෙකු විසින් කියන ලද කථාව මෙලොවදීම පව් පලදුන් සත්‍ය සිද්ධියකි.

n