රාවණා භාෂාව තවමත් අප අතරද?

දැනට අහිගුණ්ඨිකයන් අතර ඇත්තේ රාවණා බසද?

ශ්‍රී ලංකාවේ අනාදිමත් කාලයක පැවැති හෙළ යුගයක් පිළිබඳව සහ ඒ කාලයේ මෙහි රජකම් කළ මහත් බලවත් තෙදවත් රාවණා නම් මහනරපතියකු පිළිබඳ ප්‍රබල කතිකාවක් මේ කාලයේ සමාජ කරළියට පැමිණ තිබේ. ඇතැමුන් මෙම හෙළබස වර්තමාන සිංහල භාෂාව ලෙස හඳුන්වන්නේ හෙළය සහ සිංහලය එකම භාෂාවක් ලෙස පිළිගැනීමට ඇති හැකියාවට වඩා නොහැකියාව ඉහළ මට්ටමක පවතී. ඒ කෙසේ හෝ  විජයාවතරණයට පෙර මෙරට උසස් ශිෂ්ටාචාරයක් සහ සභ්‍යත්වයක් පැවැති බවට මානව විද්‍යාත්මක සාක්ෂි බොහොමයකි.
මේ අතර රාවණා රජුගේ මෘත ශරීරය තවමත් නිරුපද්‍රිතව ඇතැයි යන ජනවිශ්වාසයක් මේ දිනවල සමාජය පුරා පැතිර යමින් පවතී. යමකුගේ මෘත ශරීරයක් ඉතිරිව තිබිමට නම් ඒ තැනැත්තා කිනම් කාලයක මේ මිහිපිට ජීවත් වූවකු විය යුතු ද?
අප සාමාන්‍ය ජනසමාජයේ පවත්නා ‍පොදු පිළිගැනීම වනුයේ ද රාවණා එක්තරා අනාදිමත් යුගයක අප රටේ ජීවත් වූ මහා බලගතු නරපතියකු බව ය.
රාජාවලියේ සඳහන් අන්දමට රාමායනයෙහි දැක්වෙන රාම – රාවණා යුද්ධය සිදුවී ඇත්තේ බුද්ධ වර්ෂයට පෙර 1844දී ය. එනම් සම්මත වර්ෂ ක්‍රමය අනුව මීට වසර 4403කට ඉහතදීය. රාවණාගේ මෘත ශරීරය වෛදික චාරිත්‍ර අනුව ගින්නෙන් දවන ලද මුත් භීතියට පත් පවන විසින් එම මෘත දේහය මනාකොට නොදවන ලද බවත් ජානකීහරණයෙහි සඳහන් වෙයි.
මහාවංශය ඇතුළු බොහෝ ඓතිහාසික මූලශ්‍රවලට අනුව ශ්‍රී ලංකාව ප්‍රථම වරට මනුෂ්‍ය වාසයක් ලෙස ශිෂ්ටාචාර ගතවනුයේ ආර්යසම්භවයකින් යුතු බව පැවසෙන විජය කුමරුගේ පැමිණීමත් සමගය. ඊට ප්‍රථම ලංකාවේ වාසය කළෝ යක්ෂයෝය. එහෙත්, පූර්ව ඓතිහාසික යුගයේ සිට ශ්‍රී ලංකාව තුළ දියුණු ශිෂ්ටාචාරගත සමාජයක් පැවැති බව තහවුරු කෙරෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි කොතෙකුත් මේ වනවිටත් ලැබෙමින් තිබේ.
තමන් උසස් බවින් යුතු ශිෂ්ටාචාර ගත ජනකොටසක් ලෙසත්, ආර්යයන් නොවන අනාර්යයන් කිසිදු ශිෂ්ටබවක් නොමැති ම්‍ලේච්ඡ වනචාරීන් ලෙසත් ආර්යයන් විසින් තමන් හඳුන්වා ගැනීම නිසැක ලෙසම අන්තගාමීත්වයකි. ඒ අනුව හුදෙක් ආර්යවාදී චින්තනයක පිහිටා කටයුතු කළ අපගේ සාම්ප්‍රදායික වංශකතාකරුවන්ට නොපෙනුණු හෝ ඔවුන් විසින් නොතකා හරින ලද ලක් ඉතිහාසයක් පිළිබඳව විමසීමට අප සමාජයේ විද්වත් පිරිස් නොයෙක්වර උත්සාහ කළහ.
අප රටේ විසූ භාෂා ශාස්ත්‍ර සම්බන්ධ ශ්‍රේෂ්ඨතම ප¾ඩිරුවනක වන කුමාරතුංග මුනිදාසයන්ගේ ප්‍රධානත්වයෙන් 1941 වසරේ ජනවාරි 11 දා පිහිටුවා ගැනුණු ‘හෙළ හවුල’ විසින් ඒ යටගිය අතීතය ඉස්මතු කිරීමට මුල් පියවර තබන ලදී. එය මෑත ඉතිහාසය තුළ ගත් ප්‍රශස්ථ අයෝමය පියවරකි. දෙස, බස, රැස නොඑසේ නම් රට, ජාතිය, ආගම තෙරුවනක් සේ සලකමින් එහි අභිවෘද්ධිය පිණිස දැවැන්ත සමාජමය මෙහෙවරක් කළ එහි, මතුපිටින් දක්නට නොමැති වුවද අභ්‍යන්තරික වශයෙන් ඉතා පැහැදිලි අධිරාජ්‍ය විරෝධී මුහුණුවරක් හෙළ හවුල තුළ ගැබ්වී තිබිණ.
කුමාරතුංග මුනිදාස සූරීන්ගේ ප්‍රමුඛතම සිසුවකු වූ ජයන්ත වීරසේකරයන් විසින් යොදන ලද ‘හෙළ හවුල’ යන නම යටතේ මෙම සමාජ ව්‍යාපාරය කෙතරම් ප්‍රබලත්වයට පත්ව තිබිණි  යත් එවක තරුණ පෙළ තමන් ‘හෙළයකු’ බව කීයේ සිංහලයකු යැයි කියනවාට වඩා අභිමානයකිනි.
මෙහිදී කුමාරතුංග මුනිදාසයන් සිංහලයට වඩා පැරණි ‘හෙළ බසක්’ පිළිබඳව ජනතාවට කරුණු කීමට ඉදිරිපත් කරගනුයේ ප්‍රබල වාග් විද්‍යාත්මක තර්කයකි. ඒ අනුව සිංහල භාෂාව ගොඩනැගී ඇත්තේ හුදෙක් ප්‍රාකෘත, පාලි, සංස්කෘත පදනම් කොටගත් ඉන්දු ආර්ය භාෂා සහ දකුණු ඉන්දීය අනාර්ය ද්‍රවිඩ භාෂා ඇසුරින්ය යන ‍පොදු සම්මතය ‘හෙළ හවු‍ලේ’ විද්වත්හු පිළිනොගත්හ. එසේ නම් සිංහල භාෂාවේ එන ඇපය, ඔළුව, කකුල, කට, කලව, කෑල්ල, තොල, පැදුර, ‍පොත්ත, බඩ, ළිඳ, ළිප, විලුඹ ආදී වදන්වල භාරතීය සම්භවය දක්වන මෙන් ප්‍රතිවාදී මතධාරීන් හමුවේ ඔවුහු තර්ක කළහ. ඒ අනුව ඔවුහු වැඩිදුරටත් තර්ක කරන ලද්දේ නූතන සිංහල බස සඳහා හින්දු ආර්ය සහ ද්‍රවිඩ අනාර්ය භාෂාවලටත් වඩා පැරණි ඉහත සඳහන් වදන් සහිත අතීත හෙළ බස දායකවී ඇති බවකි.
සැබැවින්ම නිරතුරුවම තමන් පමණක් උතුම් ශ්‍රේෂ්ට ජාතියක් වශයෙන් හඳුන්වා ගන්නා ලද ආර්යයන්ටත් වඩා ප්‍රබල දියුණු සංස්කෘතියක් සහ ශිෂ්ටාචාරයක් අප සතුව පැවැති බවටත් එය ‘හෙළ’ නමින් හඳුන්වන ලද බවටත් කුමාරතුංග මුනිදාසයන් ප්‍රමුඛ හෙළ හවු‍ලේ විද්වතුන් ඉදිරිපත් කළ මතවාදය එකල සමාජයේ උගත්, බුද්ධිමත් බොහෝ දෙනෙකුගේ ගෞරවාදරයට ලක්ව තිබිණ.
ඒ කෙසේ හෝ මහා ප¾ඩිරුවන් විසින් රාවණා චරිතය ද සහිත මෙම හෙළ යුගය පිළිබඳ මතවාදය ඉදිරිපත් කරන ලද්දේ හුදෙක් භාෂාත්මක සහ මානව විද්‍යාත්මක කරුණු මුල්කර ගනිමින් මිස ඉතිහාසය සහ පුරාවිද්‍යා යන විෂයන් පදනම් කරගනිමින් නොවේ. එය තවදුරටත් ගවේෂණය කළ හැකි සහ කළ යුතු මාතෘකාවකි.
මේ අතර අතීතයේ මෙහි පැවැති හෙළබස ආර්ය භාෂාවක් වූ බවට සහ එසේ නොවූ බවට දෙපාර්ශ්වයකින් අති ප්‍රබල තර්ක මතුවෙමින් තිබේ. වෛද්‍ය ශාස්ත්‍රයෙහි සහ සංගීතයෙහි නිපුණ රාවණා රජු විසින් ‘අර්ක ප්‍රකාශම්’ නමැති වෛද්‍ය ග්‍රන්ථයක් සහ තවත් සංස්කෘත ග්‍රන්ථ රාශියක් ලියා තිබූ බව පැවැසීමෙන් ඔහු සහ ආර්ය වර්ගයා සමග ඇති ඥාතීත්වය මනාව හෙළිවෙයි.
එමෙන්ම රාවණාගේ පරපුර පිළිබඳව සඳහන් බොහෝ තැන්වල ද ඔහු සහ ආර්ය සමාජය අතර පවතින ඥාතීත්වයක් පිළිබඳව විස්තර කොට තිබේ. සාමාන්‍ය ‍පොදු පිළිගැනීමට අනුව රාවණ පුලතිසි සෘෂීන්ගේ පුතෙකි. මහා බ්‍රහ්මයාගේ කල්පිත පුත්‍රයකු වන පුලතිසි ආර්ය සම්භවයකට අයත්ය. බොහෝ තැන්වල සඳහන් අන්දමට රාවණාට අසුර සම්භවයක් හිමිවනුයේ මව පාර්ශ්වයෙනි. එහි සඳහන් වන අන්දමට ඔහුගේ මව සුමාලි නම් අසුරයාගේ දියණිය වන නිකාශා ය.
මේ අතර විජයාවතරණයට පෙර ද මෙහි පැවැතියේ හුදෙක් ද්‍රවිඩ සම්භවයේ භාෂාවක් බවට වූ මුදලිඳු රාසනායගම් පඬිවරයා 1926 වසරේදී තම ආදී යාපනය (Ancient Jaffna)  කෘතිය මගින් මතු කළ තර්කය එකල මහත් ආන්දෝලනයට ලක්විය. ඊට එරෙහිව පසුකලෙක විවිධ පඬිවරුන් විසින් ප්‍රතිතර්ක ඉදිරිපත් කරන ලදී. ඒ අතර විජයාවතරණයට පෙර මෙහි පැවැතියේ අනාර්ය සම්භවයට වත්මන් සිංහලයේම පුර්වගාමී අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි ආර්ය බසක් බවට විසිවන සියවසේ මුල්භාගයේ මෙරට විසූ ප්‍රකට මානව විද්‍යා සහ භාෂා විශාරද ප¾ඩිවරයකු වන ගරු තියඩෝර් ජේ. පෙරේරා උන්නාන්සේ (පියතුමා) ගෙන හැර දැක්වූ ප්‍රබල තර්කය නූතන සමාජයෙන් යටපත්ව ගොසිනි.
එහෙත් එතරම් සම්භාව්‍ය මූලාශ්‍රයක් සේ නොසැලකෙන සුළු රාජාවලියේ දැක්වෙන අන්දමට රාවණාගේ භාෂාව වී ඇත්තේ තෙලිඟුය. ඉතා පැහැදිලි ලෙසම තෙලිඟු අනාර්ය භාෂා ගොන්නට අයත් ද්‍රවිඩ භාෂා පවුලට අයත් වන්නකි.
කිසියම් සංකර ස්වරූපයකින් හෝ තෙලිඟු බසට හුරු භාෂාවක් භාවිත කරන ගෝත්‍රික ජනතාවක් අප රටේ තවමත් දිවිගෙවති. එනම් පිරිමින් නාගයන් සහ රිලවුන් නැටවීමෙන් සහ කාන්තාවන් ශාස්ත්‍ර කිරීමෙන් ජීවනෝපාය රැකගන්නා අහිගුණ්ඨික ගෝත්‍රයයි. ඒ අනුව සුළු රාජාවලි මූලාශ්‍රයේ සඳහන් වන ප්‍රවෘත්තිය සත්‍ය නම් රාවණාගේ භාෂාව අද වන විට අහිගුණ්ඨික ජනයා අතට පත්ව ඇතැයි ද එක් අතකින් සිතීමට පුළුවන.
(සංවාදයට විවෘතයි)

21

(තිලක් සේනාසිංහ)