ලෝක මහා පුදුම අලුතෙන් බිහි නොවන්නේ ඇයි?

අප සිතා සිටින්නේ අප ජීවත් වන්නේ තාක්ෂණය දිනපතා දියුණු වන යුගයක බවයි. අප අතීතයට වඩා බොහෝ දියුණු වී ඇතැයි උදම් අනති. නමුත් ඉතිහාසය පෙන්වන්නේ අප අදට වඩා සශ්‍රීක විද්‍යාත්මක දියුණුවක මෙයට සියවස් ගණනකට පෙර ජීවත් වූ බවයි. මේ බව සනාථ කරන සාක්ෂි අපේ රටේ ඉතිහාසයේ අපමණ සොයාගත හැකිය. පරාක්‍රම සමුද්‍රය, සීගිරිය, අවුකන, ලෝවාමහාපාය, රුවන්වැලි සෑය, ආදී පුදුම උපදවන නිපදවන නිර්මාණ කෙතරම් තාක්ෂණ දියුණුවක ජීවත් වුවද වර්තමානයේදී පහසුවෙන් නිපදවීමට හැකි වී නැත. ලෝක ඉතිහාසයේ ලොව මහා පුදුම, ඊජිප්තුවේ පිරමීඩ ආදිය නැවත ලොව බිහිවන්නේ නැත. එසේ නම් නව ලොව විද්‍යාත්මක සහ තාක්ෂණික දියුණුව ගැන පවසන අපට එතරම්ම උදම් ඇනිය හැකි දැයි සාධාරණ සැකයක් මතුවෙයි.
මානව ඉතිහාසය පුරා එවැනි උදාහරණ රැසක් සොයා ගත හැකිය. අතීතයේදී එනම් 15 වන සියවසේදී චීන නාවුක හමුදාව සතු වූ ඇතැම් යාත්‍රා වර්තමානයේදී පවතින අති විශාල ගුවන් යානාවලටද වඩා විශාලත්වයක් දරා ඇත. කාලය ගතවීම සමග එම අපූර්ව තාක්ෂණය චීනයෙන් වියැකී ගොස් ඇත. 18 වන සියවසෙදී පමණ රෝමයේ ‍පොම්පෙයි නුවර ආශ්‍රිත කැනීම්වලදීද හෙළි වී ඇත්තේ අප අද භුක්ති විඳිනවාට වඩා දියුණු ශිෂ්ටාචාරයක් අතීතයේදී පැවැති බවයි.
ඊජිප්තු පිරමීඩවල ඉදිකිරීම් රහස් අදටද හෙළි වී නැත. දකුණු අප්‍රිකාව ආශ්‍රිත අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මීට වසර 60000 පමණ පෙරදී ද අදට වඩා දියුණු ආයුධ භාවිතා කර ඇති බවය. එහෙත් එම කාල වකවානුව ගත වු පසුව සංකීර්ණ ආයුධවලින් සරල ආයුධ නිපදවීම ආරම්භ වෙයි. එයට හේතුව මතෛක් පැහැදිලි නැත.
අප සාමාන්‍යයෙන් විශ්වාස කරනුයේ ගල් යුගයේ සිට වර්තමානය දක්වා තාක්ෂණික විප්ලවය සාමාන්‍ය වේගයෙන් සිදුවී  ඉන්පසුව වර්තමානය වන විට එය ඉතා වේගයෙන් සිදුවන බවයි. මේ අනුව පෙනෙන්නේ අපට වඩා හොඳ නිර්මාණ රැසක් අතහැර දමා නව සරල නිර්මාණ වෙතට යොමු වී ඇති බවයි.
වර්තමානය වන විට විද්‍යාව සහ තාක්ෂණයේ දියුණුව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කාලගුණ වෙනස් වීම්, ජනගහනය ඉහළ යාම, නව ආසාධිත රෝග පාලනය, ආදිය කෙරෙහිය. විද්‍යාව සහ තාක්ෂණය දියුණු වුවද, මෙය අප බලා‍පොරොත්තු වන වඩා දියුණු තලයකට මුවහත් කිරීමක් සිදු වන්නේ නැත.
කෙසේ වුවත් මානව ඉතිහාසය පුරා තාක්ෂණය සියුම් ලෙස විකසනය වූ අන්දම අධ්‍යයනය ඉතා වැදගත්ය. මෙමගින් තාක්ෂණ දියුණුව මිනිසාට ලබා දුන් දායාදය හා ලබා නොදුන් දායාද ගැන අවබෝධයක් ලැබෙයි. එසේම විද්‍යාත්මක දියුණුව වර්තමානයේ සිට අනාගතය දක්වා විකසනය වන ආකාරයත් ගැන අවබෝධයක් ලබා ගත හැකිය.
මානව පරිණාමයේ දියුණුවේ ගමන් මග සොයා ගැනීමේ දී මතු වන ප්‍රධාන ගැටළුව ගල් යුගයේ මානවයා ඉතා අඩු නිර්මාණශීලීත්වයක් ඇති සංකීර්ණතාවයෙන් අඩු ආයුධය ප්‍රමාණයක් ගොඩනැගුවේ ඇයිද යන්නයි. දැනට සොයාගෙන ඇතත් එපැරණිම ගල් ආයුධයද මෙයට වසර මිලියන 2.6 ක් පමණ වන අතර, මෙය වර්තමාන ඉතියෝපියාව ආශ්‍රිතව සොයාගෙන ඇත.
අමු ද්‍රව්‍ය පිරිසිදු කිරීම් කාර්යය ආරම්භ කරන ලද්දේ මෙම යුගයේදීය. මෙය වඩා සාර්ථක තත්ත්වයට පත් වූයේ තවත් වසර මිලියන 02ක් පමණ ගත වූ පසුවය. අත් ‍පොරව බිහිවූයේ එම යුගයේදීය. මේ අන්දමට මිනිස් ඉතිහාසය ආරම්භයේදී ඉතාම මන්දගාමී ලෙස තාක්ෂණ විප්ලවය සිදුවූයේ මිනිසාගේ මානසික හැකියාවන්ද මෙම යුගයේදී අවම මට්ටමක පැවැති නිසා බව විද්‍යාඥ මතයයි.
එහෙත් පරිණාමය ඉදිරියට සිදුවීමේදී පරම්පරාවෙන් පරම්පරාවට පැවැති ඉගෙන ගැනීමට ඇති අවස්ථා අහිමි වූ නිසා අලුත් පරම්පරාවට පෙර පරම්පරාවේ දැනුම නොමැතිව, අලුතින් ඉගෙනගෙන නිර්මාණයන් සිදුකිරීමට සිදු විය. මෙහි ප්‍රතිඵලය පරම්පරාවෙන් පරම්පරාවට ගති ලක්ෂණ මිශ්‍ර වූ සංස්කෘතියක් (Cumulative culture). අලුත් පරම්පරාවට අහිමි වීමය. මිනිසා සහ අනෙක් ප්‍රයිමේටාවන්ගෙන් වෙනස් වන ප්‍රධාන ආකාරය මේ ආකාරයට සංස්කෘතික සම්මිශ්‍රණයක් සිදු විය යුතු වීමයි. එහෙත් ක්‍රමානුකූලව පරිණාමය සිදු වී ගෙන යන විට මෙම සංස්කෘතික සම්මිශ්‍රණය සිදු වීම ගිලිහී ගොස් ඇත.
එහි ප්‍රතිඵලය ලෙස අද පවතින අස්ථාවර නව නිර්මාණ බිහි නොවන ශිෂ්ටාචාරය ඇති වී ඇත.
ෙජෙව පරිණාමය සිදුවන්නේ ජාන පදනම්වල සිදුවන විවිධ විකෘතිතා නිසාය. නව නිර්මාණ බිහිවන්නේද ඒ අන්දමටය. ඕනෑ කමින් හෝ වරදක් නිවැරදි කිරීමට උත්සාහ දැරීම නව නිර්මාණයකට මග පාදයි. එහෙත් ඇතැම් නිර්මාණ සිතූ සිතූ පරිදි වෙනස් කළ නොහැක. නිදසුනක් වශයෙන් අත් ‍පොරව පෙන්වා දිය හැකිය. අත් ‍පොරවෙන් සිදු කරන කාර්යයන් සාර්ථකව එය ඉටු කරන තුරු එහි හැඩය එකවර වෙනස් කිරීමට කිසිවකුට හෝ අවශ්‍ය නැත.
ගල් යුගය තුළදී නිර්මාණශීලීතාව වඩා ඉස්මතු නොවිමට හේතුද විද්‍යාඥයෝ පෙන්වා දෙති. ගල් යුගයේ මීට වසර මිලියන 02 කට පෙර ජීවත් වූ වැසියන් තැනින් තැනට ගමන් කරන (Itinerant family) දඩයම් කරන මිනිසුන් වූහ. එහේත මෙහි එක් කණ්ඩායමක වාසය කරනු ලැබුවේ 20-40 අතර මිනිසුන් ප්‍රමාණයකි. මෙයට කුඩා දරුවන් ද එකතු වූහ. මේ අන්දමට කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වීම නිසා ඉතා සුළු අවස්ථාවක දී ඔවුන් වඳවි යාමේ අවදානමක් දැරීය.විශේෂයෙන් මෙවැනි කණ්ඩායමක ප්‍රධාන දඩයක්කරු අසනීප වීම හෝ තුවාල වීම හෝ පාරිසරික තත්ත්වයන් වෙනස්වීම මත කුඩා කණ්ඩායම් වඳවී යාම වේගවත් වෙයි. මේ නිසා මෙවැනි කුඩා කණ්ඩායම් ඉක්මණින්ම වඳ වූ වේගය ඔවුන් නිර්මාණය කළ ආයුධය ද වඳ වී අභාවයට යන්නට ඇත.
තාක්ෂණ දියුණුවෙහි ආරම්භය කල් යුගයේ දී සිදුවුවද ඒ සමගම ඊළඟ අවස්ථාවේ දී මෙය අභාවයට යැමද සිදු වී ඇත. ගල් යුගයේ දී නව ආකාරයේ ආයුධ බිහිවීමත් සිදුවූයේ නම් ඒ සඳහා සාක්ෂි ලබා ගන්නේ කොතනින් දැඩි විමසිය යුතුව ඇත. පුරා විද්‍යාත්මක වශයෙන් මේ සඳහා ස්ථිර පැහැදිලි සාක්ෂි ලබා ගැනීමට දුෂ්කරය. උතුරු ඇමෙරිකාව ආශ්‍රිතව සිදු කළ අධ්‍යයනයකට අනුව ඵඵඵමීට වසර 10000 වඩා පැරණි ආයුධ, කළ ගෙඩි හා අනෙක් කොටස් හමු වී ඇත.
දියුණු තාක්ෂණයක් ඇති වී නැති වී යාමට විවිධ හේතුන් බලපානු ලැබේ. නිදසුනක් වශයෙන් ඕස්ට්‍රේලියානු තස්මේනියන් දූපත දැක්විය හැකිය. මීට වසර 12000 පෙර මුහුදු මට්ටම ඉහළ යාම සහ උෂ්ණත්වයේ ඉහළ යාම හමුවේ. තස්මේනියාව ඕස්ට්‍රේලියානු ප්‍රධාන මහද්වීපයෙන් වෙන්විය. මේ නිසා තස්මේනියානු වැසියෝ තම දූපතට සීමා වූහ. එම කාලයේදී ඔවුහු උණුසුමට ඔරොත්තු දෙන ඇඳුම්, මාළු දැල්. බුමරංග, හෙල්ලය ආදිය නිපදවනු ලැබූහ. නමුත් පසුකාලීනව යුරෝපා ජාතිකයින් තස්මේනියාවට පැමිණෙන විට මේ සියල්ල නැති වී ගොස් තිබුණි. එහිදී තස්මේනියානු වැසියන් ඉතා සරල ආයුධ භාවිතා කරමින් සිට ඇත. අඩු ජනගහන ඝනත්වය සහ බාහිර පරිසරය සමග වූ සබඳතාව අඩුවීම මෙසේ දියුණු තාක්ෂණය අහිමි වීම ප්‍රධාන හේතුව වී ඇත.
කෙසේ වුවද මේ අන්දමට දියුණු තාක්ෂණ ඇතිවී නැතිවීමට බලපාන ලද තවත් හේතු කිහිපයක් හඳුනාගෙන ඇත. වෙළෙඳ ‍පොළ බලපෑම, සමාජ සාධක, හෝ දේශපාලන බලපෑම්ද මේ කෙරෙහි බලපා ඇත. ඇතැම් තාක්ෂණික මෙවලම් නව අත්හදා බැලීම්වලට ලක් නොවෙයි. මෙයට හේතුව ඒ සඳහා වන වියදම ඉහළ යාමයි. ජනතාව දැනට භාවිතා කරන ඇතැම් මෙවලම් ඒවායේ සුළු සුළු අඩුපාඩු පැවැතියද එකවර ඉවත දැමීමට ජනතාව අකමැතිය. කෙතරම් නවීනතම විදුලි ස්ත්‍රික්ක වර්ග පැවැතියද ඇතැමුන් තවමත් කැමැති අඟුරු ස්ත්‍රික්කයටය.
වර්තමානයේ දී අප තවමත් අපේ පාසල්වලදී ඉගෙන ගන්නේ මීට සියවස් හතරකට පමණ පෙර කාලයේදී සොයාගත් විවිධ න්‍යායන්, නියමයන්, ප්‍රමේයන් ආදියයි. එනම් අලුතින් විවිධ ගණිත හෝ විද්‍යාත්මක නියමයන් බිහි නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ යුතුව ඇත. මෙයට කදිම නිදසුනක් නොබෙල් ත්‍යාගය ආශ්‍රිතව පෙන්වා දී ඇත.1900 සියවස වන විට නොබෙල් ත්‍යාගය දිනූ බොහෝ දෙනෙකු වයස අවුරුදු 32 පමණ වූ අතර 2000 වන විට ත්‍යාගය දිනා ගන්නා අයගේ වයස අවුරුදු 38 පමණ වී ඇත. එසේම ගෙවුන වසර 100 කාල පරිච්ජේදයේදී නව නිර්මාණ බිහිවීමද කැපී පෙනෙන ලෙස අඩු වී ඇත.
තාක්ෂණය කෙතරම් දියුණු වුවද අදාළ ක්ෂේත්‍රයේ පසු වන්නන්ගේ ඒ සම්බන්ධ විෂයානුකූල දැනුම අඩුවීමද සීඝ්‍රයෙන් සිදුව තිබේ. නිදසුනක් වශයෙන් නවීනතම මෝටර් රථ කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණයකුට හැකිවන්නේ තමන්ට පැවරුණ එකලස් කිරීමේ කාර්යය මිස මෝටර් රථයක්ම නිපදවීම නොවේ. මෝටර් රථ නිපදවන බොහෝ දෙනෙකුට එහි ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක්ද නැත. එම නිසා විද්‍යාව දියුණුයයි ඒ පසුපස යෑම වෙනුවට නව ලොවක් ගැන සිතීමට බොහෝ දේ ඉතිරිව තිබෙයි. අප තවමත් පටන් ගත් තැනම බව සිතෙන්නේ එවිටය.

43
(නිව් සයන්ටිස්ට් ඇසුරෙනි)

  වෛද්‍ය   ජී. ජී. චමල් සංජීව