වායුබැලූන පුපුරා මරණ 13ක් – හොන්ඩා වාහන දැඩි අවධානමක

ප්‍රමුඛ පෙළේ මෝටර් රථ ආරක්ෂණ පද්ධති නිෂ්පාදකයෙකු වන “ටකාටා” සමාගම විසින් නිෂ්පාදිත වායු බැලූන නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දිගින් දිගටම පුද්ගල මරණ වාර්තා වීමත් සමගම මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය දැඩි සේ උණුසුම් වී තිබේ.

මෙම සමාගම විසින් නිපදවූ වායු බැලූන පුපුරා යාම හේතුවෙන් මේ වන විට 13 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 100 දෙනෙකුට වඩා පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ වායු බැලූන පුපුරා යන අවස්ථාවේ දී විසිරී යන තියුණු කැබලි හේතුවෙන් මෝටර් රථ මගීන් හට වැඩිම හානියක් සිදු වී ඇති බව යි.

මෙම වායු බැලූන අවදානම පිළිබඳ ගැටළුවත් සමග ටකාටා වායු බැලූන සවි කොට ලොව පුරා වෙළඳපලට නිකුත් කර තිබූ මෝටර් රථ මිලියන 70ක් නැවත කැඳවීමට මෝටර් රථ නිෂ්පාදන සමාගම් තීරණය කොට තිබේ.

එම නැවත කැඳවීමට අදාළ නවතම වාර්තාවලට අනුව ටකාටා වායු බැලූන පිළිබඳ තව තවත් ගැටළු මතු වෙද්දී මිලියන 12ක මෝටර් රථ ප්‍රමාණයක් ආසන්නතම දින කිහිපයේ දී නැවත කැඳවා ඇති බව මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ඒ අනුව ලෝක ප්‍රසිද්ධ හොන්ඩා මෝටර් රථ නිෂ්පාදන සමාගම ද වෙළඳපලට නිකුත් කර තිබෙන මෝටර් රථ මිලියන 4.5ක් නැවත කැඳවා ඇති අතර මෙම ගැටළුව නිසාම හොන්ඩා සමාගම විසින් නිෂ්පාදිත යතුරු පැදි වර්ග කිහිපයක් ද නැවත කැඳවා ඇති බවට ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

ටකාටා වායුබැලූන ගැටළුවට හොන්ඩා සමාගම පැටලෙන්නේ වායුබැලූන සම්බන්ධ මාරක අනතුරු 12ක්ම හොන්ඩා මෝටර් රථ තුළ සිදු වී ඇති නිසා ය.

මෙය මෝටර් රථ නිෂ්පාදන ඉතිහාසයේ විශාලතම නැවත කැඳවීම බවට විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් තම මෝටර් රථයේ වායු බැලූනය ටකාටා සමාගම විසින් නිෂ්පාදිත දැයි සැළකිලිමත්වන ලෙසටත් හොන්ඩා පාරිභෝගිකයින් මේ පිළිබඳ දැඩි අවධානයකින් පසු වන ලෙසටත් විදෙස් මාධ්‍ය අනතුරු අඟවා ඇත.

 

21