සූර්ය බලයෙන් ලොකු වැඩක්

අප්‍රිකාව කියු සැනින් අපගේ සිහියට නැගෙන්නේ ආහාර සහ ජලය හිඟ, මන්ද‍පෝෂණය වැනි ‍පෝෂණ ඌණතාවයෙන් පෙළෙනා ඉතාමත් කර්කශ තත්ත්වයක ජීවත්වන ජනතාව සිටිනා කලාපයකි. නමුත් මෙම ජනතාවට පිළිසරණක් වන්නට එක්තරා පිරිසක් ගත් උත්සාහයක් පිළිබඳව සීඑන්එන් පුවත්සේවය මගින් පසුගියදා වාර්තා කොට තිබුණි. ඒ ඔවුන් හට විදුලිය, පානීය ජලය සහ අන්තර්ජාල පහසුකම් ලබාදීම සඳහා ඇතිකරන ලද සූර්ය බලයෙන් ක්‍රියාත්මකවන පරිගණක පද්ධතියක් ස්ථාපනය කරදීම පිළිබඳව වූ පුවතකි.
වොට්ලි නමින් හඳුන්වන මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘවරුන් පවසන ආකාරයට සූර්ය බලයෙන් ක්‍රියාත්මකවන ලොව විශාලතම පරිගණකය මෙය වේ. වොට්ලි නමින් හඳුන්වන ඉතාලි-ස්පාඤ්ඤ ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර, ආහාර පාන මෙන්ම උග්‍ර බලශක්ති හිඟයකින් ද පීඩාවිඳින අප්‍රිකානු කලාපයට සහයක් ලබාදීම ඔවුන්ගේ අරමුණ බව පැවසේ. දැනට අප්‍රිකාවේ ජනගහනයෙන් තුනෙන් දෙකකට පමණ, එනම් මිලියන 625 ක පමණ පිරිසකට විදුලිය නොලැබෙන බවත් සමස්ත ජනගහනයෙන් සියයට තිස් නවයක් වැනි පිරිසකට පිරිසිදු පානීය ජලය නොලැබෙන බවත් වොට්ලි කණ්ඩායම විදේශීය ජනමාධ්‍ය වෙත අදහස් දක්වා ඇත. අනාගත අභ්‍යවකාශ කුටියක හැඩය ගත් ඔවුන්ගේ මෙම වොට්ලි පද්ධතිය මගින් මෙම ජනතාව සඳහා පිරිසිදු පානීය ජලය, විදුලිය සහ අන්තර්ජාලය පහසුකම් ලබාදීමට හැකිවනු ඇති බවත් පැවසේ.
වොට්ලි ඒකකය මත ඇති ප්‍රකාශ වෝල්ටීය පද්ධතියක් මගින් එක්රැස් කරගන්නා සූර්යාලෝකය, විදුලිය බවට පරිව්තනය කර, එය තුළ ඇති 140 kwh  බැටරියක ගබඩා කරගනු ලබයි.
මෙම පද්ධතිය මගින් දිනකට ජලය ලීටර 5,000 ක් පමණ පිරිසිදු කළ හැකි බව පැවසේ. මෙම පද්ධතිය ස්ථානගත කර ඇති ස්ථානයේ සිට මීටර 800 ක පමණ ප්‍රදේශයකට මෙමගින් රැහැන් රහිත අන්තර්ජාල ප්‍රවේශ (wireless Internet Access) පහසුකම් සැපයෙන අතර ඉලෙක්ටේ‍රානික සහ ජංගම උපාංග ආරෝපණය (Charge) කරගැනීමේ පහසුකම්ද එමගින් සපයනු ලබයි. මෙම ව්‍යාපෘතියේ නිර්මාතෘන් විසින් පවසන ආකාරයට මෙම වොට්ලී යන්ත්‍රයක අපේක්ෂිත ආයුකාලය වන වසර 15 තුළ හරිතාගාර වායූන් ටොන් 2,500 ක් හෙවත් තෙල් බැරල් 5,000 ක පමණ ඉතිරියක් සිදුවන බව ප්‍රකාශ වේ.

4

(මංජුල දීපාල් ද සිල්වා)