රංගනයට මගේ එතරම් කැමැත්තක් නැහැ

මේ දවස් වල නිතර දෙවේලේ රූපවාහිණියෙන් පෙනෙන වෙළෙඳ දැන්වීමක් නිසාම ඇගේ රුව දැන් කවුරුත් හඳුනනවා. ඉතින් කවුරුත් හඳුනන මේ රුවෙහි හිමිකාරියගේ වත ගොත දැන ගන්න අද රසඳුන පිළිසඳර වෙන් කළා.

සම්පූර්ණ නම දැනගන්න කැමැතියි?

මධුෂා හේරත්

ගමත් කියමු නේද ?

බෙන්තොට

පාසල

ක්‍රිස්තු දේව බාලිකාව

ඔබව හඳුන්වන්න කැමැති කවුරු විදිහටද?

නිරූපණ ශිල්පිනියක් ලෙස

‘නෑනා ‘මධූෂා ව සෑහෙන ජනප්‍රිය කළා නේද?

ඔව් නෑනා නිසා කට්ටිය අතරට එන්න පුළුවන් වුණා.. ප්‍රදීප් රංගනගේ ‘පෙම් සිහිනේ‘ ගීත විෂුවල් එකෙනුත් මාව හඳුනා ගත් පිරිසක් ඉන්නවා.

පුංචි කාලේ දැකපු සිහිනෙද මේ සැබෑ වෙලා තියෙන්නේ?

නැහැ. එයාර් හොස්ට කෙනෙක් වෙන්නයි මම හීන දැක්කේ. ඒකට ගෙදර අයගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ හීනේ එහෙමම මැකිලා ගියා. මොඩල් කෙනෙක් වෙන අදහසක් තිබුණෙම නැහැ.

එහෙනම් නිරූපිකාවක් වුණේ අහම්බයකින්ද?

මම ඉස්සර බියුටීෂියන්ලාගේ ඩ්‍ර‍සිං වලට යනවා. ඉතින් එහෙම ගිහින් තමයි කමර්ෂල්ස් වලට එන්න අවස්ථාව ලැබුණේ.

නිරූපණ ක්ෂේත්‍ර‍යට ඇවිත් කොච්චර කාලයක්ද?

අවුරුදු හතරක් විතර වෙනවා. මනාලියක් විදිහට තමයි වැඩිපුර හැඩ වෙන්නේ.

තම දියණියන් නිරූපණ ක්ෂේත්‍ර‍යට ‍යනවාට බොහො වැඩිහිටියන්ගේ කැමැත්තක් නැහැ?

මගේ අම්මාත් පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. මම මොඩල් කෙනෙක් වෙනවාට. ගෙදර අනිත් අයගෙන් ප්‍ර‍ශ්නයක් තිබුණේ නැහැ. ඉතින් අම්මාට හැම දේ ගැනම තේරුම් කරලා දුන්නාම තීරණේ වෙනස් වුණා. මුල් කාලයේදී නිරූපණ කටයුතු වලට ගි‍ෙයත් අම්මා එක්කමයි. පස්සේ පස්සේ ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා.

මේ ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි මධුෂාටත් තිබුණාද?

ඔව් නැත්තේ නැහැ. නමුත් මම හැමෝම එක්ක ඉතා සුහදව ඇසුරු කරලා යාළුවෝ වගේ ඉන්නයි උත්සාහ කරන්නේ.

අපි නම් අහලා තියෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ යාළු කම් වලට තැනක් නැහැ කියලයි?

සමීපව ඇසුරු කරන කවුරුත් නැහැ. නමුත් හැමෝම එක්ක සුහදව වැඩ කරන්න පුළුවන්.

රංගනයට පිවිසෙන්න අදහසක් නැද්ද?

ආරාධනා ලැබෙනවා. හැබැයි රංගනයට මගේ එතරම් කැමැත්තක් නැහැ.

ඔබ විවාහකයි?

ඔව්.

වෘත්තීය නිරූපණ ශිල්පිනියක් වෙනවාට ඔහු කැමැතිද?

මම වෘත්තීය නිරූපණ ශිල්පිනියක් නෙමෙයි. විනෝදාංශයක් හැටියටයි මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ. මගේ සැමියා ගොඩක් වෙලාවට ලංකාවෙම රැඳෙන කෙනෙක් නෙමෙයි . නමුත් ඔහු මෙහෙ ඉන්න වෙලාවට ඔහු ගෙන් මගේ වැඩ කටයුතු වලට ලොකු සහයෝගයක් ලැබෙනවා.

වෘත්තීය නිරූපණ ශිල්පිනියක් නොවුණත් මේ ක්‍රෂේත්‍රයේ රැඳී ඉන්න යම් කැපකිරීම් කරන්න වෙනවා?

ඔව්. රූපය, හැඩය ගැන සැලකිලිමත් විය යුතුයි.එහෙම කියලා මම නම් සැලොන් ගානේ යන්නේ නැහැ. කෑම බීම පරෙස්සමෙන් ගන්නවා. වැඩිපුර පලතුරු ටිකක් කාලා වතුර එහෙම වැඩිපුර බොනවා. එච්චරයි.

ගෙදර වැඩ කටයුතු කෙරෙන්නේ?

මගේ ගෙදර වැඩ කටයුතු මම මයි කරන්නේ. හස්බන්ඩ්ගෙනුත් සහයෝගය ලැබෙනවා.

දිගටම මේ ක්ෂේත්‍රයේ නියැළිලා ඉන්නද කල්පනාව?

කාලයත් එක්ක කට්ටිය එනවා. හැමෝටම තැනක් තියෙන්න ඕනේ. ඉතින් මමත් කැමැති මට පුළුවන් තාක්කල් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න.

 

ඡායාරුප- ශාන් රූපස්සර