ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නව නිදහස් වෙළෙඳ ගිවිසුම ඉතා ඉක්මනින් අස්සන් තැබීමට දෙරටම පියවර ගනිමින් සිටියි.

ශ්‍රී ලංකාවට සහ සිංගප්පූරුවට ජාත්‍යන්තරය පිළිගත් වෙළෙඳ, කර්මාන්ත, ආයෝජන, ආර්ථික ජයග්‍රහණ ළඟා කර ගැනීමට මේ නව ගිවිසුම මඟින් හැකිවන බව උපායමාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා ප්‍රකාශ කෙළේය. ශ්‍රී ලංකා සිංගප්පූරුව ව්‍යාපාර සංසදයේ සැසිය ඊයේ (01) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් ඇමැතිවරයා එසේ කීය.

ලංකා වාණිජ මණ්ඩලය සහ සිංගප්පූරු ශ්‍රී ලංකා ව්‍යාපාර දැක්ම සංවිධානය කළ මේ ව්‍යාපාරික සමුළුව ඊයේ (01) සාර්ථකව ආරම්භ කැරිණි. සිංගප්පූරු ව්‍යාපාරික සම්මේලනයේ උප සභාපති ආචාර්ය ආර්. තේවේන්ද්‍රන් මහතා මේ ව්‍යාපාරික දැක්මේ ප්‍රධානියා වේ.

උත්සව සභාව ඇමතූ මලික් සමරවික්‍රම මහතා, වසර 1950 ගණන්වලදී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව සමාන ස්වරූපයේ රටවල් විය. ඉන්පසු යුගයේදී සිංගප්පූරු හිටපු අගමැති ලී ක්වාන් යු මහතා ශ්‍රී ලංකාව ‍තම රටට ආදර්ශයක් කියා සිටියා. එම යුගයේ මේ දෙරටේ දළ දේශීය ආදායම එක සමාන වුවද අද වන විට සිංගප්පූරුව එය අමෙරිකානු ඩොලර් 56980 මට්ටමකට පත් කරගෙන සිටිනවා. අප පසුවන්නේ ඩොලර් 3800 මට්ටමේ යැයි ද කීය.

අප දෙරට අතර අතීත කථාව එයයි. නමුත් අද දවසේ අපියි සිංගප්පූරුවයි අතර වෙළෙඳාම දියුණු කිරීමට නව නිදහස් වෙළෙඳ ගිවිසුමක් අස්සන් කිරීමට සූදානම් වෙනවා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ ගිවිසුම් පිළිබඳව අපට උපදෙස් මඟ පෙන්වීම් ලබා දෙනවා. අපි සෑම විටම රටේ ආයෝජන ඉහළට ගෙන ඒමටයි කටයුතු කරන්නේ.

ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ වාණිජ කේන්ද්‍රස්ථානයක්. මූල්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ හරහා ඔබට නව අවස්ථා උදාවෙනවා. අපිට පුළුවන් අපේ රට ලෝකයේ දියුණු ආර්ථිකයක් සහිත රටක් බවට ඉතා කෙටි කාලයකින් පත් කරන්න. මෙය ඒ සඳහා හොඳ ආරම්භයක් වෙනවා. අපි ඔබ සැමට සුබ පතනවා.

මුදල් ඇමැති රවි කරුණානායක මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා සිංගප්පූරු ප්‍රකට ව්‍යාපාරික ආයෝජක ප්‍රජා නියෝජිතයෝ මේ අවස්ථාට සහභාගී වී සිටියහ.

90

ජයසිරි මුණසිංහ