මහා හස්තිරාජයාටත් අභියෝග කළ අනුන්ගේ සුරාවෙන් මත්වූ මැස්සා

සුරාව සහ වෙනත් විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති අය සමග කළ අධ්‍යයනවලදී පෙනීගියේ බහුල වශයෙන්ම තම මිත්‍රයන්ගේ ඇසුරින් මතට හුරුපුරුදු වීම හා එයට ඇබ්බැහි වීම ඇතිබවය. එකවර ඇබ්බැහියක් ඇතිවන්නේ නැත. යම් ඇබ්බැහියක් ඇති වන්නේද ක්‍රමයෙනි. සිතුවිල්ල, ආසාව, අවශ්‍යතාව, ආස්වාදය, ඇබ්බැහිය යනුවෙන් එය අනුපිළිවල ක්‍රමයකට දැක්විය හැකිය. පළමුව ඇතිවන්නේ යමක් පිළිබඳ සිතුවිල්ලයි. එය මනසේදීම ප්‍රතික්‍ෂ්ප වීම හෝ කැමැති වීම හෝ ඇතිවෙයි.

sd
කැමැත්ත දිගට මනසේ තිබීමෙන් එය ආසාව බවට පත්වෙයි. ආසාව නිසා යමක් කරයි. ඉන් ආස්වාදයක් ලබයි. ඇතැම් ආස්වාදය ලැබීමෙන් එය නතර කර හෝ අවසන් කර දමයි. ඉන් එහා ආශ්වාදයේ ලොල්වීම ඇබ්බැහියයි. ඇබ්බැහිය සිතුවිල්ල, කැමැත්ත, අවශ්‍යතාව, ආස්වාදය යනාදීයට එහා ගිය එකකි. ඇබ්බැහිය එක්තරා විදියක රෝග ලක්‍ෂණයක් වීමටද පු`ඵවන. මත්වතුර හා ද්‍රව්‍ය ගන්නන් සියල්ලෝම එයට ඇබ්බැහි වූවෝ නොවෙති. ඇබ්බැහිය දක්වා පැමිණියෝ කිසියම් දුර්වල මානසික තත්ත්වයෙන් පෙලෙන්නෝය. ඇබ්බැසියද කිසියම් මානසික දුර්වලතාවයකි. යමෙක් යමකට ඇබ්බැහි වූ පසු ඔහුට තමා ඇබ්බැහියක සිටින බව බොහෝ විට වැටහෙන්නේ නැත. වර්තමාන ශ්‍රී ලාංකික පරිසරයේ පවත්නා වූ ප්‍රශ්න අතර මිනිසුන් මතට ඇබ්බැහි වීම ප්‍රබල ප්‍රශ්නයකි.
සිංහල සමාජය තුළ ප්‍රමාණාත්මක වශයෙන් මත් වතුර සහ මත්ද්‍රව්‍ය ක්‍රමයෙන් වර්ධනය වෙයි. ඇතැම්හු මත් වුවද ඒ බව පිටට නොපෙන්වති. ඇතැම්හු තමා පානය කළ සුරා ප්‍රමාණයට වඩා වැඩියෙන් මත් වෙති.

 

රාබී සත පහක
වෙරි වී පනම්      හතරක
ගුටි කා         රුපියලක
අහෝ දුක්වෙති සිලිං      හතරක 

 

යනුවෙන් වන කවිය ඉතා පැරණි එකකි. එය කොතරම් පැරණිද යන්න එහි සඳහන් වන මුදලේ වටිනාකම්වලින් වැටහෙයි. ඇබ්බැහි වී ගත්තත් ඇබ්බැහි නොවී ගත්තත් මත්වීම පුද්ගල බලය හා ශක්තිය හීන කරයි. පෞර්ෂය දුර්වල කරයි. මත්වීමේ ආදීනව වඩාත් හොඳින් පෙනෙන්නේ ද දැනෙන්නේ ද මත්වූයේ නැති පුද්ගලයාටය.
සුරාපාන ජාතකය හෙළි කරනු ලබන්නේ අධ්‍යාත්මික ශක්තිය සහිත කෙනකු වුවද සුරාපානය නිසා සමාජයේ අවතක්සේරු වන බවයි. පෞර්ෂය දුර්වල කරන බවයි. සුරාපාන ජාතක කතාවේ වර්තමාන කතාව ඇරඹෙන්නේ මෙසේය.
බුදුරජාණන් වහන්සේටත් ඇප උපස්ථාන කළ සාගත නම් වූ තෙරනමක් වැඩසිටියහ. උන්වහන්සේ පෘථග්ජන ඍද්ධි බලයෙන් යුක්ත වන සේක. උන්වහන්සේ තම ඍද්ධිය නිසා සාමාන්‍ය මිනිසාට නොකළ හැකි විවිධ ඍද්ධිබල පාන්නාහ. එනිසාම සාගත තෙරුණුවෝ සමාජයේ මිනිසුන් අතර තරමක් ප්‍රසිද්ධ වූහ. බොහෝ මිනිස්සු ප්‍රිය කළහ. තෙරණුවන්ගේ විශේෂ හැකියාව නිසා උන්වහන්සේ වටා මිනිස්සු පෙළගැසුණහ. එකල අම්බතීර්ථ නම් ගමේ බරපතළ නාගයෙක් වෙසෙයි. නාගයා ගමට ඒම නිසා ගම්වැසියෝ ඉමහත් බියට පත්වෙති. නාගයා එළවා දැමීමට විවිධ උපක්‍රම කළ ද ඉන් යහපතක් වූයේ නැත. අම්බතීර්ථ නාගබිය සමාජය වෙළා ගත්තේ ය. ඍද්ධි බලයෙන් යුක්ත සාගත තෙරුණුවෝ අම්බතීර්ථයට වැඩම කළහ. මිනිසුන්ගේ ප්‍රශ්නයට පිළිතුරක් දීම සඳහා උන්වහන්සේ කිසිම මිනිසෙක් අහලකටවත් නොයන නාගයා වසන තැන තණ ඇතිරිල්ලක් එලාගෙන වැඩ උන්හ. තෙරණුවන් දැක නාගයා දැැඩි සේ කිපී උන්වහන්සේ දෙසට සිය නාග ඇහින් දුම් පිට කළේ ය. තෙරුණුවෝ ද එසේම තමන් වහන්සේගේ ඇහෙන් දුම් පිට කළහ. නාගයා ගිනි පිට කළේ ය. තෙරුණුවෝ ද එසේම කළහ. නාගයාගේ තේජස තෙරණුවන්ට නොපෙනෙයි. තෙරණුවන්ගේ තේජස නාගයා පෙළයි. නාග බියෙන් සලිතව සිටි නියම්ගම් වැසියෝද තෙරණුවන් නාගයා දමනය කරන අපූරුව බලන්නට රොද බැඳුණහ. සාගත තෙරණුවෝ මෙසේ විවිධ දේ කර ක්‍ෂණයකින් නාගරාජයා දමනය කොට ගම්වැසියන්ට සහනය දී සර්වඥයන් වහන්සේ වෙත වැඩියහ.
සාගත තෙරණුවන්ගේ මේ වීරක්‍රියාව හා උන්වහන්සේගේ කීර්ති රාවය මොහොතින් සියලු ජන පදයේහි තුඩ තුඩ පැතිර ගියේය. කොසබෑ නුවර ජනයා සර්වඥයන් ඉදිරියේ වැඳ නමස්කාර කොට සාගත ස්ථවිරයන් වහන්සේ වෙත ගොස් මෙසේ කීහ. ස්වාමීනී, ඔබ වහන්සේ අපට කරනු ලැබුවේ ඉමහත් උපකාරයකි. ඔබවහන්සේට අවශ්‍ය කරන කුමන හරි අවශ්‍යතාවයක් තිබේනම් අපට දැනුම් දෙන්න. එය අපි ඔබවහන්සේට සපයන්නෙමු යනුවෙනි. තම ක්‍රියාවෙන් සැනසුම් සුසුම් හෙළන මිනිසුන්ගේ බස් ඇසූ සාගත තෙරුණුවෝ කිසිවක් නොකීහ. සාගත තෙරුන්වහන්සේ ඒ මිනිසුන්ගෙන් කිසිවක් ඉල්ලා නොසිටි බව අසා ජබ්බග්ගිය  භික්‍ෂූන් වහන්සේ ඔවුන්ට මෙසේ කීහ. උපාසකවරුනි, පැවිදි තැනැත්තන් වහන්සේට කාපෝතිකා නම් සුරාව ලබාගැනීම අපහසුයි. උන්වහන්සේලා එයට මනාපද වෙයි. ඉදින් ඔබ සාගත තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ නම් කාපෝතිකා නම් සුරාව පිළියෙල කරන්න යනුවෙනි. ඒ උපාසකවරු ස්වාමින් වහන්ස යහපතයි පිළිගෙන තම තමන්ගේ ගෙවල්වල කාපෝතිකා නම් සුරාව පිළියෙල කොට තෙරුන් වහන්සේට පිළිගැන්වූහ. සාගත තෙරුන් වහන්සේ ඒ සුරාව වළඳා මදයෙන් මත් ව  නුවරින් නික්මෙන සේක්. වාසල් දොර අසල වැටී නන් දොඩවමින් වැදහොත්හ.
සර්වඥයන් වහන්සේ නුවරින් නික්මෙන සේක්, සාගත තෙරුන් වහන්සේ වාසල් දොර අසල නන් දොඩමින් වැටී සිටිනු දැක මහණෙනි, සාගත තෙරුන් ඔසවා ගනු යැයි කියා ගෙන්වාගෙන විහාරයට වැඩිසේක. ඒ භික්‍ෂුන් වහන්සේලා සාගත තෙරුන්ගේ හිස බුදුරදුන්ගේ සිරිපතුල පාමුල දෙසට යොමු කොට බිම තැබූ සේක. තෙරුන් වහන්සේ පෙරළී ගොස් තමන් වහන්සේගේ දෙපය සිරිපතුල පාමුල සිටි සේක. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාගෙන් මෙසේ විචාළ සේක.
කිමෙක් ද මහණ පෙරදී සාගත ස්ථවිරයන් මා කෙරෙහි යම් ගෞරවයක් තිබුණිද දැන් ගෞරවය තිබේ ද?
නැත ස්වාමිනී,
මහණෙනි, අම්බතීර්ථ නාගරාජයා දමනය කළෝ කවරහු ද?
ස්වාමීනි, සාගත තෙරුන් වහන්සේය.
කිමෙක්ද? මහණෙනි, සාගත ස්ථවිරයන් දියබරියකුවත් දමනය කිරීමට සමර්ථ වේද?
නැත ස්වාමීනී,
කිමෙක්ද? මහණ යමක් බී මෙලෙසට විසඥව වැටී සිටිත් නම් එසේ වූ සුරාව බොන්නට සුදුසුද?
සුදුසු නොවේ ස්වාමිනි,
සාගත තෙරුන් වහන්සේ ලෞකික ඍද්ධි ප්‍රාතිහාර්යය පා අම්බතීර්ථ නම් භයානක නාගරජයා දමනය කොට මිනිස්සුන්ට සෙත යහපත් සලසාදීම වෙනුවෙන් පිරිනැමූ පිරිකර පිළිගැනීමේ සිද්ධි අරබයා බුදුරජාණන් වහන්සේ සාගත තෙරුන් වහන්සේට නින්දා කළහ. ඒ සිද්ධිය අරබයා සියලුම භික්‍ෂූන් වහන්සේලාට ශික්ෂාපදයක් පවා පනවා වදාළහ.
ඇවැත්නි සුරාපානය නම් ඉමහත් දොස් ඇත්තකි. ඒ සුරාපානය ප්‍රඥා සම්පන්නවූත් සමෘද්ධිමත්වූත් සාගත ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නොදන්නා තත්ත්වයට පත් කරනු ලැබී ය යනුවෙන් භික්‍ෂූහු සුරාපානය හා තම අත්දැකීම් සාකච්ඡා කළහ. ගූථපාණී ජාතක කතාවෙන් හෙළි වන්නේ සුරාපානයෙන් මත් වී තමන්ගේ කට රැකගත නොහැකිව ජීවිතය විනාශ කරගත් මැස්සෙකු පිළිබඳවයි. ඒ සිද්ධිය ඇරඹෙන්නේ මෙසේය. ඉස්සර ජීවත්වූ මිනිස්සු අද වගේ ගම ගෙවල්වල සුරාපානය නොකළහ. ඔවුන් එසේ නොකරන්නේ ගෙවල්වල කුඩා දරුවන්ද කාන්තාවන්ද සිටින බැවිනි. සුරාපානය කිරීමට අවශ්‍ය වූ විට එයට අවශ්‍ය කරන කළමනා සපයා ගෙන කැලෑවට යති. කැලෑවේ ඇති පදම් ඒ කටයුත්ත කොට වෙරි හිඳුන පසු ගම ගෙවල්වලට එති. ඒ වගේ එක්තරා මිනිස් කණ්ඩායමක් සුරාපානය කරන්නට කැලෑවට ගියෝ ය. සුරාවෙන් මත් වී ඔවුහු එහි විවිධ කෙළි කොට අපසු පැමිණියහ.

සුරාපානය කළ එම ස්ථානයේ වේලී ගිය බිම වැටී තිබූ පත්‍රයක මත්වතුර ටිකක් වැටී තිබිණ. පු`ඵටු ගදට එහෙ මෙහෙ පියාසර කරන මැස්සෙක් එතනට ඇවිත් අර වේ`ඵන මත් වතුර එකතු වී තිබුණ පත්‍රය මත වැහුවේය. එහි තිබූ මත් වතුරවලට ඉහඳ තැබුවේය. මත් වතුර ශරීර ගතවීමෙන් මැස්සා හොඳටම වෙරි විය. මහ කැලෑවේ මහ ගස් කැරකැවෙන්නා සේද පොළව ගිලාබසින්නා සේද ඌට දැනෙන්නට විය. තමා මත් වී සිටින බවවත් අමතක වී ගියේය. මැස්සා කල්පනා කරන්නේ ගහකොළ ඇඹරෙන්නේත් තමන්ගේ තේජස නිසා බවය. පොළව ගිලා බසින්නේ තමාගේ බර මිහිකතට දරා සිටීමට තරම් නොහැකි නිසාය කියාය. මැස්සාගේ හිතට පෙරදා නොවුණු මහ වීරත්වයක් නැගෙන්නට විය. තමා බරපතළ කෙනෙකු බවට කල්පනා වන්නට විය.
ඒ අවස්ථාවේ වනාන්තරයේ සිටි මහා හස්තිරාජයෙක් කැලෑව පෙරළාගෙන ඉදිරියට එයි. අනුන්ගේ සුරාවෙන් මත්වී සිටි මේ මැස්සා හිතේ ඇතිවූ වීරත්වය නිසා අර මහා හස්තිරාජයාට තමා හා සටනට එන්නැයි ආරාධනා කළේ ය. මැස්සෙක් සමග තමාට මොන සටනක් දැයි කල්පනා කළ හස්තිරාජයා අනුන්ගේ සුරාවෙන් මත්වී තමාට අභියෝග කළ මැස්සා ගණනකටවත් නොගෙන ආපසු හැරී යන්නට විය. හස්තිරාජයා ආපසු හැරී යන විට මත් වී සිටි මැස්සා කල්පනා කරනු ලැබුවේ මහ වනයේ මහ ඇතුන් පවා තම කටහඬට කොපමණ බියක් දක්වන්නේද කියාය. තමන්ගේ සිතෙහි ඇති වූ ඒ සිතුවිල්ලෙන් උදම් වූ මැස්සා ඉදිරියට යන හස්තිරාජයාගේ පසුපස යමින් බිය වී ආපසු යාම හස්තිරාජයකුට ගැළපෙන්නේ නැත. පු`ඵවන්නම් මා සමග සටනකට එනුයි අභියෝග කළේ ය. හස්තිරාජයා මැස්සෙක් එක්ක මට මොන සටනක්දැයි කල්පනා කොට හිටි පියවර එසේම ඉඳගෙන පසුපස එන මැස්සා මතට වර්චස් පිඬක් හෙ`ඵවේය. එම වීර මැස්සා හස්තිරාජයාගේ වර්චස් පිඬට යට වී සදහටම දෑස් පියා ගත්තේය. හස්තිරාජයා ඒ සිද්ධිය ගණනකටවත් නොගෙන  මහ කැලයට යන්නට ගියේය.
වර්තමාන සමාජයේ වුවද මේ වගේ මැස්සන් මනුස්සයන් වශයෙන් උපත ලබා සිටිනවා විය හැකිය. කායික වශයෙන් මිනිස් ශරීර පෙනුණද මානසික වශයෙන් අනුන්ගේ සුරාවෙන් මත් වී තමන් මත් වූ බවවත් නොදැන තමන්ටත් නොගැළපෙන වචන කතා කරන්නේය.

m