වෛද්‍ය ගැටලුව විසඳෙයි – චතුරගේ ගැටලුව දිග්ගැස්සෙයි

සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන දෙපාර්ශ්වයම එකඟ වූ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛනය අන්තර්ජාලයේ අද (04) පළ කිරීමට නියමිතයි.

කොළඹ ඊයේ (03) රාත‍්‍රී පැවැත් වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව තහවුරු කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් එහි ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවා.

ඔහු කියා සිටියේ පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛනය සම්බන්ධයෙන් පැවති ආරවුල් අවසානයේදී සුහදශීලීව විසඳා ගැනීමට හැකි වීම සතුටට කරුණක් බවයි.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛනය සකස් කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යංශය පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ ප‍්‍රධාන තර්කයක් වූයේ වෛද්‍යවරුන් නොමැතිව වැසී ගොස් ඇති රෝහල්වලට වෛද්‍යවරුන් අනුයුක්ත කළ යුතු බවයි.

දෙපාර්ශ්වය එකඟ වූ අවසන් පත්වීම් ලේඛනයෙන් එම අවශ්‍යතාව ද ඉටුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. ඒ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැක්වූ නම්‍යශීලීත්වයට ස්තූතිවන්ත වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඉකුත් දිනවල ඇති වූ මතගැටුම්වලදී ආණ්ඩුව පාර්ශ්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පාර්ශ්වයෙන් ආණ්ඩුවටත් දැඩි වාග් ප‍්‍රහාර ද එල්ල වුණා.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීන්දු කිරීම ද එහි ප‍්‍රතිඵලයක්.

දැන් එළැඹ ඇති එකඟතාවලට අනුව මෙම අධිකරණ කි‍්‍රයාමාර්ග ද නතර කෙරෙන්නේ දැයි මාධ්‍යවේදීන් මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රශ්න කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා ඊට ලබාදුන් පිළිතුරයි මේ.

“සෞඛ්‍ය අමාත්‍යංශයේ පශ්චාත් සීමාවාසික පත්වීම් පිළිබඳ ගැටළුව තිබෙන්නේ ගරු අමාත්‍යතුමා එක්ක. ඒ ගැටළුව අමාත්‍යතුමා නම්‍යශීලී වෙලා අපිත් නම්‍යශීලී වෙලා යම් කිසි විසඳුමකට යනවා.

ඒ අතරෙ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් , අපි මේක සලකන් නැහැ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පුතා කියලා මේ වෙලාවේ . පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එක්ක යම්කිසි සිද්ධියක් තිබෙනවා. ඒ පිළිබඳව මධ්‍යම කාරක සභාව යම් යම් තීන්දු තීරණ අරන් තිබෙනවා. ඒවා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි”.

 

9

neth