ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදට යෙදී ඇති අතර 1973 වසරේ සිට ලෝක පරිසර දිනය සැමරීම සිදුවෙයි.

නීති විරෝධී වනජීවී නිෂ්පාදන වෙළෙඳාමට එරෙහිව ලොව පුරා දැඩි පියවර ගත යුතු බවට මෙවර ලෝක පරිසර දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.

පෘථීවි තලයේ ජෛව විවිධත්වයට හානී සිදුවන අයුරින් අලින්, රයිනෝ, කැස්බෑවන්, වළසුන් වැනි සතුන් ඝාතනය කර ඔවුන්ගේ කොටස් අලෙවි කිරීමේ ජාවාරම් ලොව පුරා සිදුවන බව එම සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර ලෝක පරිසර දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ  ස්වභාවික පරිසරය වෙනස් කිරීමට මිනිසාට සිදුවුව ද එහි සීමාව මිනිසා දැන සිටිය යුතු බව පරිසරය විටින් විට සිදුකරන අනතුරු ඇඟවීම්වලින් පැහැදිලි වන බවයි.

ස්වභාවික විපත්වලින් පීඩා විඳින රටවල් අතරට එක්ව සිටින අප රට ද ස්වභාව ධර්මයාට එරෙහිව මිනිසාට පැවැත්මක් නැති බවට වන සත්‍යය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා විසින් පරිසර දිනයට සමගාමීව මෙරට පරිසර සතියක් ප්‍රකාශයට පත් කළ අතර එහිදී පරිසරය සුරැකීමට අදාළ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වුණි.

මේ අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ද කාලගුණ විපර්යාසවලට වැඩි වශයෙන් මුහුණදීමට සිදුවිය හැකි බව මහාචාර්ය සරත් ගුණපාල මහතා යටින්තොට ප්‍රදේශයේ පැවති හමුවකදී ප්‍රකාශ කළේය.

නායයෑම් ගංවතුර උවදුරු ආදියෙන් ජනතාව නිදහස් කරගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් ලබන වසරේ දී ඉදිරිපත් කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

8